සර්පයන්ට නිදහස දෙන සොඳුරු ලියකගේ අබිමන කාවින්දි ජයරත්න

මුලින්ම සර්පයෙක් මුදා ගනිද්දි මට වයස අවුරුදු 9යි
ජුනි 3, 2024

 

මේ කතාව අපිට ඇහෙන්නේ බඩල්කුඹුර එළිබිච්චිය පැත්තෙන්. මේ කතාවේ කතා නායිකාව වයස 25ක යුවතියක්. ඇයට තියෙන්නේ වෙනස් විදිහේ කතාවක්. කවුද කැමැති සර්පයින්ට ආදරය කරන්න, රැක බලා ගන්න. සර්පයෙක් දැක්කමත් දැනෙන්නේ පිළිකුල්සහගත හැඟීමක්.

 

හැබැයි ඇය තුවාල වුණු සර්පයින්ට බෙහෙත් කරන, සර්පයින් මුදාගන්න, සර්පයින්ගේ බිත්තර රැකගන්න හරි අමුතු කෙනෙක්. අහක ඉන්න නයි ගේ අස්සේ දාගන්න එපා කියලා කතාවකුත් ති‍ෙයනවනේ. හැබැයි ඇය නම් අහක ඉන්න නයි, සර්පයින් ගේ අස්සේ දාගෙනත් බලාගන්න කෙනෙක්. ඇය කාවින්දි ජයරත්න. මේ සර්පයින් ඇල්ලීමේ හරි අපූරු හැකියාවක් ඇති ඒ යුවතියගේ කතාවයි.. ඇගෙන්ම ඒ අපූරු කතාව අසා දැනගනිමු.

ඉතිං කොහොමද කාවින්දි....

 

හොඳින් ඉන්නවා.

 

කොයි කාලේ ඉඳලද කාවින්දිට සර්පයෝ ගැන ආදරයක් කැමැත්තක් ඇති වුණේ..?

 

මම පොඩි කාලේදී දැක්ක දෙයක් තමයි සර්පයෙක් ගෙදරට අාපු ගමන් මරණ එක. මේ දේ අපේ ගෙදර විතරක් නෙවෙයි අල්ලපු ගෙවල්වලත් මේ වටපිටාවේ හැම ගෙදරකම වගේ සිද්ධ වුණු දෙයක්. එතකොට මං අම්මාගෙන් අහනවා ඇයි එහෙම සර්පයෝ මරන්නේ කියලා. අම්මා කිව්වේ එයාලා විසයි කෑවොත් එහෙම අපිව මැරෙයි කියලා. හැබැයි මම කවදාවත් දැකලා නැහැ සර්පයෝ මැරුණ ප්‍රමාණය එක්ක බලද්දි සර්පයෝ නිසා මිනිස්සු මැරිලා ඉන්නවා. මගේ උපන් ගම කටාන. ඉතින් ඒ පැත්තේ සර්පයෙක් නිසා මිනිහෙක් මැරුණා කියලා මම ජීවිතේට අහලා නැහැ. හැබැයි සර්පයෙක් මැරුවා කියලා සතියට දෙපාරක්වත් අහන්න ලැබෙනවා. ඒ දේවල් එක්ක මට සර්පයින් ගැන ඇති වුණේ පුදුම දුකක්. එතකොට මං ගොඩක් පුංචියි. මට වයස අවුරුදු 6 -7 වගේ. මං හිතන්නේ මට ඒ කාලයේදී තමයි සර්පයින් ගැන ආදරයක් ඇති වුණේ.

 

මුලින්ම සර්පයෙක්ව මුදා හැරපු දවස මතක ද?

 

මම මුලින්ම සර්පයෙක් නිදහස් කළේ මට වයස අවුරුදු 9දී. අපේ අල්ලපු ගෙදර ඉස්සරහ සර්පයෙක් ඉඳලා තියෙනවා. ඒ ගෙදර කට්ටිය ඌව මරන්න හදද්දි මම ඌව බෝතලයකට දාගෙන ගිහින් කැලේකට මුදා හැරියා. ඒ ගෙදර අය මා ගැන පුදුම වුණා. මට වැඩි වයසකුත් නැහැනේ. එතකොට මම පුංචි ගැහැනු ළමයෙක්. එයාලා මට සෑහෙන ප්‍රශංසා කළා. මාව දිරිමත් කළා. මං කරපු දේ ගැන පැහැදුණා. ඊට පස්සේ මම දිගටම ඒ විදිහට ගෙවල්වලට එන සර්පයින්ව මුදාහැරියා.

 

මේ වැඩේට ගෙදරින් කැමැති වුණාද ඉතින්?

 

මම මුලින්ම සර්පයෙක් මුදාහැරපු සිද්ධිය වෙන දවසේ අපේ ගෙදර අය කවුරුත් හිටියේ නැහැ. අම්මා හිටියනම් එවෙලේ ඒ දේට ඉඩ නොදෙන්නත් ඉඩ තිබුණා. එයාලා ගෙදර අැවිත් මේ කතාව දැන ගත්තට පස්සේ හොඳටම බය වුණා. හැබැයි කාලයත් එක්ක එයාලගේ බය සහ අකමැත්ත අඩු වෙලා ගියා.

 

ඊට පස්සේ....

 

විවාහ වුණාට පස්සේ තමයි ගොඩක්ම සර්ප මුදාහැරීම්වලට කට්ටිය කතා කළේ.ගෙවල්වලට සර්පයෝ අාවාම අපිට දුරකථන ඇමතුම් එනවා එයාලව අරන් යන්න කියලා. එතකොට අපි ගිහින් එයාලව බෝතල්වලට දාගෙන එයාලට ඉන්න සුදුසු පරිසරයට මුදා හරිනවා. එයාලට ඉන්න පුළුවන් කැලෑවල් තියෙනවනේ.

කොරෝනා කාලයේදී තමයි වැඩියෙන්ම සර්පයින්ව මරලා තිබුණේ. රැකියාවලට යන අයත් ඒ කාලේ හිටියේ ගෙදර. ඉතින් හැමෝම ගෙවල්වලට කොටුවෙලා හිටියේ. ඉතින් ගෙදර ඉන්න අයට සර්පයෝ හම්බෙනවා වැඩියි. අනික ඒ කාලේ ගොඩක් අය ගෙවතු වගාවට යොමු වුණා වත්තේ පිටියේ වැඩ කරද්දිත් සර්පයෝ හම්බෙනවා වැඩියිනේ.

 

සර්ප ගහනය වඳවීම එහෙමත් නැත්තම් සර්පයින්ව මරන එක නවත්වන්න මේ වෙද්දි මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග?

 

අපි සර්පයෝ වගේම අනෙකුත් සත්තුන්ටත් උදවු කරන්න පුළුවන් වෙන විදිහේ ගෲප් එකක් හැදුවා සොබා සුමිතුරෝ කියලා.

ලංකාවේ ගොඩක් ෆේස්බුක් ගෲප් තියෙනවා ඒ විදිහට සත්තු ගැන කතාබහ කරන්න. ඒ ගෲප්වලටත් සමහර වෙලාවට පණිවිඩ එනවා ගෙදරට සර්පයෙක් ආවම. එතකොට අදාළ නිවෙස ආසන්නයේ කවුරු හරි සර්පයෝ නිදහස් කරන කෙනෙක් ඉන්නවනම් එයා ගිහින් ඒ කටයුතු කරනවා. දේශීය ආයතන, ගොවි සමිති, ළමා සමාජ එක්ක මේ ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පෙළක් කරගෙන යනවා. වයඹ සහ කොළඹ විශ්වවිද්‍යාලවලට සම්බන්ධව සර්පයන්ගේ ඇති විශේෂතා සහ ඔවුන් ආරක්ෂා කරගත යුත්තේ ඇයි යන්න පිළිබඳ දේශන පැවැත්වීමත් සිදුකරනවා. අපිට ඕනේ මිනිස්සුන්ට සර්පයින් ගැන තියෙන ආකල්පය වෙනස් කරන්න.

 

කොහොමද සර්පයින් ගැන ඉගෙන ගත්තේ...?

 

මා විසින්මයි සර්පයින් ගැන ඉගෙන ගත්තේ. ඒ සම්බන්ධ ලිපි කියෙව්වා. එතකොට වෙබ් සයිට්වලින්, විදෙස් නාලිකාවලින් ඒ හැමදේකින්ම දැනුම ලබා ගත්තා. ඒවගේම තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයෙන් තොරතුරු හුවමාරු කරගෙනත් බොහෝ දේ ඉගෙන ගත්තා.

 

කොයිම අවස්ථාවකදිවත් සර්ප මුදාගැනීමකදී සර්ප දෂ්ටනයකට මුහුණ පා තියෙනව ද?

 

මේ වෙනතෙක් මට එහෙම දෙයක් වෙලා නැහැ. අපි ඒ වගේ දෙයක් කරද්දී සතාගේ හැසිරීම සම්බන්ධයෙන් හරි අවබෝධයෙන් ඉන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේ සතා හදන්නේ අපිට දෂ්ඨ කරන්නද නැද්ද කියන කාරණාව. දෂ්ට කරන්න හදනවානම් ඒ වෙලාවට අපි හැසිරිය යුත්තේ කොහොමද කියන පුහුණුවත් අපිට තියෙනවා.

 

මේ වෙද්දි නයි කීදෙනෙක් වගේ මුදාගෙන තියෙනව ද?

 

මේ වෙද්දි නයි 3500ක් වගේ මුදාගෙන තියෙනවා. වෙනත් සර්පයින් 500ක් පමණත් මුදාගෙන තියෙනවා. නයි බිත්තර 1000ක ප්‍රමාණයක් ගෙදර ගෙනල්ලා සංරක්ෂණය කරලා පැටවු ලැබුණට පස්සේ නිදහස් කළා. සමහරදාට නයි අල්ලන්න ගියාම ඒ වගේ බිත්තරත් හම්බෙනවා. මිනිස්සු කරන්නේ ඒ බිත්තර විනාශ කරන එක. මේ විදිහට දිගටම මේ සර්ප බිත්තර විනාශ වුණොත් ජෛව විවිධත්වය අසමතුලිත වෙන්න පුළුවන් කියලා අපේ අය දන්නේ නැහැ.

 

අමතක නොවන සිදුවීමුත් ඇති

 

පසුගිය කාලයේ බෙම්මුල්ලගෙදර ප්‍රදේශයේ අඩි දහයක් පමණ දිග කිඹුලෙක් ඒ ප්‍රදේශයේ ගෙවල්වල ඉන්න බල්ලන් පූසන් පවා ග්‍රහණයට ගත්තා. ඉතින් ඒ පැත්තේ හැමෝම හිටියේ හරි බයකින්. මට ඕනෙ වුණා මේ ගැටලුවට විසඳුමක් හොයන්න. ඉතින් සති දෙකක පමණ කාලයක් කිඹුලාගේ හැසිරීම් නිරීක්ෂණය කරලා කිඹුලා අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතිව මුදාහැරීමට කටයුතු කළා. මේ වන විට එවැනි කිඹුලන් සහ පැටවුන් 30ක් පමණ ජීවත් වීමට සුදුසු පරිසර කලාපවලට නිදහස්කර තියෙනවා.

 

පාසල් කාලෙත් වෙනස්ම දේවල් කරන්න කැමැති කෙනෙක් ද?

 

මම ඉගෙන ගත්තේ මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයෙන්. පොඩි කාලේ ඉඳලම පිරිමි ළමයි කරන්න කැමැති වැඩ තමයි මමත් කළේ. හරි හරියට ගස් නැග්ගා. වහලෙට නැඟලා වහලයේ වැඩ කරලත් තියෙනවා. ළිඳවල්වලට බැහැලා සත්තු බේරගෙනත් තියෙනවා.

 

විවාහ වෙන්නෙත් ඔබ වැනිම කෙනෙක් එක්ක...

 

ඇත්තටම ඒක අහම්බයක්. ඔහු අමිල උදාන ජයරත්න. එයත් මං වගේම සර්පයින් මුදාගන්නා කෙනෙක්. එයත් පොඩි කාලේ ඉඳලම ඒ දේවල් කරලා තියෙනවා. හැබැයි එයාව අඳුර ගනිද්දි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි එයත් මං වගේම කෙනෙක් කියලා දැන ගත්තේ. ඊට පස්සේ අපි දෙන්නාම එකතු වෙලා සර්පයන් මුදා ගැනීම කරගෙන ගියා.

 

සර්පයින් කියන්නේ මිනිස්සුන්ට තර්ජනයක් කියලයි ගොඩක් අය කියන්නේ... ඉතින් ඇයි සර්පයින්ව රැකගන්න ඕනේ කියලා හිතන්නේ.?

 

මේ පරිසරය සමතුලිතව තියාගන්න සර්පයොත් ඉන්න ඕනේ. ගොඩක් අය නයින්ට හානි කරන්න බයයි. මොකද ගොඩක් අයට විශ්වාසයක් තියෙනවා නයෙක් මැරුවොත් පවුලේ කෙනෙක් නැති වෙයි..තමන්ගේ ඉඩ කඩම් නැති වෙයි කියලා මතයක්. එයාලා හිතන්නේ නයෙක් මරන එක ශාපයක් කියලයි. ඒකේ ඇත්ත නැත්ත කොහොම වුණත් එහෙම මතයක් තියෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඒකෙන් නයි ටික දෙනෙක් හරි ආරක්ෂා වෙනවා. සර්පයෙක් කියන්නේ ආහාර දාමයක උරුමයක්. සර්පයෙක් නැති වෙනවා කියන්නේ ඉන් පහළ තියෙන අනෙක් පුරුක්වලටත් බලපෑමක් වෙනවා. ඒක යම් ආකාරයකින් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලටත් බලපානවා.මේ ලෝකයේ පැවැත්මට සර්පයන් සෘජුවම දායක වෙනවා. සර්පයන් වඳවෙලා ගිය දවසක ඒ ගැන හැමෝටම වැටහේවි.

 

සර්පයින් වදවීම් මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට බලපෑමක් වෙන්නේ කොහොම ද?

 

මේ කාලයේ මී ගහනය වැඩි වෙලා. මිනිස්සුන්ගේ අස්වැන්න ගෙට ගන්න කලින් කුඹුරෙදිම මීයෝ නිසා හානි වෙනවා. අනෙක් කොටස ගෙට ගත්තට පස්සෙ ගෙයි ඉන්න මීයෝ නිසා හානි වෙනවා. මිනිස්සුන්ගේ ජනජීවිතය තුළත් මේ විදිහේ යම් යම් ගැටලු මතු වෙන්නේ පරිසරය අසමතුලිත වුණාම. පරිසරයේ සමතුලිතභාවයට සර්පයින්ගේ පැවැත්මත් බලපානවා. මේ ලෝකයේ පැවැත්මට සර්පයෝ සෘජුවම දායක වෙනවා. සර්පයින් වද වෙලා ගිය දවසක ඒ ගැන අනිත් අයටත් වැටහේවී.

 

මේ අල්ලන සර්පයින්ව ගිහින් දාන්නේ කොහෙට ද?

 

අපි නයි මුදාහරින කෑළෑ ගැන වැඩිය හෙළි කරන්න කැමැති නැහැ. මොකද නයි නටවනවා කියන අය ඒ පැතිවලට ගිහින් නයි නැවත අල්ලා ගන්න නිසා.

තුවාල වෙච්ච සර්පයින්ටත් අපි බෙහෙත් කරනවා. මේ වෙද්දි එහෙම තුවාල වුණු සර්පයින් 300කට බෙහෙත් කරලා තියෙනවා. පශු වෛද්‍ය උපදෙස්වලට අනූකූලවයි ඒ කටයුතු අපි කරන්නේ.

 

මිනිසුන් සර්පයින්ව පිළිකුල් කරන්න හේතුව විදිහට දකින්නේ...

 

හැමෝම කැමැති බූල් තියෙන සත්තුන්ට. මිනිස්සුන් උරගයින්ට ආදරය කැමැත්තක් නැහැ. පොදුවේ හැමෝම එහෙමයි. අපේ මව්පියෝ දන්න කියන අය පවා එහෙමයි. සර්පයින් කියන්නෙත් මේ පරිසරයේ ජීවත්වන සත්ත්ව කොට්ඨාශයක්. එයාලටත් මේ පරිසරයේ ජීවත් වෙන්න ඉඩක් තියෙන්න ඕනේ. දැන් කාලේ සර්පයෙක් පාර මාරු වුණොත් වාහන යන්නේ සර්පයාගේ ඇඟ උඩින්. කකුල් හතරේ සතෙක් දැක්කොත් විතරයි ගොඩක් අය වාහනයක් නවත්තන්නේ.

ඉතින් කවුරුත් හඬක් නඟන්නේ නැති සත්ත්ව කොට්ඨාශයක් වෙනුවෙන් තමයි අපි මේ විදිහට හඬක් නඟන්නේ.