පැයට කිලෝමීටර් 100ක වේගයෙන් පන්දු යවන සමන්පුරේ සමන් මල

ජූලි 15, 2024

සමහර කතා තිබෙනවා හරිම සංවේදියි. මේ සංවේදී කඳුළු කතාවල පසුබිමේ ඇතැම් විට නොසිතන ජයග්‍රහණ ගැන සටහන් වෙනවා. ඉමේෂා දිල්රුක්ෂි කියන්නෙත් එවැනි කඳුළු කතාවක එක චරිතයක්. ඇය මේ මහ පොළොවේ ජයග්‍රහණය හඹා යන සැබෑම චරිතයක් පමණක් නොවෙයි. කඳුළ පිසදා ලෝකය ජය ගන්න වෙර දරන දක්ෂ දියණියක්.

කැඩුණු කැන්වස් සපත්තු කුට්ටම දාගෙන, තම පාසල් බෑග් එක කරේ දමාගෙන ඇය යන්න හදන්නේ කිලෝමීටර් දෙකක් පමණ ඈතින් තිබෙන තමුන්ගේ පාසලට. මේ පාසල තිබෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට ලුණුගම්වෙහෙර කලාපයේ වීරවිල. මේ පාසලේ නම තමයි සමන්පුර මහා විද්‍යාලය. මේ විද්‍යාලයේ ඉමේෂා දිල්රුක්ෂි තමයි ලෝකයක් ජයගෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න සිහින දකින පුංචි ක්‍රීඩිකාව.

ඇය පාසල් ගිහින් පාඩම් වැඩ අහවර කරලා මුලින්ම පාසලෙන් එළියට එනවා. පාසල් අහවර කරන කනිසමට පාසලෙන් එළියට එන ඇය ඊළඟට දුවගෙන යන්නේ තමුන්ගේ පුංචි නිවහනට. ගෙදර දුවලා ගිය ඇය ආපසු ක්‍රිකට් පුහුණුවට පාසලට එනවා. මෙහෙම දුවගෙන ක්‍රිකට් පුහුණුවට එන ඉමේෂාගේ කතාව ටිකක් වෙනස් වෙනවා. මේ කතාව ටිකක් ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුරු කතාව තුළ අනාගතය පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අප සොයාගෙන ගියේ ඒ බලාපොරොත්තුව. ඒ ගැන අපට මුලින්ම තොරතුරු ලබා දුන්නේ සමන්පුර මහා විද්‍යාලයේ විදුහල්පති එම්.ආර්. ඒ.ඒ. කුමාර මහතා ඔහු දුන්න තොරතුරු අනුව මුලින්ම නිමේෂා ගැන අපට සඳහන් කළේ ඇයගේ පුහුණුකරු සුරාන් ප්‍රියන්ත මහතා. ඔහු ඉමේෂා ගැන අපට සඳහන් කළේ මෙලෙසිනි.

“අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා වසර දෙකක් වෙනවා. අපි 19න් පහළ පසුගිය වසරේ අර්ධ අවසාන තරගය දක්වා පැමිණියා. මේ තරගයේදී තරග 4ක් තුළ කඩුළු 10ක් බිඳ හෙළීමට අපේ ඉමේෂා දියණිය සමත් වුණා. අපට ඇය ගැන බලාපොරොත්තුවක් තබන්නට හැකි වුණේ ඒ දක්ෂතාවය නිසයි. අපේ ගමෙන් කවදා හෝ දවසක මේ දුව ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයි කියන බලාපොරොත්තුව තිබෙනවා. ඇත්තටම අපේ පාසල ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ ඇති දුෂ්කර පාසලක් මේ පාසලේ මුලින්ම තිබුණේ සැහැල්ලු පන්දු ක්‍රීඩාව විතරයි. අපේ පාසලේ දරුවන්ගේ දක්ෂතාවය දැනගෙන දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණුකරුවන් සමඟ අප්සාරී තිලකරත්න මහත්මිය අපගේ පාසලට පැමිණියා. ඇය අපට ලෙදර් ක්‍රීඩා තරග සඳහා පුහුණුවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීමට කටයුතු කළා. අපි ඇය දුන්න බඩු බෑග් එකෙන් තමයි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. අපට සයිඩ් විකට් එකක්වත් තිබුණේ නැහැ. ඒ සියලු දේ අපට පාසලේ ආදි ශිෂ්‍යයන් ලබා දුන්නා. අපට මැටන් එකක්වත් නැහැ. දෙබරවැව ජාතික පාසලේ මැටන් භාගයක් තමයි ක්‍රීඩා කරන්න ගත්්තේ. මේ ගමේ ඉන්නේ කට්ට කාලා හැදුණ කෙල්ලෝ කොල්ලෝ. ඉමේෂා වගේම දක්ෂ දරුවෝ මේ ගමේ ඉන්නවා. ඒ දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන යන්න කාගේ හරි උපකාරය හා අතදීමක් තිබෙනවා නම් අපට ජයග්‍රහණ රැසක්ම ලබාගන්න පුළුවන්.

ඉමේෂා කියන්නේ ඒ වගේ කට්ට කාලා ඉදිරියට ආපු දරුවෙක්. ඇයගේ පියා නැහැ. පවුලේ 7 දෙනෙක් ඉන්නවා. එයා සෑහෙන්න දුක් විඳින දරුවෙක්. එයා කිලෝමීටර් 2ක් පමණ උදේ පාසලට එනවා. හවස පාසල ඇරිය ගමන් ගෙදර දුවනවා. එයා තමයි සීනුව ගහනකොට මුලින්ම පාසලෙන් එළියට යන්නේ. එහෙම ගිහින් ආපහු මල්ලිත් එක්ක ක්‍රිකට් පුහුණුවට එනවා. එයාගේ අම්මා කුලී වැඩවලට යනකොට මල්ලිව බලාගන්න කෙනෙක් නැහැ. එතකොට ඉමේෂා මල්ලිවත් එක්කරගෙන තමයි පුහුණුවට එන්නේ. ඒ විදිහට පුහුණුවට ආපු ඉමේෂා දැන් දකුණු අතින් වේග පන්දු යවන ක්‍රීඩිකාවක්. දැනට ඇය දකුණු පළාත් සංචිත තුළ හොඳට ක්‍රීඩා කරනවා. එයා පුහුණු කරන්නත් මට පහසුයි. එයා මේ පරිසරයත් සමඟ හොඳට මහන්සි වෙලා පුහුණුවීම් කටයුතු කරනවා. මම හිතනවා ඇය පැයට කීලෝමීටර් 100 එහා වේගයෙන් පන්දු යවනවා කියලා. මෙයාගේ පන්දුවලට පිරිමි ළමයින්ටවත් පහර දෙන්න බැහැ. දැන් එයා හොඳ මට්ටමක ඉන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මේ දරුවා පැවසුවේ නැති වුණාට අඩුපාඩු ගොඩක් තියෙනවා. ගේ හරියට හදලා ඉවර නෑ. නමුත් ඒ කිසිම දෙයක් එයා කියන්නේ නැතුව නොකා නොබී හරි පුහුණුවීම්වල යෙදෙනවා. ඒක තමයි එයාගේ විශේෂත්වය.”

ඉමේෂා වැනි දක්ෂයන් මේ ලක් දෙරණ මත තවත් වෙයි. ඇයගේ උත්සාහය එවැනි දරුවන්ට ද ආදර්ශයකි. මේ ඇයගේ උත්සාහයේ කඳුළු කතාව සඟවාගෙන ඇය අපට පැවසූ කතාවයි.

‘මගේ පවුලේ 7 දෙනෙක් ඉන්නවා. අම්මයි, මමයි, අක්කයි, අයියලා දෙන්නයි, මල්ලිලා දෙන්නායි ඉන්නේ. මගේ ලොකු අයියා මිය ගියා. ලොකු මල්ලි පැවිදි වෙලා ඉන්නේ. අම්මා කුලී රස්සාව කරලා තමයි මගේ මේ පුහුණුවීම් කටයුතුවලට මුදල් දෙන්නේ. දැන් මම පළාත් සංචිතයට තේරිලා තියෙනවා. මගේ ඉදිරි අනාගත හීනය තමයි කවදා හරි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා චමරි අක්කා වගේ වෙන්න. අප්සාරි මිස් තමයි අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවට මුලින්ම අත දුන්නේ. මට කියලා බඩු බෑග් එකක්වත් නැහැ. අප්සාරි මිස් දුන්න බෑග් එක මරු කරගෙන තමයි අපේ කණ්ඩායමම ක්‍රීඩා කළේ.

කිසිම දෙයක් නොතිබුණු අපට දැන් අනුග්‍රහය දක්වන්න ආයතනයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක අපට විශාල ශක්තියක්. මම වගේම දක්ෂ අය අපේ පාසලේ තව ඉන්නවා. ඉදිරියේදී සමන්පුර මහා විද්‍යාලය මුළු රටම දන්න පාසලක් කරන්න පුළුවන්. ඒ ඉලක්කයට අපට යන්න වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ.“

ඇයගේ අපේක්ෂාව හා අධිෂ්ඨානය හරිම ඉහළයි. දහසක් ගැටලු හා බාධක මැදින් ඇය ලොවක් දිනන්නට උත්සාහ කරයි. එය ඇය උපතින්ම ලැබු උරුමය වාසනාවක් බවට පරිවර්තනයකර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට එන දිනය වැඩි ඈතක නොවනු ඇත.

 

 

විශේෂ ස්තූතිය -

SL Sport යූ ටියුබ් නාලිකාවේ

බුද්ධික ගම්ලත් මහතාට