වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ගල්ඔය ගඟ මඟ දිගේ මැවෙන රුසිරු හරි අගේ
ඈත අහසේ තඹ පැහැ වලා වියලක් ඒ මේ අත හිරුට සෙමෙර සලමින් සිටී.ඒ ආදර කතාව දැකබලා විඳගනු පිණිස පිනි පලසක් මෙන් වැතිර සැතපෙන සැඳෑ සඳ කිනිති වැව් දියවරෙහි ගිලී සැතපෙන අයස්කාන්ත සන්ධ්‍යාවකි. හරිත වන වදුලු සිප ඒ මේ අත නන්නත්තාර ගමන් යන හීන් හුළංකෝඩ අනවසරයෙන් නිරුවත් දෙපා මත වෑස්සෙයි.
වඩිනාලට හිරු එබෙන දැක බලා සිත සතුටින් පුරවා ගැනීම මේ මොහොතේ මාගේ ප්‍රියතම කටයුත්තයි.
තවත් ප්‍රේමාන්විත සැඳෑවකට අරාදින අහස් ගංගාව එන්න එන්නම තම රූ සිරියෙන් අප අමන්දානන්දයට පත් කරලයි. මා ඉන්නා තැන සිට බැලූ කළ ඇස් මානයේ අලකෘංතය පිරී ඉතිරෙයි.
ඒ මේ අත උදාසීනව පියාසලන අතරමංවූ වවුලකු හැර අහස තම අණසකට ගත් කිසිවකුත් නොමැත. ඉඳහිට ඈතින් ඇහෙන ජල තරඟ හඬ හිතුවක්කාර කෙටලාවකුගේ දඩබ්බර ගමනක හෝ අනපේක්ෂිත ගෝරියක ප්‍රතිඵලයක් විය හැකිය. එය අනුමාන කරනවා මිස හරි හැටි කීමට තරම් තවමත් දියවර එළිවී නැත.එක්කෝ එය දියබරි සටනක් වන්නට හැකිය. එසේත් නැතහොත් උඩඟු ගෙඹි රැළ කෝල මනමාල ගමනක යනවාද වන්නට පුළුවන.
පෙරදා රැයේ ඇදහැලුණු තුරුණු වැහි රැල්ල පරිසරයම උන්මාදයට පත්කොට ඇති සැටියකි.
නැවක හැඩය සහ සිරිය ගන්නා වන බංගලාවේ කුඩා පුටුවකට සියලු බරදී අප බලා සිටින්නේ හිරුවර දියවරට පාත්වනතෙක් ය.
කෙමෙන් කෙමෙන් තම සළු පිළිවලින් සැරසෙන දූපත් අංගනාවෝ දැන් තැන තැන දිස් වන්නේ රක්තවර්ණ වැලි කතරක උස්ව නැඟෙන වැලි කඳු පරිද්දෙනි.
අද අප තරුණී සමඟ ඔබ රැගෙන යන්නේ ශ්‍රී ලංකාවේ එකම දූපත් වන උයන වෙතටය.බොහෝ ගමන් ප්‍රියයන්ට මඟහැරෙන ගල්ඔය නිම්නය ජාතික වන උයන අනෙකුත් ජාතික වන උයන් අතරින් වෙනස්ම සිරියක් ගනු ලබන්නේ එහිදී ඔබට අත්විඳින්නට ලැබෙන ගඟමඟේ සංචාරය නිසාමය. අම්පාර හෝ මොනරාගල සංචාරයකදී ඔබ ඔබේ දරුවන් සමඟ අනිවාර්යයෙන් විඳිය යුතු පරිසර භාවනාවට සමවැදෙන්න.
දකුණු පසින් සීතල මිහිදුම් වළල්ලෙන් වැසුණු සේනානායක සමුදුරු ජල තලයයි. තවත් අතක කඳු මුදුනක සිට ඒ අසිරිය ප්රතාපවත්ව බලා සිටින ඩී.එස්.සේනානායක මහතාගේ
පිළිරුව යි.
මේ ඒ සොඳුරු දසුන් එක්තැන්වූ ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානයයි. අප අද ගමන අරඹන්නට සූදානම් වන්නේ ගල් ඔය ජාතික වන උයනෙහි කොටසක්වන සේනානායක සමුද්‍ර අභය භූමිය වෙතටයි. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත ඩී.එස්. සේනානායක මහතා විසින් ඉදිකළ සේනානායක සමුද්‍රය ලක්ෂ ගණනක ජනතාවට ජල පහසුව ලබාදෙන අතර දහස් ගණනක පරිසර හිතකාමීනට පහස ලබාදෙයි. වනගත ගමනට බිමනට ප්‍රිය බොහෝදෙනකුට මඟගැරෙන ගල්ඔය ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ජාතික වන උයන් අතර සුවිශේෂී පරිසර පද්ධතියකි. සවානා වනාන්තරවල ප්රමුඛ ගති ලකුණු පෙන්නුම් කරනු ලබන බිමකින් සමන්විත ගල්ඔය ජාතික වනෝද්‍යානයට මායිම්ව ආදිවාසී ජනතාවගේ ජන්මභූමි සහ ඉපැරැණි ගම්මාන කිහිපයක්ද හමුවෙයි.මුල්ලේගම, දඹගොල්ල, දානිගල, ඉපැරණි ගම්මාන, නිල්ගල සහ රතුගල ඒ ගම්මාන වේ. ඉඟිනියාගල, දානිගල, උල්හෙල, ගෝවින්ද හෙල හෙවත් වෙස්මිනිස්ටර් ඇබේ සහ වඩිනාගල කඳු වැටිවලට වටව උද්‍යානය පිහිටීම නිසා පරිසර විචිත්‍රවත් බව දෙගුණ තෙගුණ වී තිබේ. මෙම වන උයනට පැමිණෙන සංචාරකයන් හට වන සතුන්,
ගහකොළ මෙන්ම වන සංචාරයෙන් අනතුරුව ආදිවාසි ජනතාව දැකබලා ගැනීමට ද අවස්ථාව උදාවෙයි.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී රජ කළ උත්තිය රජු සමයේ හා සද්ධාතිස්ස රජ සමයේ කෘෂි කර්මයෙන් සශ්‍රික පෙදෙසක් ලෙසට සිරිලක පුරා ප්රකටව තිබූ මේ ප්‍රදේශයට යාබදව ඓතිහාසික දීඝවාපියත්, බුද්ධංගල වන සෙනසුනත් පිහිටුවා ඇති අතර ඒවා දැක බලා වැඳපුදා ගැනීමටද මේ ගමනේදී වරම් ලැබේ.
එම නිසා පාරිසරිකව මෙන්ම ඓතිහාසිකවද මේ සංචාරය වැදගත් වේ.
සංචාරකයන්ගේ ප්රමුඛ වන උයන් ලැයිස්තුවේ නම සටහන් නොවන මෙම අමිල පරිසර පද්ධතිය පරිසර ගවේශකයන්ගේ සංචාරක ලැයිස්තුවේ ඉහළින්ම සටහන් වේ. මෙසේ සංචාරකයන්හට ගල්ඔය ජාතික වනෝද්‍යානය මතකයෙන් ගිලිහීමට හේතු වූ ප්‍රධාන කරුණ 1984 සිට 2006 දක්වා ත්‍රස්තවාදී කලබල හේතුවෙන් උද්‍යානය වසා තැබීමයි. දැන් සංචාරකයන්ට සමීප ගල්ඔය, ආරුගම්බේ සහ පාසිකුඩා සංචාරක කලාප වෙත යන පරිසර ප්‍රේමීන්ගේ කදිම නවාතැන්පොළක් බවට පත්ව තිබේ.
ගල්ඔය ජාතික වන උයන හේතු කාරණා කිහිපයක් නිසා විශේෂිත වේ. එකම දූපත් කඳවුරු බිම පිහිටුවා ඇත්තේ මේ වන උයනේය. එමෙන්ම පිහිනන අලි නිතර දැකිය හැකි අතර මානං කුකුළා,නීල කන් පිළිහුඩුවා සහ පුංචි සීතලු බටගොයා මෙම වන වදුලු අතර පමණක් දැකිය හැකිවීමද සුවිශේෂත්වයකි. එමෙන්ම ගල්ඔය ජාතික වනෝද්‍යානය පිවිසෙන සංචාරකයන්හට වෙනත් කිසිදු ජාතික වනෝද්‍යානයකදී හමුනොවන සුවිශේෂී ගමනකට මඟ විවෘත වේ. ඒ සේනානායක සමුද්‍රයේ දූපත් නැරඹීමේ භාග්‍යයයි. අප උදෑසනම අරඹන්නේ ඒ සුන්දර ගමනයි.
සේනානායක සමුදුර මත විසිරෙන ජල තරඟ මැද අපේ ගමන ඇරඹෙන්නේ නව ලොවක් වෙතයැයි සිතන තරමට මේ පරිසරය චමත්කාර සිතුවම් මවයි. වඩිනාගලට ඉහළින් වඩින තරුණ හිරු වලා වියලක ආදරණීය හාදු තවරාලයි. මේ පරිසර මාතාව අප වෙනුවෙන්ම මැවූ ඒ අමිල සුන්දර හිමිදිරියයි.
මෙම බෝට්ටු ගමන සඳහා අට දෙනකුට සහභාගිවීමට හැකි අතර ඔබ මේ ගමන සැලසුම් කරන්නේනම් අට දෙනෙකුට පමණක් සීමා වීම විශේෂයෙන් මතක තබා ගත යුතුම කරුණකි. එසේම සංචාරකයන් මෙම ගමන වනෝද්‍යානයට පැමිණීමෙන් පසුව වෙන්කර ගැනීමට උත්සාහ ගනු බොහෝවිට දැක බලා ගත හැකිය.ඔබ මේ පරිසර ගමන සංවිධානය කරන්නේ නම් බෝට්ටු සංචාරය උද්‍යාන කාර්යාලය අමතා කලින් වෙන්කර ගත යුතුමය. මෙම ගමන සඳහා අටදෙනකුගේ කණ්ඩායමට දල වශයෙන් රුපියල් දසදහස් පන්සියයකට නොවැඩි මුදලක් වැයවන අතර දිනයේ බෝට්ටු ගමන් තුනක් සඳහා පහසුකම් මෙහිදී ලබා ගත හැකිය.
උදෑසන 6.30,9.30 සහ 3.30 යන වේලාවන්හිදී මෙසේ දූපත් සංචාරයට එක් විය හැකිය.
මෙම ගමනේදී ඔබේ ඇස් පැහැරගන්නා කුඩා කුරුලු විශේෂ මේ ගමනේ අලංකාරය නියත වශයෙන්ම දෙගුණ තෙගුණ කරනවා ඇත.
ක්‍රමයෙන් පණ ගැන්වෙන බෝට්ටුව මන්දගාමීව ඉදිරියට ඇදෙයි. අප ඇතුළුවන්නේ ඔවුන්ගේ රාජධානියටවන බැවින් නිශ්ශබ්දතාව බොහෝ වටී. පරිසර වන්දනාවක යෙදෙන ඕනෑම මොහොතක නිහැඬියාව දුලබ දේ අප නෙත් වෙත සමීප කරයි. දූපත් දහයකින් සමන්විත මේ අසිරිමත් සමුදුරු මඟෙහි අපට දැකබලා ගත හැක්කේ දූපත් හතක් පමණි. ඉන් තුනක් කුරුලු දූපත් වේ. සෑම දුපතකම සද්ධන්තයකු නොසිටීමට නොහැකිය. එබැවින් අප ප්‍රවේසම් විය යුතු අතර බියවීම අනවශ්‍යය.
ක්‍රමයෙන් ගොඩබිම ඈත්වේ. දූපත් සමූහය අප නෙත මායිමට සමීපවන අතර බෝට්ටුවේ වැළැක්විය නොහැකි ශබ්දයට අභියෝග කරන දහස් ගණන් දියකාවුන් රංචුව මහා හඬක් නංවමින් ඉගිලගොස් නැවතත් අප ඉදිරියේ පැතලි ගල් තලාව වසාගනී.වසුරුවලින් ශ්වේත වර්ණ ගැන්වී ඇති ගල් තලාව කාල වර්ණයට හැරීමට ගතවන කාලය දියකාවුන්ගේ ප්‍රමාණය සහ පියැඹීමේ ජවය අනුව වෙනස්වේ. ගල් තලාවක ගිමන නිවන හුදෙකලා කිඹුලන්ට ලෝකය පෙරළුණද ගාණක් නැති ගානය. තැති නොගන්නා මේ කම්මැළි කිඹුලන් සීරුවට ලිස්සා සැඟවීමට නම් සූරයන් ය.
සකුණ ගවේෂකයකුට විද්යාගාරයක්වන මෙම ගඟ මඟ දෙපස සිරි විසිතුරු ඔබ හැකිතාක් භාවනාවක් බවට පත් කරගත යුතුමය. මේ භාවනාවේ ආනිශංස ලැබෙන්නේ ඔබ හික්මුණු නිවුණු නැවතුණු තරමටමය. ඒ භාවනාෙව් සුවය සැමදා ඔබටමය.
එහෙනම් ඔබට සුව සුබ ගමන්...