වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
කටු වැට උඩින් රන් වැට පැන්න සේරුනුවර කුමුදු මල
සඳ සිසිලෙන් බොහෝ කුමුදු මල් පිපුණද ඒ හැම කුමුදු මලකටම පුදසුනක පූජා වන්නට පින් නැත. මායිම් ගම්මානයක ඉපිද බොහෝ දුෂ්කරතා විඳ සරසවියට පැමිණ එහි සරුසාරම අස්වැන්න නෙළාගත් ඇය අපූර්වතම කුමුදු මලකි. 'කුමුදුමාලී ඩබ්ලිව්.යූ' මුවින් මුව රැව් දෙන ඒ නම හිමි සොඳුරු යුවතිය ඉකුත් අගෝස්තු 21 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී පළමු පෙළ උපාධියක් සමඟ රන් පදක්කම් 8ක්, විශ්වවිද්‍යාල ත්‍යාග 2ක්, අනුස්මරණ ශිෂ්‍යත්ව 2ක් සහ අනුස්මරණ සම්මාන 2ක් දිනාගත්තේ එම විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්්ව විද්‍යා පීඨයේ ඉතිහාසය අලුතින් ලියමිනි. උපාධි ප්‍රදානෝත්සවයට පසුදිනම අෙමරිකාවට ගිය උදේනි කුමුදුමලී මේ වන විට එබානා ෂැම්පේන් හි ඉලිනොයි විශ්වවිද්‍යාලයේ සිය පශ්චාත් උපාධියේ අධ්‍යයන කටයුතු අරඹා සිටින්නීය.
1993 ජූනි 26 වැනිදා ගම්පහ මහ රෝහලේදී ඇය උපත ලැබුවේ පෙදරේරුවකු වූ වසන්ත කුමාර (60) සහ කුසුම් විජේසිංහ (50) යුවතිපතින්ගේ කුලුඳුල් දරුවා ලෙසිනි.
"මම දඹුල්ලෙ. දුවගේ අම්මා සේරුනුවර. අපි විවාහ වෙලා පදිංචි වෙලා හිටියෙ සේරුනුවර. ඒ දවස්වල මම පෙදරේරු රස්සාවට යද්දි කුසුම් මා එක්ක යනවා. ඒ විදිහට මම ගම්පහ වැඩකට ගිහින් ඉන්නකොට තමයි දුව ලැබෙන්න එයාව ගම්පහ රෝහලට ඇතුළත් කළේ. දුවෙක් ලැබිලා කියල දැනගත්තම මම එදා උදේම ජ්‍යොතිෂවේදියෙක්ගෙ කාර්යාලයට ගියා දුවට නමක් දාන්න සුබ අකුරු ටිකක් බලාගන්න. ඒ වෙලාවේ එතැන ලොකු සෙනඟක් හිටියා. ඒත් මම දොරින් ඇතුළු වෙද්දිම ජ්‍යෙතිෂවේදියා සෙනඟ අතරින් මට අඬගහලා කිව්වා, කුලුඳුලේ වාසනාවන්ත ගෑනු දරුවෙක් ඉපදිලා ඉන්නවා නේද? හතර කේන්දරේම හොඳ දරුවෙක්. ගොඩක් ඉහළ තැනකට යන කෙනෙක් කියලා මට අක්ෂර 4ක් ලියලා දුන්නා. ඔහු මගෙන් සල්ලි ගත්තෙත් නැහැ. එතැන ඉඳලා රෝහලට පයින් එන අතරේ තමයි මම දුවට නම හැදුවේ. ලොකු වෙද්දි දුව එයාගේ නමට එච්චර කැමැති වුණේ නැහැ. ඒත් මම දුවට හැම වෙලාවෙම කිව්වෙ," පුතේ ඔයාට ඔය නම කැතයි කියලා හිතෙයි. ඒත් ඔය නම ප්‍රසිද්ධ වුණොත් ඒක ලෝකෙට කැත නමක් වෙන්නෙ නෑ" කියලා. මේ ජයග්‍රහණ ලබාගන්න මගේ දුව දුක් කන්දරාවක් වින්දා. අපි එයාගේ ඉලක්කයට යන්න පාර හදලා දුන්නා විතරයි. මේ හැමදේම එයා උත්සාහයෙන් ගොඩක් දුක් විඳලා ලබාගත් දේවල්. දුවෙක් මේ තරම් ඉහළට ගියාම තාත්තා කෙනෙකුට කොච්චර සතුටුද? ඒ මගේ දුව වුණත් මට හිතෙන්නෙ එයා දැන් මේ රටේම දුවෙක් කියලා..." සතුටු ගඟුල උතුරන ඒ හදවතින් වෑහෙන්නේ පිය සෙනෙහසයි. කුමුදුමලී ගැන ඇයගේ මව මතක අවදි කළේ ද තුටු කඳුළු අතරිනි.
"මේ සතුට විඳලා දැන් අපි මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා. චූටි කාලේදිවත් දුව පොත් මිසක් කවදාවත් බෝනික්කෙක් ඉල්ලලා නැහැ. පෙර පාසල් යද්දි අරගෙන ගියෙත් කුමාරෝදය පොතක්. දුව ලැබෙන්න අමාරු වෙලා හදිසියේ රෝහලට ඇතුළත් කළ නිසා ඕන කරන දේවල්වත් ගෙනිච්චෙ නෑ. රෝහලේ ඉන්නකොට මම ගත්ත ලොතරැයියට රුපියල් පන්දාහක දිනුමක් ලැබුණා. ඒකෙන් තමයි ඕනකරන බඩු ගත්තෙ. ඉපදෙද්දිම වාසනාව අරගෙන ආව පින් ඇති දරුවෙක්. මම ආසාවෙන් හිටියෙ පුතෙකුට. ඒත් රෝස මලක් වගේ ලස්සනයි දුව දැක්කම මට පුදුම සතුටක් දැනුණා. දුව දුර රටක ඉන්න එක දුකක් පාළුවක් වුණත් එයා ලෝකෙම දිනලා එනකම් අපි බලාගෙන ඉන්නවා."
කුමුදුමලීගේ ජයග්‍රහණය වඩා වැදගත් වන්නේ එය අඳුරු අහසක නැඟුණු විජ්ජුලතාවක්ම වන නිසාය. ත්‍රිකුණාමලයේ මාවිල්ආරුවට නුදුරු සේරුවිල ජීවත් වූ කුමුදුමලී කුඩා වියේ සිට අත්වින්දේ යුද්ධයේ බිහිසුණු බවය. බෝම්බ, වෙඩි හඬ නිබඳ ඇසෙන භූමියේ ඇයගේ ජීවිතය රැඳී තිබුණේ මරණයට සමීප තැනකය.
" 7 වසරේ ඉන්නකොට අවුරුද්දක්ම ඉස්කෝලෙ වැහුවා. කල්දේරම් බත් කකා කන්තලේ අනාථ කඳවුරක අවුරුද්දක් විතර හිටියා. ජීවිතේ ගැනවත් විශ්වාසයක් නැති ඒ කාලේ තමයි විද්‍යාඥයෙක් වෙනවා කියන අදහස මගේ හිතේ දලු දැම්මෙ. ඒ පුංචි වයසේ ඉඳන් මම හීන මැවුවෙ කවදහරි අයිස්ටයින් වගේ විද්‍යාඥයෙක් වෙනවා කියලා. මහවැලිගම විද්‍යාලයෙන් ලකුණු 183ක් අරගෙන ශිෂ්‍යත්වය පාස්වුණු මම සාමාන්‍ය පෙළ සමත් වෙන්නෙ බී සාමාර්ථ 8යි ඒ සාමාර්ථයකුයි අරගෙන. අම්මා කැමති වුණේ වෛද්‍යවරියක් වෙනවට ඒ නිසා විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න මම ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර් 60ක් විතර දුර කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලට ඇතුළත් වුණා. ඒ වෙද්දි අපේ පවුලේ ආර්ථික තත්ත්වය හොඳටම කඩා වැටිලා නිසා මගෙ අමතර පන්තිවලට වියදම් කරන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. අසමත් වෙයි කියලා 2012දී උසස් පෙළ විභාගය ලිව්වෙ නෑ. ඒ වෙලාවේ හැමෝම දෝෂාරෝපණය කළා, සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵලයකුත් අරගෙන උසස් පෙළ අතෑරියා කියලා. සමහර අය කියපු කතා ගෑනු ළමයෙක් අහන්නවත් සුදුසු නැති කතා. ඒත් මම ලොකු අධිෂ්ථානයක හිටියා, ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්. මම කවුද කියල මම පෙන්නන්නම් කියලා.."
එහෙත් 2013 සහ 2014 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටියත් ඇයගේ වෛද්‍ය සිහිනයට පියාපත් ලැබුණේ නැත. 2015 වසරේදී විභාගය අතහැර ඖෂධවේදී පාඨමාලාවක් කරමින් ෆාමසිවල සේවය කරමින් ඉගෙනුම වෙනුවෙන් මුදල් උපයමින් සිටි ඇයගේ ජීවිතයට නිසි මඟ පෙන්වීම ලැබෙන්නේ වෛද්‍ය සම්පත් කරන්නාගොඩගේ හමුවීම නිසාය. ඔහුගේ අවවාදවලින් දිරිමත් වී 2016 වසරේ උසස් පෙළ විභාගය සමත් වුවද එවර ඇය සුදුසුකම් ලබන්නේ පශු වෛද්‍ය පීඨයටය.
" ඒ වෙලාවේ ගොඩක් දුක හිතුණා. මෙච්චර මහන්සි වෙලත්, දක්ෂ වෙලත් මේ ප්‍රතිපලේ ලැබුණේ මට ඩොක්ටර් කෙනෙක් වෙන්න දෙන්නෙම නැද්ද කියලා. මම යන්නේ පශු වෛද්‍ය පීඨයට කියල කිව්වම අම්මා ඇහුවෙ ඔයා ඩොක්ටර් නළාව දානවද කියලා. ඩොක්ටර් නළාව නම් දාන්න පුළුවන්, හැබැයි බෙහෙත් දෙන්නෙ සත්තුන්ට කිව්වම අම්මා කිව්වා "කමක් නෑ පුතේ නළාව දානවනේ" කියලා. අම්මයි තාත්තයි ඒ ගැන සතුටු වුණ එකත් මට තියෙන අවසාන අවස්ථාවත් මේක කියලා හිත හදාගත්තා. ඒ වෙලාවෙත් ගොඩක් අය මට හිනාවුණා, පශු වෛද්‍ය වෙන්නද මෙච්චර මහන්සි වුණේ කියලා. ඒ හැමදේම එක්ක මගෙ හිතේ ඇතිවුණ අමුතුම අධිෂ්ඨානයක් ඇති වුණා. වෛද්‍යවරයෙකුට හෝ ඉංජිනේරුවරයෙකුට තියෙන්නෙ ඒ රැකියාව විතරයි වුණත් මම ජොබ් හතරක් විතර තියෙන සුපිරි චරිතයක් වෙනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. "
විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පළමු වසර තුළදී ඖෂධවේදී බලපත්‍රය ලබාගත් කුමුදුමලී ඖෂධවේදිනියක් ලෙස සේවය කරන අතරේම දිවා රෑ වෙහෙසී ඉගෙනීමේ නියැළුණාය. ජ්‍යෙෂ්ඨ සිසුවියක වූ රුමේෂා සිරිවර්ධනගෙන් පශු වෛද්‍ය උපාධිය පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්නා කුමුදුමලී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ ඉතිහාසය තුළ මෙතෙක් කිසිවකු ලබාගෙන නැති අවස්ථාවක් තමා සතුකර ගැනීමට තරයේ අදිටන් කරගන්නීය. තමාට ලබාගත හැකි පදක්කම්, සම්මාන ඩිමයි කොළවල ඇඳ බෝඩිමේ බිත්තියේ අලවා ගෙන එය සිය එකම අරමුණ කරගෙන ඒ වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ මේ අරුමැති යුවතිය පළමු, දෙවැනි සහ තුන්වැනි වසරවල හොඳම සිසුවිය බවට පත්වූවාය.
එහෙත් ඇය සිය ජීවිතයේ දරුණුම බිඳවැටීම අත්විඳින්නේ අවසන් විභාගයට සති දෙකක් තිබියදීය.
"ප්‍රේම සම්බන්ධයක් බිඳෙන එක එකක්. ඒත් ඒක එක්ක හැමෝම හැම පැත්තෙන්ම මාව පීඩාවට ලක් කළා. ඒ පීඩනය දරාගන්න බැරිව ජීවිතය අතාරින්නත් නොහිතුණා නෙවෙයි. ඒත් මම කල්පනා කළා. පොඩි කාලේ ගමේදි මම බය වුණේ මැරෙන්න. දැනුත් එල්ටීටීඊය වගේ හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරලා මාව නොමරා මරනවා. එදා එල්ටීටීඊයට මරන්න බැරි වුණ මම ඇයි දැන් මැරෙන්නෙ කියල හිත හයිය කරගත්තා. ඒ දවස්වල මම අඬ අඬා කන්නාඩිය ඉස්සරහට ගිහින් මගෙ රුව දිහා බලලා මාවම ධෛර්යමත් කරගන්නවා. හැමදාම මගේ අභිප්‍රේරකයා වුණේ මමමයි. මම තරග කළෙත් මම එක්කමයි. අවුරුදු තුනේම බැජ් ටොප් වෙලා අන්තිම අවුරුද්දෙත් බැජ් ටොප් වෙලා පශු වෛද්‍ය පීඨයේ ඉතිහාසයට එකතු වෙනවා කියන ඉලක්කයට ගිහින් මිසක් නතර වෙන්නෙ නෑ කියලා මම හිත හයිය කරගත්තා. සිහින සේරම සැබෑ කරගෙන තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරන අතර පශ්චාත් උපාධිය වෙනුවෙන් ඇයැදුම් කරපු විශ්වවිද්‍යාල අතරින් මුලින්ම ඇමරිකා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මේ පූර්ණ ශිෂ්‍යත්වය තමයි මට ලැබුණු වටිනාම දේ. කාලයක් මම දුක් වුණා පශු වෛද්‍යවරියක් නිසා මට මිනිස්සුන්ට බෙහෙත් කරන්න බැහැ කියලා. නමුත් අද මට මගේ පශ්චාත් උපාධියෙන් මිනිස්සු වෙනුවෙන් අලුත් බෙහෙතක්, එන්නතක් හොයාගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම ඒ දේ කළොත් වෛද්‍යවරයෙක් වෙලා මිනිස්සුන්ට කරනවාට වැඩි සේවයක් විද්‍යාඥවරියක් වෙලා මට කරන්න ලැබෙනවා. මගේ රට නිදහස් අධ්‍යාපනය තුළින් මම වෙනුවෙන් වියදම් කරපු සතපහත්වත් නාස්ති කළේ නැහැ. විද්‍යාඥවරියක් වෙලා ලෝකෙට හොඳ දෙයක් දෙනවා වගේම හොඳ බිරියක්, මවක් වීම මගේ අනාගත බලාපොරොත්තුවයි. දැනට බිරිය, මව කියන චරිත පැත්තකින් තියලා පශ්චාත් උපාධිය වෙනුවෙන් මුළුමනින් කැපවෙනවා.
ගෙවා ආ ජීවිතේ ඉඩෝර අනන්ත වාර ගණනක් මම පහු කරන්න ඇති. ඒ දේවල් මම දරා ගත්ත විදිය සහ ඒ අප්‍රතිහත ශක්තියට නිගා දෙන්න බැරි නිසා, සොබා දහම විසින් මං වෙනුවෙන් වට්ටපු පුංචි මල් වැස්සක් වෙන්න ඇති මේ ජයග්‍රහණය..ඕනෑම කෙනෙක්ට මම කියන්නෙ, තමන්ට ආදරේ කරන්න. තමන් කරන දේ වෙනුවෙන් කැප වෙන්න, තමන් විශ්වාස කරන්න, අගයන්න...අරමුණු ඉටු වෙන්න කාලය ගතවෙයි. ඒත් බය නැතුව කාලයට ඔබ අතහැර යන්න ඉඩ දෙන්න."ඒ වදන් ජයග්‍රහණයේ සතුට හදවතට තුරුලු කරගෙන සිනාසෙන දිරිමත් යුවතිය කුමුදුමලීගේය.