වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මට මේ හැමදේම ලැබුණේ අපේ පවුලේ බැඳීම නිසයි
දැන ඉගෙන ගත්තම
තමයි කෙනෙකුගේ වත්කම
ගුණ නුවණ දැක්කම
ඔබට සලකයි රටේ ඔක්කොම
මේ වටිනා කවි පද පේළි හතර සිරිත් මල්දමේ සටහන් වුණේ බොහෝ කලකට පෙරය. අද එදාට වඩා ලෝකය බොහෝ දියුණුය. ඒ නිසාම මේ පදවැල් හතරේ අවසන් පදය තරමක් වෙනස් වී තිබේ. දැන් දරුවන් මෙරටින් එහා මුළු ලෝකයම තරණය කරයි. ඔවුන් ජයග්‍රහණ හා හැකියාවන් මේ පුංචි දිවයිනට සීමා නොවෙයි. ඔවුන් අද මුළු ලෝකයම ජය ගනියි. ඒ ගුණ නුවණ දකින ලෝකයම අපේ දරුවන්ගේ හැකියාව ගැන පුදුම වෙති. එවැනි දරුවන් අපට සැබැවින්ම අභිමානයකි. ලෝක සිතියමේ පුංචි තිතක් ලෙස සටහන් වූ මේ පුංචි රටේ ශ්‍රී නාමය ලොවට හඬ ගා කියන ඔවුන්ගේ හැකියාවන් පසුගිය කාලය පුරාම දසතින් අපට අසන්නට ලැබුණි. ක්‍රීඩාවෙන්, සහජ කුසලතාවයෙන් හා තම දැනුමින් සුපෝෂිත වූ ඔවුන්ගේ හැකියාව හා කෞශල්‍ය දැක මුළු ලෝකයම පුදුම වූ අවස්ථා ගණනාවක්ම අප සටහන් තබන ලදී. එවැනිම හැකියාවකින් පිරිපුන් ශ්‍රී ලාංකේය දරුවෙකු හමු වූයේ ලෝකයේ දැවැන්තම රාජ්‍යය ලෙස සැලකෙන අමෙරිකා එක්සත් ජනපදයෙනි. වයස අවුරුදු 11ක් පමණ වන ඔහු සැබැවින්ම දක්ෂතා රැසකට හිමිකම් කියන හුරුබුහුටි දරුවෙකි. තම මව්පිය උරුමයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන ඔහු මුළු ජාත්‍යන්තරයම ජය ගනිමින් රටවල් 25කට වැඩි කථික තරගයකින් ප්‍රථම ස්ථානය ලබා ඇත්තේ තරගකරුවන් විසි දහසක් පමණ පරාජය කරමිනි. එසේම ඔහු 2022 වසරේදී අමෙරිකා ජනාධිපතිගෙන් රන් සම්මානයෙන් ද පිදුම් ලැබුෙව්ය. කරුණාව නමැති බුදු ගුණය ලොවට හඬගා කියමින් එම ජයග්‍රහණය ලැබූ මේ අතිදක්ෂ දරුවා පසුගියදා අප දිවයිනට පය තැබුවේ ඒ සතුට ද දෝත දරාගෙනය. මේ ජයග්‍රහණයේ අභිමානය ගැන හා එහි අගය ගැන අපට කියන්නට මුලින්ම පය තැබුවේ පත්තර මහ ගෙදර අපගේ පුවත්පතටය. වොරන් සනුහස් පින්නවලගේ... ආදරණීය පුතා අප සමඟ පිළිසඳරට මුල පිරුවේ අපේම මව් භාෂාව චතුර ලෙස කතා කරමිනි. එය ඔහුගේ හැකියාව ගැන කියන්නට අපට ලැබුණු පළමු සාක්ෂියයි. තම ආදරණීය පියා ආචාර්ය රොන් පින්නවලගේ මහතා සමඟ ඔහු පිළිසඳරට එක්වූයේ මෙලෙසිනි.
“අපි පදිංචි වෙලා ඉන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ North Bergen New Jersey කියන ප්‍රාන්තයේ. මම ඉපදුනේ අමෙරිකාවේදී. ඒ කියන්නේ මගේ අම්මයි තාත්තායි දෙන්නම 2012 තමයි අමෙරිකාවේ පදිංචියට ගිහින් තියෙන්නේ. මගේ පියා රොන් පින්නවලගේ. ඔහු ඒ රටේ සිවිල් ඉංජිනේරුවෙක් ලෙස සේවය කරනවා. මව වෛද්‍ය සුගන්දිකා සුබවික්රම. ඇය අපිත් එක්ක මෙවර ලංකාවට පැමිණියේ නැහැ. ඇය හරිම කාර්යය බහුලයි. ඇය ඒ රටේ මනෝ චිකිත්සක උපදේශිකාවක්. ඇයට මේ දවස්වල වැඩ ගොඩක් තිබෙන නිසා අපි දෙන්න විතරයි ලංකාවට ආවේ.
මම මුලින්ම කැමැතියි මගේ අධ්‍යාපන පසුබිම ගැන කතා කරන්න. මම දැන් ඉගෙනුම ලබන්නේ ජෝන් එෆ් කෙනඩි විද්‍යාලයේ. ඒ විදුහල අමෙරිකාවේ තිබෙන ජනප්‍රිය පාසලක්. මම අධ්‍යාපන කටයුතුවලට අමතරව ක්‍රීඩා රාශියක් කරනවා. බාස්කට් බෝල්, සොකර්, ක්‍රිකට්, පාපන්දු, ටෙනිස් ක්‍රීඩා සඳහා සහභාගි වෙනවා. මේ තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ රාශියක් ලබා ගන්නත් මට හැකියාව ලැබී තිබෙනවා. මට පළමුවෙන් ලැබුණ සම්මානය තමා අමෙරිකා ජනාධිපතිගෙන් හිමිවුණු වොලන්ටියර් සර්විස් ඔවෝර්ඩ් රන් සම්මානය 2022 වසරේ කොරෝනා කාලෙදි. අමෙරිකා හමුදාවේ විශ්‍රාම ගිය අයට උදව් කළා ට තමයි මට ඒ සම්මානය හිමිවුණේ. මට තවත් සම්මානයක් හම්බවුණා. එ් අපේ පාසලේ හොඳම බාස්කට් බෝල් ක්‍රීඩකයාට හිමිවන සම්මානය. ඒ වගේම හොඳම බාල දක්ෂයෙක් ලෙසත් මට සම්මානයක් ලැබිලා තියෙනවා. සෙනෙට් සභික Brayan Statk විසින් මාව අගය කරමින් යූනියන් සිටිහි යතුර මට ලබා දුන්නා. ඒ වගේම නෝර්ත් බර්ගන්හි නගරාධිපති විසින් මගේ කුසලතාව අගය කරමින් සහතිකයක් පිරිනමා තිබෙනවා.
මේ සම්මානවලට අමතරව තමයි මම මේ වසරේදී National Kindness competition එකට එක්වීම සඳහා අයැදුම් කළේ. ඇත්තටම මේ තරගය සඳහා අයැදුම් කරන්න වැඩියෙන්ම උනන්දු කළේ මගේ මව. ඇය උපදේශන පිළිබඳ ප්රවීණත්වයක් දක්වන නිසා ඒ ගැන හරිම උනන්දු වුණා. මේ තරගය සඳහා ලෝකයේ රටවල් 25කට වැඩි ප්‍රමාණයක දරුවෝ සහභාගි වුණා. Online ක්‍රමයට තමයි තරගය පැවැත්වුණේ. මම හිතන්නේ මේ තරගයේ සිංහල තේරුම ‘කරුණාව පිළිබඳ ජාතික තරගාවලිය’ කියන එකයි. මේ සඳහා මට හුගක් කරුණු හොඳට ගොනුකර ගන්න ලැබුණේ මගේ ආච්චි අම්මාගෙන්. ඇය ඉන්නේ අපිත් එක්ක. කරුණාව ගැන, බුදු දහමේ කරුණාව පිළිබඳ බුදු හාමුදුරුවෝ දේශනා කළ දහම් කරුණු ගැන ඇය මට කියා දීලා තියෙනවා. මට ඒ ගැන මේ තරඟයේදී හොඳින් කරුණු විග්රහ කරමින් කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒ තරගයේ අවසාන වටයේ අවසන් දස දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුණා. මේ තරගයට පෙර තරග වට ගණනාවක් තිබුණා... ඒ තරගයේදී විනිශ්චය මණ්ඩලය මගේ හැකියාව හා කතාවේ සාරංශය කතා කරන විලාශය මේ හැම දෙයක්ම හොඳින් අධීක්ෂණය කළා. මම අවසාන තරගයේදී හොඳින් මගේ කතාව ඉදිරිපත් කළා. මම හිතන්නේ මේ තරගයේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ මගේ මව්පියන්ගෙන් මට ලැබුණු අභාසය නිසයි. මම අමෙරිකාවේ ඉගෙන ගත්තට ගෙදර කතා කරන්නේ සිංහල භාෂාව. අපේ ගෙදර බෞද්ධ පසුබිමක් තියෙනවා. ඒ නිසා මට කරුණාව ගැන හුඟක් දේවල් උපතින්ම උරුම වෙලා තියෙනවා. ඒක නිසාමයි මේ තරගය ජයග්‍රහණය පහසු වුණේ. දැන් මගේ ආසාව තියෙන්නේ ලංකාවේ දරුවන්ටත් මම වගේ දස්කම් පෙන්වීම සඳහා අවස්ථාව ලබා දෙන්න. ඒ වෙනුවෙන් උදව් කරන්නත් අදහසක් තිබෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා මගේ තාත්තා දැන් පුංචි සැලසුමක් හදාගෙන යනවා.”
මේ පුංචි පුතාට ඇත්තේ වටිනා අදහසකි. ඔහුගේ කරුණාව හා දයාව වචනයට සීමා නොවූවකි. ඔහුට අවශ්‍යව ඇත්තේ අපේ රටේ දරුවන් වෙනුවෙන් යමක් කරන්නටය. ඒ සඳහා ඔහුගේ පියා ද මහත් ආසාවෙන් පසුවෙයි. ඉතා දුෂ්කර වූ ජීවන ගමනක අවසානයේ ජයග්‍රහණය ලැබූ රොන් පින්නවලගේ මහතා ඉතාම නිහතමානී ලෙසින් තම අතීතය ගැන ආවර්ජනය කරමින් අපගේ කතාවට මුල පිරුවේ ෙළන්ගතු ලෙසිනි. “මගේ ජීවිත කතාව හරිම
දිගයි. මම අමෙරිකාවට යන්නේ අවුරුදු 6ක් අභියෝග රැසක් ජයග්‍රහණය කරලා. 1977දී මම ලංකාවෙන් යනවා. ඊට පස්සේ ඉරානය, ඔස්ට්‍රියාව, ඉතාලිය වැනි රටවල් ගණනාවක විවිධ වෘත්තීන්වල නියෙෙළනවා. අවසානයේ මගේ ඉලක්කය ජය ගන්නේ අමෙරිකාවේ පදිංචි වෙලා.
අපි අමෙරිකාවේ පදිංචි වුණාට තවමත් ජීවත් වෙන්නේ සිංහල අපේ ක්‍රමයට. අපේ ගෙවත්තේ දේශීය එළවළු වගා කරනවා. පලතුරු වර්ග රාශියක් තියෙනවා. මේවා වගා කරන්නේ මමයි මගේ බිරියයි. අපේ ගෙදර කතා කරන්නේ සිංහල. ඒ නිසා දරුවාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. අපේ නැන්දම්මත් අපිත් එක්ක ඉන්න නිසා දරුවටත් ඒ ආභාසය හොඳට තියෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ලෝකයට දෙන්න. අපේ දරුවා මේ ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව වුණෙත් ඒකයි. ඇත්තටම අපේ පුතා හුඟක් දස්කම් තියෙන දරුවෙක්. ඔහු සිතන පතන ආකාරය අවුරුදු 11ට වඩා හුඟක් වැඩියි. පුතා ලෝකය ගැන බොහෝ දේවල් දන්නවා. ඒ නිසා අපේ දරුවා අපට විතරක් නොවෙයි ශ්‍රී ලංකාවටම සම්පතක්.”