ඔයත් SEX වලට බයයිද?

ජූලි 22, 2024

 

ලිංගිකත්වය  එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරිකව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි. එය සැබවින්ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්. නමුත් ඔබේ සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිටම එක හා සමාන වන්නේ නැහැ.

හැමවිටම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ. සමහරවිට ඊට හේතුව ඔබේ වැඩ අධිකබව, ඔබේ දරුවන්, කාර්යාල කටයුතු ඔබේ කාලය හොරකම් කරගැනීම විය හැකියි. නැතිනම් සිතුවිලිවල වෙනස්කම් විය හැකියි. ලිංගික අසාර්ථකත්වයට හේතුව කුමක් වුවත්, එය වහාම හඳුනාගැනීම සහ පිළියම් යෙදීම අත්‍යවශ්‍යයි. සහකරු සමඟ සහසම්බන්ධතාව ශක්තිමත්වීමට සාර්ථක ලිංගික ජීවිතය අතිශයින්ම වැදගත් වෙනවා.

 

ඔබේ කාලයට හෝ ඔබේ වැඩකටයුතුවලට ලිංගික ජීවිතය අයිතිකර ගන්නට දෙන්න එපා. වඩාත් නැවුම් ලෙසින්, ආකර්ෂණීය අයුරින් ලිංගික සම්බන්ධතා පවත්වාගැනීම කල්පවත්නා පහසු සහසම්බන්ධයකට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. කණපිට පෙරළෙන්නට හදන ඔබේ ලිංගික ජීවිතයට ජවය, බලය සහ ශක්තිය එකතුකර ගන්න මේ ටිප්ස් අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

 

ඔබම ඔබේ සිරුර ඉල්ලන දේ හඳුනාගන්න

 

සහකරු සමඟ හොඳ සහසම්බන්ධයක් ඇතිකර ගන්නට නම් ඔබේ සිරුර ඉල්ලන, ඔබ ආශා කරන ඔබ තුළ සැඟව සිටින ඔබ හඳුනාගත යුතුමයි. තමන්ගේ හැඟීම්වලට අවංක වෙන්න. ලිංගික ආශාවන් තමන්ට දැනෙන නිවැරදිම විදිහ හොඳින් අවබෝධ කරගන්න. ඔබේ සහකරු සමඟ ඔබේ හැඟීම් සැහැල්ලුවෙන් අව්‍යාජව බෙදාගන්න. සහකරු ඔබෙන් අපේක්ෂා කරන ලිංගික ස්පර්ශයන්, වඩාත් ආකර්ෂණයවන සිපගැනීම්, ඉරියව්, දෙදෙනාට ම ඇති ලිංගික උත්තේජනය වීම් සහ ඊට දක්වන ලිංගික ප්‍රතිචාර පැහැදිලිව වටහා ගන්න. සහකරු සමඟ සම්බන්ධ වන්නට පෙර ලිහිල්කරණ ක්‍රම භාවිත කරන්න. ඉහළ ලිංගික තෘප්තියක් අත්පත්කර ගන්නට නම් සිරුරු ලිහිල්ව පැවතීම අත්‍යවශ්‍යයි. ලිංගිකව එක්වන සෑම අවස්ථාවකදීම එකතුවන අත්දැකීම් අලුත් කරගන්න. අලුත් අත්දැකීම් වෙත යොමු වන්න. මස්පිඩු ලිහිල්වන ලෙස ගැඹුරින් හුස්ම ගන්න. සහකරු සමඟ සිරුරින් මෙන්ම මනසින් සැහැල්ලු වන්නට හැකි පරිදි ඔබේ හැඟීම් මුදාහරින්න. ලිංගික කාංසාවන්, එනම් ක්‍රියාකාරීත්වය තුළ උදාසීන වීම්, පසුබැසීම් ඇතිවන්නේ ඔබේ හැඟීම් නිරවුල් සහ සැහැල්ලු නොවන විටයි.

 

ඔබ ඒ සිට බී සහ සී දක්වා ගමන්කරන විට පවත්වාගන්නා රිද්මය ගැන සැලකිලිමත් විය යුතුයි.  ලිංගික හැඟීම් මත දෙදෙනාම කටයුතු කිරීම මේ සඳහා අතිශයින් වැදගත්. ලිංගික එක්වීමකට පෙර දෙදෙනාගේ සිරුරු හොඳින් ගවේෂණය කරන්න. ස්පර්ශ කිරීම් සහ සිපගැනීම් වෙනුවෙන් ඉතා දිගු කාලයක් වෙන්කර ගන්න. එය දෙපාර්ශ්වයට ම ප්‍රියජනක සහ හැඟීම්බර අයුරින් පවත්වා ගැනීමට වගබලාගන්න. පසුබිමින් ඇසෙන මිහිරි සංගීත නාදයක්, අවටින් සහ සිරුරුවලින් දැනෙන වින්දනීය සුවඳක් මේ සඳහා යොදාගත හැකිනම් දෙදෙනාටම ලිංගික පිබිදීමකට හොඳින් අනුබලය සපයාවි. හැම මොහොතකම ඔබේ සහකරු හැකිතරම් හොඳින් සතුටු කරන්නට ‍ඔබේ කාලයට සහ හැඟීම්වලට ඉඩ දෙන්න.

 

කාලය ගන්න

 

ලිංගිකව එක්වන අවස්ථාවලදී කාලය ඉතා වැදගත්. අසීමිතව ඒ වෙනුවෙන් කාලයට ඉඩ දීමට තරම් ඉවසිලිමත් වන්න. ස්පර්ශයෙන්, සිපගැනීමෙන් දැනෙන සතුට අත්විඳින්නට හැකිවන්නේ ඔබ ඊට නිදහස් කාලයක් ලබාදී‍මෙනුයි. ලිංගික හැඟීම් සෘජුවම ඇති නොවන අත්, පා, මුහුණ ස්පර්ශයෙන් ඔබේ හැඟීම් බෙදාගැනීම ආරම්භ කරන්න. අනතුරුව පියයුරු, ලිංගික අවයව ආදී ලිංගික උ‍ත්තේජන ලබාදිය හැකි අදියර වෙත පිවිසෙන්න. ඔබ ගන්නා කාලය ඔබ දෙදෙනාගේම තෘප්තිමත් ලිංගික එක්වීමකට නිසැකවම හරි මඟ පෙන්වාවි.

 

එක්වන්න පැකිළෙන්න එපා

 

සෑම ලිංගික එක්වීමක් තුළින්ම  වැඩි දියුණු වන්නේත්,  ශක්තිමත් වන්නේත්  ඔබ දෙදෙනාගේ සහසම්බන්ධතාවයි. ඔබේ ලිංගික එක්වීමට අවස්ථාව සැලසෙන්නේ සමහරවිට අනපේක්ෂිත උදෑසනක, අනපේක්ෂිත රාත්‍රියක හෝ අනපේක්ෂිත දවාලක විය හැකියි. වෙලාව කුමක් වුවත්, ඊට ඔබ දෙදෙනාම සූදානම්වීමෙහි ගැටලුවක් මතු නොවේනම්, කිසිවිටෙකත් පැකිළෙන්න එපා.

 

ලිංගික හැඟීම්වලට අකමැත්තෙන් සීමාකම් පනවාගැනීම දිගුකාලීනව නරක ප්‍රතිඵල ගෙන දෙන්නක්. අවස්ථාව සැලසෙන හැම‍ මොහොතක්ම ඔබේ කරගැනීමට පැකිළෙන්න එපා. බොහෝ විට සැමියා හෝ බිරිය තමා ලිංගිකව එක්වන විට අනෙකාට තම ආශාවන් පෙන්වීමට නැත්තම් කැමැත්ත පෙන්වීමට බය වන්නේ වැරදියට වටහා ගනිවී යැයි කියා සිතන බිය නිසාවෙනි. මේ නිසා හොඳම දේ දෙදෙනා තමාගේ සිතුම් පැතුම් ආශාවන් ගැන කතාබහ කිරීමයි.

 

ඔබ කැමති දේ ඔබේ සහකරුට කියන්න

 

ඔබේ ලිංගික ජීවිතය වැඩි දියුණු කිරීම සඳහා ආරක්ෂාකාරී, සුපරීක්ෂාකාරී සහ ඉක්මන් ක්‍රමයක් වන්නේ ඔබේ සහකරු සමඟ ප්‍රසිද්ධියේ සන්නිවේදනය කිරීමයි. ඔබගේ ලිංගික ජීවිතය සඳහා ඔබේ සීමාවන් හා ඔබේ අභිලාෂයන් ගැන සෘජුවම සාකච්ඡා කරන්න. ඔබේ ආශාවන් ප්‍රකාශ කිරීමට අවධානය යොමු කරන්න. ඔබේ සහකරු සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට කිසියම් හෝ අපහසුතාවයක් තිබේ නම්, එකවර නිදහස් හැඟීම් එකිනෙකා සමඟ ලිඛිතව බෙදා ගන්න, නැත්නම් විදුලි පහන් නිවා දමා අඳුරේ කතා කිරීම සිදු කරන්න. කතා කිරීම විශ්වාසය හා සමීපත්වය ගොඩ නගයි. ගැටලු විසඳා දෙයි.

 

ඔයාටත් වැජිනිස්මස්ද?

 

නමුත් ලිංගිකත්වයට බය ඇතිවන මානසික රෝගයක්ද ඇත. එය වැජිනිස්මස් (Vaginismus) හෙවත් සංසර්ග භීතිකාව යනුවෙන් හඳුන්වයි. මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් අතර ගැමි කාන්තාවන් මෙන්ම වෛද්‍යවරියන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, ගුරුවරියන් මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලතල දරන අයද වෙනවා. මේ අනුව පෙනී යන්නේ වැජිනිස්මස් හෙවත් යෝනි ප්‍රදේශය තදින් සංකෝචනය වීමේ රෝගී තත්ත්වයට නූගත්කම හෝ නොදැනුවත්කම බල නොපාන බවයි.

 

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තම ලිංගික සහකරු සමඟ ලිංගිකව එක්වීමේ ආශාව ඇතත් යෝනි සංසර්ගය ආරම්භයේදීම ඇතිවන වේදනාව නිසා ලිංගික ආශාව සහ ලිංගික හැඟීම් පහව ගොස් සිත් තැවුලට පත්වීමයි.

යෝනි ප්‍රදේශයේ ඇති පේශීන් තදින් සංකෝචනය වීම හෙවත් වැජිනිස්මස් (Vaginismus) හෙවත් සංසර්ග භීතිකාව සඳහා හේතු කීපයක් බලපානවා.

පිරිමියකු සමඟ ලිංගිකව හැසිරීම යනු අසභ්‍ය හා වැරදි සහගත දෙයක් ලෙස සිතන මානසිකත්වයකින් පසුවීම, කුඩා කාලයේදී අප්‍රසන්න ලිංගික අපචාරණයකට හෝ දූෂණයකට ලක්වීම, ගර්භිණී වීම පිළිබඳ අධික බියකින් පසුවීම, ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් සහ අධික රුධිර වහනයක් ඇති වෙතැයි යන අනියත බිය, තම විවාහයට අකමැති හෝ ඊර්ෂ්‍යා කරන අයෙක් ලිංගික සංසර්ගය අවහිර කිරීම සඳහා කොඩිවින කිරීම මඟින් “කලව බන්ධනයක්” කරඇතැයි යන විශ්වාසය. මෙහිදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ මානසික තත්ත්වයන් මේ සඳහා බලපාන බවයි.

වැජිනිස්මස් රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී උපදේශනය, මනෝමය ප්‍රතිකාර මෙන්ම නිවැරදි ඉරියව්ව, නිවැරදි පරිසරය සහ ලිස්සන ජෙල් වර්ග භාවිතයට උපදෙස් දීමද වෛද්‍යවරුන් විසින් සිදු කරනවා. කෙසේ වෙතත් වැජිනිස්මස් රෝගයේ මූලික අවස්ථාවේදීම වෛද්‍යවරයකු ලවා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සියයට සීයක ප්‍රතිඵල ලබාගත හැකියි. උපදේශනය තුළින් රෝගී තත්ත්වය පහව නොයන්නේ නම් යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාම සඳහා කාන්තාව යොමු කළ යුතු වෙනවා. යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාමයට හුරු කිරීම මඟින් යෝනි මාර්ගයේ වේදනාව පහව යාම සිදු වෙනවා. මෙය පළමුව තමන් තනියමත් ඉන්පසු තම සහකරු සමඟත් සිදු කළ යුතු වෙනවා.

 

ඈත අතීතයේ සිට පැවත එන කලව බන්ධනය හේතුවෙන් බොහෝදෙනෙකු පීඩා විඳන නිසා එහි දුර්මතද අප බැහැර කළ යුතු වෙනවා. වැජිනිස්මස් රෝගයේදී යෝනි මාර්ගය අවට පේශීන් මෙන්ම යටිබඩේ සහ කලවා ප්‍රදේශයේ පේශීන්ද තදින් සංකෝචනය වීම නිසා වැජිනිස්මස් රෝගයට අතීතයේදී කලවා බන්ධනය යැයි කියනු ලැබුවා. නමුත් මෙය ඇතිවන්නේ මානසික තත්ත්වයක් හේතුවෙනි. මෙය මනෝ ප්‍රතිකාර මඟින් සුවකර ගත හැකිය. සෑමදේටම මුල්වන්නේ තමාගේ සිතිවිලිය. ඒ නිසා නිතර සිත සැහැල්ලුවෙන් තබාගෙන සිටීමෙන් වගේම සහකරු සමඟ අාශාවන් ගැන කතාබහ කිරීමෙන් හොඳ පවුල් ජීවිතයක් වගේම ලිංගික ජීවිතය ද සතුටින් පවත්වාගෙන යා හැකිය.

 

 

 

උපදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහ‍ෙල් විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්