බිම්පණුවාගෙන් දියර පොහොර හදා ගනිමු

කෘමි විකර්ශන ගතිගුණත් තිබෙනවා
ජූලි 14, 2021

 

රසායනික පොහොර භාවිතය ක්‍රමයෙන් අතහරිමින් කාබනික පෝෂක ප්‍රභවයන් භාවිතයට සමස්ත ලෝකයම මේවන විට නැඹුරුවෙමින් සිටින්නේ මේ අහිතකර බලපෑම් යම් තරමකට හෝ සමනය කිරීමටයි.

පොහොරක් ලෙස ඝන පණු පොහොර නිපදවනවාට අමතරව පණුවන් ඇසුරෙන් දියර පොහොරක් නිපදවා ගන්නා ආකාරය ද අප මෙලෙස පෙන්වාදෙන්නේ මේ වෙතට ඇති ඔබගේ උනන්දුවට තවත් අතදීමක් වශයෙනි.

මේ පණු පොහොර දියරය ළා දුඹුරු පැහැතිය. ගන්ධයකින් තොරය. පණුවන් ජීවත්වෙන මාධ්‍යයයක් හරහා සියුම් ජල ධාරාවක් ගලායාමට සැලැස්වීමෙන් නිපදවාගනු ලැබේ. ‘පණුදෙවුම’ (Vermiwash) ලෙස නම්කර ඇති මේ ද්‍රාවණයේ ක්‍ෂුද්‍ර ජීවීන්, වර්ධක හෝමෝන, විටමින් වර්ග, ඇමයිනෝ අම්ල ඇතුළු පෝෂක පදාර්ථ ගණනාවක් තිබෙන නිසා ශාක වර්ධනයට සැලසෙන්නේ ඉමහත් පිටිවහලකි.

පසුගිය සතියේ අප ඔබ දැනුම්වත් කළ ගෙදරදොර කුණු කසළ යොදාගනිමින් මුළුතැන්ගෙය අසල තැබූ බඳුනක ඝන පණු පොහොර නිපදවූවා සේම ‘පණුදෙවුම’ දියර පොහොර සෑදීම ද ඉතා පහසුය. වියදම අවමය. රූපයේ දැක්වෙන ආකාරයට අඩි තුනක් පමණ උස ප්ලාස්ටික් බඳුනකට අවශ්‍ය ද්‍රව්‍ය දමා පණුවන්ගේ වාසස්ථානය සාදා ගත හැකිවේ. මෙහිදී පණුවන් සිටිනා ස්ථරයෙන් පහළ ස්ථර සකසා ඇත්තේ රොඩුබොඩු නොමැතිව දියරය පෙරා ගැනීම සඳහායි. ඝන පණු පොහොර නිෂ්පාදන බඳුනකට වඩා තවත් වෙනසක් මෙහි තිබේ. එනම් දියරය පිටතට ගැනීමට පතුලේ කරාමයක් සවිකර තිබීමයි. මේ වෙතට ඉතා සෙමින් ක්‍රමක්‍රමයෙන් පැමිණෙන ජල සැපයුමක් ලබාදිය යුතුවේ. පහළ කරාමයෙන් දොවාගනු ලබන්නේ බඳුන හරහා පණුවන් තෙමාගෙන ගලා බසිනා මෙම ජලයයි. ඉන්දියාව තුළ කාබනික වගා ගොවිපොළවල් ආශ්‍රිතව මෙය සුලබව භාවිතාවෙන තාක්ෂණයකි. එහි ගොවිපොළක් අසල ඇති පණුදෙවුම් නිපදවන බඳුන් කීපයක් ද මෙහි ඇති රූපයේ දැක්වෙන නමුත් ඉහළ ඇති කළගෙඩියේ සිට බඳුන වෙතට ජලය පැමිණෙන්නේ කෙසේද යන්න නම් පින්තූරයේ පැහැදිලි නැත. එහෙත් මේ පිළිබඳව පර්යේෂණයන්හි නිරතවෙන අම්බලන්තොට වී පර්යේෂණ ස්ථානයේ පාංශු විද්‍යාඥයෙක් වන තිලක් මුණසිංහ මහතා පවසන්නේ බඳුනට ඉහළන් තැබූ ජලය පිරවූ කළය පතුලේ කුඩා සිදුරක් සාදා, එයට කොහු ලණු සහිත ඇබයක් ගසා, එතැන් සිට බඳුන දක්වා දැමූ කොහු ලණු දෙක තුනක් හරහා මෙම අඛණ්ඩ ජල සැපයුම ලබාගත හැකි බවය. කළගෙඩියේ ජලය අඩුවෙන ප්‍රමාණය අනුව විටින්විට එයට ජලය පිරවිය හැකිවේ. පහළ ඇති කරාමය විටින්විට විවෘතකර පණුදෙවුම ලබාගත හැකිය.

අඩි තුනක් පමණ උස බඳුනේ පෙරහන් ස්ථර ලෙස ඇත්තේ පහළින්ම ඇති තරමක් ලොකු ගල්කැට සහිත ස්ථරයත් ඊට ඉහළින් පිහිටන වැලි තට්ටුවත්ය. ඒ මත ඇත්තේ පණුවන් සිටිනා පස් ස්ථරයයි. ඊටත් ඉහළින් ගොම තට්ටුවකුත්, ඒ මත දිරාපත්වෙන කොළරොඩු සහිත කාබනික ද්‍රව්‍ය ස්ථරයකුත් අතුරා ඇත. පණුවන් වැඩෙන්නේ මේවා ආහාරයට ගනිමිනි. මෙම එක් එක් ස්ථරයේ ඝනකම මෙපමණ යයි කීමට නිශ්චිත අගයක් නැත. රූප සටහනේ පෙනෙන අයුරින් බඳුනේ උස අනුව ඔබට අදාළ පරිදි ස්ථරයන්හි ඝනකම ඔබට ම තීරණය කරගත හැකිය.

පණු දියරය භාවිත කළ හැක්කේ පත්‍ර මතුපිටට ඉසින කාබනික දියර පොහොරක් වශයෙනි. එය කිසිදු විස ද්‍රව්‍යයක් අඩංගු නොවන්නක් බැවින් යොදන මාත්‍රාව ගැන හෝ ඉසීමෙන් කොපමණ කලකින් අස්වැන්න ගත හැකිද යන්න හෝ විමසා බැලීමට කරදර වියයුතු නැත. ඇතැම් පර්යේෂණ පත්‍රිකාවල සඳහන් වන්නේ වතුර එකතුකර දස ගුණයක් පමණ තනුක කිරීමට වුවත් ප්‍රමාණවත් පෝෂණ සංයුතියක් මේ ‘පණුදෙවුම’ (Vermiwash) තුළ ඇති බවයි. මීට අමතරව එය කෙළින්ම පසට දැමීම වුවත් වරදක් නොවේ. කොම්පෝස්ට් දිරායාම පහසු කරවීම සඳහා කොම්පෝස්ට් නිපදවන බඳුන තුළට වුවද දමන්නට පුළුවන. ශාක පෝෂණයට කෙරෙන බලපෑමට අමතරව ‘පණුදෙවුම’ සතුව ඇති ජෛව පළිබෝධ නාශක ගතිගුණ ද අප අමතක කළයුතු නැත. ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වාදී තිබෙන්නේ

‘පණුදෙවුම’ ඉසින ලද ශාක පත්‍ර කන්නට දළඹුවන්, කෘමීන් වැනි සතුන් අකැමැත්තක් දක්වන බවකි. මීට අමතරව දිලීර රෝග ආසාදනය වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්වන බවට ද තොරතුරු ඇත. එසේනම් ‘පණුදෙවුම’ ශාකයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද ඉහළ දමන්නේය. කාබනික ගොවිතැනක් වෙතට ප්‍රවේශවෙමින් සිටිනා මෙම අවදියේදී බිම්පණුවා වෙතින් ශාක පෝෂණය හා ආරක්ෂක මෙහෙවරක් ඉටුකරවා ගැනීමට ලාංකික ගොවියා අතපසු කළයුතු නැත.

 

YouTube link: https://www.youtube.com/watch?v=1nvA4lJrjKA

 

 

 

 

 

උපදෙස්

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය,

ගන්නොරුව, පේරාදෙණිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.