සුරතලාටත් හොඳ පුරුදු හුරු කරන හරි ක්‍රමය

සැප්තැම්බර් 9, 2024

 

සුරතලෙක් කියන්නේ නිවෙසේ සාමාජිකයන්ගේ සිතට සතුට ගෙන දෙන කෙනෙක් පීඩාවට, විඩාවට පත් වී ඇති සිතට සහනයක් ගෙනෙන්නට හැකි සුනඛ සුරතලා ආදරයෙන් බලා ගන්නේ කොහොමද කියලා අද අපි විමසා බලමු.

සුරතලකු රැකබලා ගැනීමේ ප්‍රධානම දෙයක් වන්නේ මලපහ සහ මූත්‍රා ඉවත්කර පිරිසුදු කිරීමයි. මේ වගේ දඟකාරයෙක් පුංචිම පුංචි කාලේ හැමතැනම මලපහ, මූත්‍රා කරනවා, එහෙත් ඒ සඳහා නිශ්චිත ප්‍රදේශයක් හුරුපුරුදු කළොත් එයාලගෙන් අපිට, අපේ නිවෙස අපිරිසුදු වීම වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම ඔවුන්ගේ හැසිරීම හොඳින් අධ්‍යයනය කළ යුතුයි. පුංචි සුරතල් පැටවු එකම පරිසරයක ළඟ ළඟ තැන්වල මලපහ දාන්න. මූත්‍රා කරන්න උත්සාහ කරනවා. මේ පුංචි සුරතල් බලු පැටවු මුලින්ම නිදාගෙන නැගිට්ට ගමන් මූත්‍රා දානවා. ඒ වගේම කෑම කනවා, නැවත මලපහ දානවා. මෙන්න මේ හැසිරීම් රටාව ඔබ හොඳින්ම අධ්‍යයනයකර මතක තබාගන්න. ඔබට මේ පුංචි පැටවුන්ගේ මලපහ, මූත්‍රා දැමීම එතරම් ලොකු ගැටලුවක් වන්නේ නෑ. එනම් මේ සුරතල් පැටවා නිදාගෙන නැඟිට්ටම මූත්‍රා දැමීමට එකම තැනක් හුරුකර ගන්න ඔබට පුළුවන් වේවි. එයාලා ගොඩක් වෙලාවට පෙර දිනයක මලපහ දැමූ ස්ථානයට යළිත් ඒ සුවඳ සොයා ගොස් එතැනම දැමීමට ඉඩ තිබෙනවා. ඔබ දක්ෂ විය යුත්තේ මේ එකම තැන එනම් ඔබේ ගෙදර පිරිසුදු තැනක් නම් එම ස්ථානයෙන් මෙයාව ඉවත්කර ගැනීමටයි. එතැනදී ඔබ සුනඛ පැටවාට සුදුසු වෙනත් එකම ස්ථානයක් හුරු කරන්න අවශ්‍යයි. සමහර සුනඛ පැටවු ඔබේ නිවෙසේ අමුත්තන් පැමිණෙන ස්ථානයක ඒ කියන්නේ සාලය වගේ තැනක මුත්‍රා දාන්න පුරුදු වෙනවා. එවිට හොඳ වඩාත් සුදුසු පිරිසුදුකාරකයක් දමා එතැන කිසිදු සුවඳක් ගඳක් නැති පරිදි පිරිසුදු කළ යුතුයි. නැතිනම් එම සුවඳ හෝ ගඳට යළිත් මේ සුනඛ පැටවා පුරුදු වී එතැනටම ඇවිත් මේ කාර්යය සඳහා යොමු වෙනවා. සුරතල් සුනඛ පැටවා මුත්‍රා දාන එක ඔබට එතරම් ගැටලුවක් නොවුණත් ඔබ නොදැනුම්වත්ව මලපහ දැමුවහොත් එය නම් මහත් ගැටලුවක් වේවි. එනම් ඔබට හෝ පවුලේ සාමාජිකයන්ට එසේත් නැතිනම් ගෙදරට එන අමුත්තකුට එය පෑගිලා හැමතැනම ගෑවෙන්නට ඉඩ තිබේ. එබැවින් ඒ සඳහා හොඳ පුරුදු කිරීමක් කළ යුතුමයි.

බොහෝ වෙලාවට කෑම කාලා මඳ වේලාවක් ගිය පසුව හෝ උදේ කාලයක නිශ්චිත වේලාවන් කිහිපයක් මේ සඳහා ඔබ වෙන්කර තබාගන්න. මෙතැන දී ඔබ තට්ටු නිවාසයක හෝ උස පඩිපෙළක් සහිත නිවෙසක ජීවත් වෙනවා නම් ඔබට මෙය ගැටලුවක්. එම නිසා යම්කිසි පුංචි ස්ථානයක් තීරණයකර එම ස්ථානයට වැලි හෝ පත්තර පිටු දමා ඔවුන්ව හුරු පුරුදු කළ හැකියි. මෙහිදී වැදගත්ම දෙය මලපහ හා මූත්‍රා දාන එක නවතා ගත හැකි වීමයි. මේ සුනඛ පැටවා ටිකෙන් ටික ලොකු වනවිටත් හොඳ පුරුදු එයාලට දිගටම පවතිනවා. සුනඛ සුරතලාගේ අවශ්‍යතාව පැන නැගුණම එයා ගෙදර, දොර ළඟට විත් ඔබට සංඥාවක් ලබා දෙනවා මිස මලමූත්‍රා ගේ ඇතුළේ නොදමයි.

දැන් අපි බලමු කොයිතරම් හුරුපුරුදු කරත් මේ සුරතලා ඔබ අකැමැති ස්ථානයක මලමුත්‍රා දානවා කියලා. ඔබ දන්නවාද පුංචි සුරතල් බලු පැටවකු පුරුදු පුහුණු කරන විට සැරෙන් කියන දේ අහනවා.

"No/ Don't Do This" එපා ඕක කරන්න. එපා එළියට යන්න. මේ වගේ අණ දෙන්න පුළුවන්. ඒ විදිහට නිවැරැදි පුරුදු පුහුණු කළහොත් සුරතලත් සතුටින් නිවැසියෝත් සතුටින්.

 

උපදෙස් - පශූ වෛද්‍ය නුවන් වික්‍රමසිංහ