චූටි දුව සීය ගහලා බැට් එක උස්සද්දී මගේ ඇස්වලට කඳුළු ආවා

වසර 15කට පසු චමරි ක්‍රීඩා කරනවා බලන්න ආ මව කියන කතාව
ජූලි 30, 2024

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණේ අභිමානවත් අතීතයකි. ඒ අතීතය තුළ සනත් ජයසූරිය අපේ ජීවිතේ පෙරළිකාර ක්‍රීඩකයා බවට පත්විය. කාලය සමඟ අපේ ක්‍රිකට් පිටියට පායා ආවේ අඳුරු වලාවකි. ඒ අඳුරු වලාපටල අතරින් අපේ කාන්තා ක්‍රිකට් පිල රිදී රේඛාවක් සේ පායා එයි.

 

එදා සනත් ජයසූරියට හිමි වූ ප්‍රසාදයට නොදෙවැනි වූ ප්‍රසාදයක් අද හිමිකරගෙන ඇත්තේ චමරි අතපත්තුය.

 

චමරි ගැන තරුණී පත්ඉරු අතර තැබූ සටහන් බොහෝය. ඒ නිසාම අප ඇය ගැන නැවත අකුරු කළ යුතු නොවෙයි. මේ වනවිටත් චමරි ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත් වී හමාරය. ඇය මේ ඉලක්කය වෙත ළඟාවූයේ මහත් කැපවීමකිනි. චමරි මේ වනවිටත් එක්දින ශතක 9ක් සහ විස්සයි විස්ස ශතක තුනක් සමඟ ශතක දොළහක් තම නම ඉදිරියේ රන් අකුරින් සටහන් කරගෙන තිබේ. චමරිගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන දැන් මුළු ලොවම දනියි. ඇයගේ දස්කම් විස්කම් ගැන මුළු ලොවම මවිත වන මොහොතේ ඇය ගැන වඩාත් ආඩම්බර වන්නේ ඇය මෙලොවට බිහි කළ ආදරණීය මවයි. තම ලෙය කිරිකර පොවා ඒ ශක්තියෙන් මුළු රටටම අභිමානයක් ගෙනෙන මොහොතක චමරීගේ ආදරණීය මව චන්ද්‍රා අතපත්තු මහත්මිය අපට හමුවූයේ රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති 20 - 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නැරඹීමට පැමිණි මොහොතේදීය.

 

වසර 15කට පසු තම දියණියගේ දස්කම් දැකීමට පැමිණි එදින තරගය චමරීට පමණක් නොව මුළු රටටම සුවිශේෂි තරගයක් විය. මේ තරගයේදි මුළු ක්‍රීඩා පිටියේම අණසක පතුරුවමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ චමරී තම තුන්වැනි ශතකය වාර්තා කළේ තම මවගේ නෙතට සතුටු කඳුළු නංවමිනි. මෙලෙසින් තම දියණියගේ දස්කම් දකින්නට වසර 15කට පසු පැමිණීම ගැන ද චමරි තම ජයග්‍රහණයෙන් පසුව රටටම පැවසුවේ ඉමහත් සතුටකිනි. මේ සතුට පිරි ජයග්‍රහණයේ පසුපස වූ සංවේදී කතාව ගැන චමරීගේ මව තම සිතෙහි තෙරපෙන අභිමානය ගැන සඳහන් කළේ නෙතඟ වූ කඳුළු සඟවාගෙනය.

‘මම දැන් දුව සෙල්ලම් කරනවා බලන්න එන්නේ බොහෝම කලාතුරකින්. හුඟාක් වෙලාවට එයා සෙල්ලම් කරනවා බලන්නේ ටීවී එකෙන්. ඒත් මේ තරගය බලන්න එන්නම කියලා දුවත් මට කිව්වා. එයා සෙල්ලම් කරනවා දැක්කාම මට ඇති වුණේ පුදුම සතුටක්. ඒ සතුට අම්මා කෙනෙක් හැටියට මට ලැබුණු වාසනාවක් කියලා මම හිතනවා.

 

චූටි මේ තරගයේදී ලකුණු සීයක් ගත්තා. චූටි දුව සීය ගහලා බැට් එක උස්සද්දී මගේ ඇස්වලට කඳුළු පිරුණා.

මගේ දුව පුංචි කාලේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. එයා ක්‍රීඩා කරන්න පටන් ගත්තේ අවුරුදු 5 - 6 කාලයේදී. අපට ඉන්නේ චමරි දුව විතරයි. ඒ නිසා එයා පුංචි කාලේ සෙල්ලම් කළේ අහල පහල දරුවොත් එක්ක. ඒ කාලේ පටන්ම දුව ක්‍රීඩාවට දක්ෂයි. අපේ මල්ලි කෙනෙක් හිටියා චන්ද්‍ර දිසානායක කියලා. එයා තමයි දුවගේ දස්කම් දැකලා මුලින්ම එයාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ.

 

චමරි අපට හිටිය එකම දුව නිසා මම ගෙදරට කියන්නේ චුටි දුව කියලා. තාත්තා කියන්නේ පුතා කියලා. එයා මුලින්ම ඉගෙන ගත්තේ ගොකරැල්ල ජාතික පාසලේ. ඊට පස්සේ තමයි ඉබ්බාගමුව ජාතික පාසලට ඇතුළත් කළේ. එදා මගේ සැමියා දුව වෙනුවෙන් සෑහෙන්න කැපවුණා. එයා දුව සෙල්ලම් කරනකොට හැමතැනම එක්ක ගියා. එයා දුවගේ දස්කම් දැකලා මට වඩා සතුටු වුණා. නමුත්... එයා නොසිතපු වෙලාවක අපෙන් වෙන් වුණා.‘

 

ඇයට චමරීගේ පියා සිහිවෙන විට නෙතඟ කඳුළින් පිරී ගියා. ඒ ගැන පවසන විට එම හැඟුම්බර වූ මොහොතේ ඇයට කතා කරගන්නට ද නොහැකි විය. මොහොතක් නිහඬව සිටි ඇය නැවතත් අප සමඟ පිළිසඳරට එක් වූයේ දුවගේ දස්කම් ගැන නැවතත් සිහිපත් කරමිනි.

 

‘ඉස්සර නම් චූටි දුව සෙල්ලම් කරන මැච් බලන්න මම ගියා. නමුත් දැන් මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා යන්න එන්න අපහසුයි. ඒ නිසා මට දැන් කොළඹ තියෙන තරග බලන්න එන්න විදිහක් නැහැ. ඒකයි මම අවුරුදු 15කට පස්සේ මේ තරගය බලන්න ආවේි. අපට දඹුල්ල ළඟයිනේ... ඒ නිසා මේ තරගය බලන්න එන්නම කියලා දුවත් මට කිව්වා. අද අප්පච්චිත් හිටියා නම් එයාත් මේ තරගය බලන්න එයි. එයා තමයි ඉතින් මට වඩා දුවගේ තරග බලන්න අසා. දුව අප්පච්චි නැති වුණාට පස්සේ තරගවලට යන්න ටිකක් අදිමදි කළා. නමුත් මම ඒ අඩුව පිරිමහගෙන දුවව තරගවලට යන්න උනන්දු කළා. අප්පච්චි නැති අඩුව කිසිම දවසක දැනෙන්න මම ඉඩ තිබ්බේ නැහැ. මට පුළුවන් උපරිමයෙන් දුවගේ ක්‍රීඩා කටයුතුවලට යොමු කළා.“

 

ලෝකයක් දිනූ චමරිගේ මවට තම එකම දියණිය පිළිබඳ වූ ආඩම්බරය වචනයට පෙරළිය නොහැකි තරම්ය. අප ඇයගෙන් චමරිගේ කුඩා අවධිය ගැන ඇසූ විට පැවසුවේ ඇය ඉතාම සුරතල් ලෙස හැදී වැඩුණු බවයි. ඒ ගැන අැයගේ වචනයෙන් සටහන් කළේ මෙලෙසිනි.

 

‘චූටි දුව ක්‍රීඩාවට වගේම ඉගෙනීමටත් දක්ෂයි. එයා හැමදෙයක්ම ලොකුවට හිතට ගත්ත දරුවෙක් නොවෙයි. එයා පුංචි කාලේ ටිකක් දඟයි. ඒ කියන්නේ ක්‍රීඩාවට. නමුත් දැන් නම් ඊට වඩා දඟයි. මම හිතන්නේ අපේ දුව මේ තරගයේදී ලංකාවට කප් එක ගෙනෙයි කියලා. මම ප්‍රාර්ථනා කරන්නේ චූටි දුවටයි කණ්ඩායමටයි මේ කප් එක දිනන්න වාසනාව ලැබේවා කියලා. එයා ක්‍රීඩා කරනවා මම දකිනවා වගේම එයාගේ අප්පච්චිත් හොඳ තැනක ඉඳගෙන දුවගේ දස්කම් දකිනවා ඇති. මම දුව සෙල්ලම් කරන ඊළඟ තරගය බලන්නත් එනවා. ඒ තරගය බලන්න හුඟදෙනෙක් එයි. ඒ හැම කෙනෙක්ම අපේ රට දිනනවා දකින්න ආසාවෙන් ඉන්නේ.“

 

චමරීගේ මව මෙන්ම සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාව වී ඇත්තේ මෙවර 20 - 20 ආසියානු කුසලානය අපේ කෙල්ලන් දිනා ගැනීමයි. එය ඔවුන්ට එතරම් අපහසු නොවන ඉලක්කයක්. චමරි, මෙන්ම විශ්මී වැනි ළාබාල ක්‍රීඩිකාවන් ද මේ තරග‍ෙය් දක්වන දස්කම් අනුව අපගේ ජයග්‍රහණය ගැන බොහෝ බලාපොරොත්තු තැබිය හැකිව තිබේ. එම ජයග්‍රහණය සමඟින් සතුටුවන දිනය තව ඈතක නොවනු ඇත.

 

දඹුල්ල කාංචන ආරියදාස