පොකට් එක බැලන්ස් කරන රොකට් මන්තරේ

සැප්තැම්බර් 2, 2024

මේ කාලේ ජීවත් වෙනවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් කාටත් අමාරු කාලයක් මේක. ඒ නිසා මාසයක් තිස්සේ කඹුරලා කඹුරලා අතට ගන්න පඩිය ආයෙමත් ඊළඟ මාසේ පඩි දවස වෙනකම් බැලන්ස් කරගන්න නම් ලොකු ගේමක් ගහන්නම වෙනවා. පඩි ගත්තු දවසට රාජ ලීලාවෙන් ඉන්න කට්ටිය ඊළඟ පඩිය කිට්ටු වෙනකොට හිඟන්නා මාර්ක් එකට නොවැටී ඉන්නේ කීප දෙනයි. ඉතින් කාටත් අමාරු කාලේ, මාසේ පඩිය ඊළඟ මාසේ වෙනකම් බැලන්ස් කරගෙන ශේප් එකේ ගේම ගහන හැටි ගැන පොඩිම හරි අවබෝධයක් තියෙන්නම ඕනේ.

පඩිය කොටස්වලට බෙදාගන්න 

පඩිය වැටෙන්නේ හැම මාසෙම 26 නම් ඊළඟ මාසේ 26 වෙනකම් ඔයාගේ අතේ තියෙන්නේ ඒ මුදල විතරයි. ඉතින් ඔයාට පුළුවන් ලැබෙන පඩිය සති හතරට කොටස්වලට බෙදන්න. එතකොට ලේසියි ඔය කෑම බීම වගේ වියදම් හදාගන්න. ඒ ඒ සතියේ බඩු ගන්න දවස ඊළඟට තීරණය කරගන්න. මාසේ පඩිය කොටස් හතරට බෙදද්දි තව අමතරව කොටසකුත් වෙන් කරනවා නම් ඔයාට පුළුවන් ඒ කොටස ඔයාගේ විශේෂ කටයුතු සඳහා යොදවන්න. ඒ කියන්නේ මඟුල් ගෙයක්, දානේ ගෙයක් එහෙමත් නැත්නම් ට්‍රිප් එකක් යනවනම් වගේ විශේෂ කටයුතුවලට ඒ මුදල වෙන් කරගන්න පුළුවන්.

ඔය ඔක්කොම ඔයාගේ පඩි දවස, අාදායම, වියදම කියන දේවල් හිතලා ඔයාම තමයි තීරණය කරන්න ඕනෙ.

කලින්ම බජට් එක හදාගත්තොත් ලේසියි

තමන්ගේ වියහියදම් මොනවද කියලා කලින්ම ප්ලෑන් කරන්න ඕනෙ. ඉතින් පහසු විදිහට පොතක්, පෑනක් හරි එක්සෙල් ෂීට් එකක් හරි අරගෙන ආදායම සහ ඇස්තමේන්තු වියදම ලියාගන්න. මේකට කලින් ප්ලෑන් කරන්න පුළුවන් හැම වියදමක්ම ඇතුළත් කරන්න ඕනෙ. ලයිට් බිල්, වතුර බිල් වගේ එකී නොකී මාසික බිල්, ගෑස් වගේ මාස දෙකකට තුනකට වරක් එන වියදම්, ඒ අතරේ එන හිතවත් අයගේ උපන්දින, මඟුල් ගෙවල් වගේ දේවල් කියන ඔක්කෝම මේකට ඇතුළත් කරන්න. පුළුවන් තරම් ඉස්සරහට ප්ලෑන් එක හදාගන්න. ඒ කිව්වේ මාස 3කට හෝ ඊටත් එහාට වුණත් කමක් නැහැ. ඒ අතරේ මැදදී එන වියදම් ඕකට පස්සේ දාගන්න පුළුවන්නේ.

අනවශ්‍ය වියදම් කපාහරින්න 

ඔන්න කලින් කියපු විදිහට බජට් එක හදද්දී හොඳට තේරෙනවා අපි කරන අනවශ්‍ය වියදම් මොනවද කියල. ඕව හෙමීට හෙමීට අඩු කරන්න තමයි තියෙන්නේ. අනිත් එක බජට් එක හදලා ඒ ඒ දේවල්වලට සල්ලි වෙන් කළාට පස්සේ ආපහු ඉතින් අතරමඟ ඕනෙ නැති දේවල්වලට කරන වියදමුත් සෑහෙන්න අඩුවෙනවා ඉබේම.

ඉතුරු කරන්න

ඉතිරි කරන්න වියදම කරලා ඉවර වෙනකම් බලන් ඉන්නවනම් ඒක කවමදාවත් වෙන්නේ නැති දෙයක්. බුදු හාමුදුරුවෝ පවා දේශනා කළේ තමන්ගේ අාදායමෙන් මුල් කොටසක් ඉතිරි කරන්න කියලයි. ඒ නිසා මුලින්ම බජට් එක හදනකොටම අනික් වියදම් ගාණට බලලා මෙන්න මේ ගාණ ඉතුරු කරනවා කියල තීරණය අරගන්න. තීරණය කළාට මදි. අතට සල්ලි ආපු ගමන්ම ඒ වෙන්කරපු ගාණ බැංකුවක හෝ වෙන ඕනෙම ක්‍රමයකට ඉතිරි කරන්න. මාසයක් දෙකක් ගිහින් හරියටම අාදායම අනුව මෙච්චර ගාණක් මාසෙකට ඉතුරු කරන්න පුළුවන් කියලා තේරුම් ගත්තම කෙළින්ම පඩිය වැටුණු ගමන් බැංකු පොතෙන්ම කැපිල වෙන ඉතුරුම් කරන බැංකු පොතකට යන්න ස්ථාවර නියෝගයක් දාන්නත් පුළුවන්. 

මාසේ බිල්

මාසේ බිල් එන්නේ එකම දවසකදී නෙවෙයිනේ. හැබැයි මාසේ බිල්වලට අමතර ගණන් එකතු නොවෙන විදිහට, එක දවසක් ගෙවන්න තියාගන්න එක තමයි වාසි. ඉතින් පඩිය අතට ආපු ගමන් කරන්ට් බිල්, වතුර බිල්, ගෙවල් කුලී, ටෙලිෆෝන් බිල් ඔක්කොම එක පාර ගෙවලා දාන්න. නැත්නම් වතුර කපලා.. කරන්ට් කපලා ගියොත් ඊට වඩා වැඩි ගානකුත් ගෙවලා තමයි ආයේ කරන්ට් එක ගන්න වෙන්නේ. ඒ වගේම පුළුවන් තරම් උත්සාහ කරන්න මාසේ බිල්වල ගණන් නොවෙනස්ව පවත්වා ගන්න. ඒ කියන්නෙ ටෙලිෆෝන් බිල අද දාහක් වෙලා, ලබන මාසේ තුන් දාහක් වෙනවා කියන්නේ ප්‍රශ්නයක්. ඒ නිසා අරපිරිමැස්ම ගැන තිතටම හිතන්න. ලැජ්ජාවක් නොවී තමන්ගේ පඩියෙන්ම බිල් ටික සෙට්ල් කරගන්න එක පුරුද්දක් කරගන්න.

 හදිස්සියේම ලෙඩ වුණොත්

මේකත් සෑහෙන්න වැදගත් දෙයක්. මොකද මාසේ මැද හරියේදී ප්ලෑන් ඔක්කොම ගැස්සිලා හැමෝම හිරවෙන පොයින්ට් එකක් තමයි මේ. මොකද ලෙඩ දුක් කරදර කියන දේවල් මිනිස්සුන්ට කලින් දැනුම් දීල එන්නෙ නැහැනේ. ඒ නිසා මුලදීම ඒ දේවල්වලට යම්කිසි මුදලක් අයින් කරන්න. ගෙදර ඉන්න පිරිස අනුව වෙන්කරන ගාණ තීරණය කරන්න. මොකද හදිසියේ වසංගත උණක් වගේ හැමෝටම හැදෙන ලෙඩක් හැදුණොත් එක්කෙනෙක්ට විතරක් සල්ලි වෙන් කරලා බැහැනේ. නැත්තම් මැදදී ලෙඩක් දුකක් වුණු ගමන් වෙන දේකට තියන් ඉන්න සල්ලි මේකට බැලන්ස් කරන්න ගිහින් වැඩේ අනාගන්න වෙන්නේ.

මාසෙටම එකපාර බඩුගන්න

මෙන්න තවත් ක්‍රමයක් නාස්තිය අඩු කරගන්න. මාසෙටම අවශ්‍ය හාල්, සීනි, පරිප්පු වගේ වියළි අහාර ද්‍රව්‍ය, පිරිසුදු කරන දේවල් වගේ ඒවා එකපාරම ගන්න. මතක් වෙන මතක්වෙන සැරේට කඩේ දුවනවට වඩා දින චර්යාවටත් ලේසියි. ඊටත් වඩා අනවශ්‍ය බඩු ගොඩගැහෙන එක නවතිනවා. අනිත් ලොකුම වාසිය තමයි එක පාර බඩු ගනිද්දි හම්බවෙන ඩිස්කවුන්ට්. මුලින්ම කුස්සියේ ස්ටොක් කවුන්ට් එකක් කරලා ගන්න අවශ්‍ය බඩු ලිස්ට් එක හදාගන්න.

අමතර ආදායම් මාර්ග ගැනත් හිතන්න

ඇත්තටම එක රැකියාවක් කරලා ගන්න පඩිය මදි වගේ හිතෙනවා නම් ඕනි තරම් අවස්ථා තියෙනවා එහෙම අයට. නගරාසන්න අය නම් දැනටමත් වැඩ දෙක තුන කරනවා ගොඩ යන්න බලන්. ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඔන්ලයින් වැඩත් ඕනෙ තරම් තියෙනවා. ඉතින් ගොඩක් අය දවල් ඔෆිස් එකේ වැඩ කරලා රාත්‍රියට ඔන්ලයින් වැඩ කරනවා. සති අන්තයත් තමන්ගේම ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන්න පුළුවන්. මේ කාලේ එකට ජොබ් දෙක තුනක් කළත් පාඩු නැහැ. හැබැයි කරන දේ හරියට කරන්න.