ඒ කාලේ වැඩ බැහැ කියලා හැමෝම මට විහිලු කළා

ටෙස්ලා සමාගමත් පැරදූ ලෝකයේ හොඳම ඉංජිනේරුවරිය
- නදීෂා චන්ද්‍රසේන
ඔක්තෝබර් 7, 2024

 

"මගේ රට ශ්‍රී ලංකාව. මේ සම්මානය ඒ රමණීය කුඩා දිවයිනට. අපිට නිදහස් සෞඛ්‍ය සේවය දුන්න, අපට නිදහස් අධ්‍යාපනය, සරසවි අධ්‍යාපනය තෙක් ලබාදී අපව ගෝලීය පුරවැසියන් කළ මගේ රටට. ඒ රටේ මගේ ආදරණීය මිනිස්සුන්ට.”

 

ලෝකයේ හොඳම ඉංජිනේරු සැලසුමට හිමි සම්මානය දෝත දරාගෙන ලෝකයක් ඉදිරියේ ලංකාවේ නම හඬ ගා කියූ ඇය අාචාර්ය නදීෂා චන්ද්‍රසේනය.

ලෝකයේ හොඳම ඉංජිනේරු සැලසුමට හිමි සම්මානය ලබන ඔස්ට්‍රේලියානු ගුඩ් ඩිසයින් සම්මාන වැඩසටහන 1958 සිට සැලසුම් සහ නව්‍යකරණයන්හි විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරමින් පැවතුණ ලොව දීර්ඝතම ජාත්‍යන්තර නිර්මාණ සම්මානවලින් එකකි.

 

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජාත්‍යන්තර සැලසුම් අනුමත කිරීමේ වැඩසටහන මෙයයි. මෙමඟින් ඛාණ්ඩ 30කට වඩා වැඩි ප්‍රමාණයක් සහ උප ඛාණ්ඩ ආවරණය වන පරිදි විශේෂිත නිර්මාණ විෂයයන් 12ක් ඇගයීම් කරනු ලබයි. ටෙස්ලා සමාගමේ “ෆයර් වොල්” වැනි ඉංජිනේරු සැලසුම් සමඟ තරග කර ලෝකයේ කතාබහට ලක් වූ මේ විශිෂ්ට විද්‍යාඥවරියගේ කතාව ඇසිය යුතුම කතාවක්. ලොවක් ඉදිරියේ ලංකාවේ නාමය හඬ ගා කියූ ඇය ඒ අපූරු කතාව තරුණීට කිව්වෙ මේ විදිහට.

 

"අපි ඉදිරිපත් කළේ ස්මාට් කානු පද්ධතියක්. ඉංජිනේරු අංශයෙන් තමයි අපි අපේ සැලැස්ම ඉදිරිපත් කළේ. නිර්මාණය සම්බන්ධව සියලුම දත්ත එක්ක අපි එය මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළා තරගයට. එයින් අනතුරුව සංවිධායකයන්ගේ ඉල්ලීම මත නිර්මාණයේ ත්‍රිමාණ සැලසුමක් ලබා දුන්නා. ඔවුන් අප සමඟ තරගයේ ඉදිරියට ගියා. අවසානයේ අප දිනුවා. ඒ ගෞරවය වටිනාකම ශ්‍රී ලංකාවට හිමි විය යුතුයි.

 

මෙය ඔබට හිතනවටත් වඩා අභියෝගාත්මක කාර්යභාරයක් වෙන්න ඇති...

 

අපි ඉදිරිපත් කළ ස්මාර්ට් කානුව අවුරුදු එකොළහක් තිස්සේ සැලසුම් වෙමින් අත්හදා බලමින් යන දෙයක්. පසුගිය සති දෙක ඇතුළත සිද්ධ වුණේ අපි අවුරුදු එකොළහක් තිස්සේ සංවර්ධනය කළ මූලාකෘතියක්, නිර්මාණයක් ලෙස සැලසුම් කරමින් සිටි දෙයක් “නිෂ්පාදනයක්” විදිහට හදලා අවසන් කිරීම. ඔස්ට්‍රේලියා ගුඩ් ඩිසයින් අවෝර්ඩ් තරගයට ඇතුළත් වීමේ මූලික අවශ්‍යතාවක් තමයි ඒක. තරගය ජයග්‍රහණය කරනවා නම්, අපේ ආකෘතිය නිෂ්පාදනයක් විදිහට එළිදක්වන්න ඕනෙ සම්මාන උලෙළ පැවැත්වෙන දවසේ. ඉතින් අපි ඒක කළා.

අපි මේ කානුව සති දෙකකින් අම්බලන්ගොඩ, බටපොළ සැන්මාර්ක් ආයතන පරිශ්‍රයේ හැදුවා. ඒක ඉංජිනේරු නිෂ්පාදනයක් විදිහට එළිදැක්වූවා. මේ කෙටිකාලීන මෙහෙයුම වෙනුවෙන් මගේ මිත්‍රයන් රැසක් සිය ශ්‍රමය, ධනය, කාලය සහ දැනුම වැය කරමින් මේක “වැඩක්” විදිහට සාර්ථකව නිමා කරන්න උදව් කළා.

මේක කණ්ඩායමක වැඩක්. මහජන හිතසුව පිණිස ස්වේච්ඡාවෙන් නිම කළ pro bono ව්‍යාපෘතියක් ලෙස තමා මෙය නිමා වුණේ. කෝසල ඉන්ද්‍රසිරි, සහන් චතුරංග, ලක්ෂාන්, තිසුර සෙනරත්, භාතිය ජයරත්න, පිවිතිරි ජයසිංහ, දිනුෂ ශාන් තමයි මේක තමන්ගේ වැඩක් විදිහට ලංකාවේ හදල ඉවර කළේ සහ උපදේශකත්වය දුන්නේ. මම ඉන්නේ ලංකාවෙන් පිට, බ්‍රිස්බේන්වල. මම දුරකතන ඇමතුම් කිහිපයකින් සම්බන්ධීකරණය කළා මිස ඊට එහා මගේ දායකත්වයක් මෙයට ලැබුණේ නැහැ. නමුත් මේ ටීම් එක ඒ වැඩේ කළා.

 

අවසානයේ ඔබ හොඳම නිර්මාණයට හිමි සම්මානය දිනා ගත්තා.

ඒක පහසුවෙන් ආ ගමනක් නෙවෙයි.

අපි හොඳම ඉංජිනේරු සැලසුම විදිහට සම්මානිත වුණා. මේ අවසන් වටයට අංශ 32කින් නිර්මාණ 1000ක් ඉදිරිපත් වෙලා ඇති බව තරග සංවිධායකවරු කිව්වා. මේ තරගයට සමාගම් හෝ ආයතන තමයි තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපට සිද්ධ වුණා සම්මාන ප්‍රදානයට කලින් “Urban Inventors” නමින් ඔස්ට්‍රේලියාවේ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් ලියාපදිංචි කරන්න. අපි තරග කළ ඉංජිනේරු සැලසුම් අංශය ඉතාම තරගකාරී අංශයක්. සම්මානය ලබද්දී මම හිටියේ ක්ෂේත්‍රයේ සැලසුම්කරුවන් දාහකට වඩා හිටපු උත්සවයක. උත්සවයෙන් පස්සේ මට ජූරි සභිකයෙක් මැසේජ් කරලා ඒක කිව්වා. එයා මම ස්ටේජ් එකේ කතාව කරද්දී මගේ පිටිපස්සෙන් පින්තූරයක් අරන් තිබ්බා එය මට පෙන්වන්න.අප තරග කළ සැලසුම අතරෙ ටෙස්ලා සමාගමේ Powerwall 3 කියන නිර්මාණය පවා තිබුණා.

 

මේ ජයග්‍රහණයෙන් පසු ඊළඟ පියවර ගැන කතා කළොත්

 

සම්මානයකින් ලැබෙන්නේ අගය එකතු වීමක්. එය මේ බිමේ යථාර්ථයක් කිරීම තමයි සැබෑ අභියෝගය. අපේ ඊළඟ සැලසුම තමයි ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ස්මාට් කානුව සහ ඒ තාක්ෂණය නොමිලයේ ලබා දීම. අපි ලංකාවේ අවශ්‍ය තැන්වලට ස්මාට් කානුව හදනවා. මේක හැම තැනටම අවශ්‍ය නෑ. කුණු හිරවෙලා වැස්සට පිටාර ගලන කානු ඇති තැන්වලටයි මේක අවශ්‍ය වෙන්නේ. ඒ හදන්නේ මේ වැඩේට කැමැත්ත ඇති අපේ මිනිස්සු එකට එකතු වෙලා, තමන්ගේ ශ්‍රමය සහ සම්පත් වැය කරලා pro bono ක්‍රමයට, “ස්වේච්ඡාවෙන්, මුදලක් නොගෙන.” ඒ වැඩපිළිවෙළ අපි හඳුන්වන්නේ “Build Your Own City Drain initiative (BYOCD) නමින්.

යම් නගරයකට මේ ස්මාට් යුනිට් එක, හෝ නොන් ස්මාට්-කොන්ක්‍රීට් කානුව අවශ්‍යයි නම් ඒ නගරයේ, ඒ වැඩේට නිපුණතාව ඇති ඉංජිනේරුවරු, තාක්ෂණික නිලධාරීන්, සම්පත් සපයන්නන්, ඉදිකිරීමේ නිලධාරීන්, මේ සියලු දෙනා එකතු වෙලා ටීම් එකක් හදාගෙන, අදාළ බලධාරීන්ගේ අවසරය අරන් තමන්ගේ නගරේ ස්මාට් කානුව තමන් හදාගන්නවා. අපේ කණ්ඩායම “Urban Inventors” ටෙක්නිකල් ඩ්‍රෝවින් එකේ ඉඳන් කානුව හැදුවට පස්සේ වෙන මොනිටරින් එක දක්වා අවශ්‍ය සියලු තාක්ෂණික සහ උපදේශක සහයෝගය දෙනවා. මිනිස්සු හදන කානුව, නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පසු කවුන්සිල් එකට පවරනවා. මේ කානුව අපි ඉන්දියාවට හඳුන්වාදීම සඳහා සැලසුම් කරමින් යනවා. කොස්ටාරිකාවේ කවුන්සිල් එකක් දැනටත් අප සමඟ කතා කරමින් ඉන්නවා.

 

නමුත් ඔබ ගැන ලෝකයක් කතා බහ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි...

 

කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. එය රට තුළ අන්තර්ජාතික අවධානයට ලක් වූ ව්‍යාපෘතියක්. ඒ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි පර්යන්තය ඉදිකිරීම. ඒ ව්‍යාපෘතිය පාරිසරික වටිනාකම් රකිමින් දියත් කළ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ලෝක ආදර්ශයක් ලෙස එය ඇගයීමට ලක් වුණා. ඒ ව්‍යාපෘතියේ පාරිසරික විශේෂඥවරිය ලෙස මා කටයුතු කළා.

මේ ව්‍යාපෘතියේදී සැලසුම් ක්ෂේත්‍රය නිර්මාණාත්මකව වෙනස් කර සංවර්ධන කටයුතු වෙනුවෙන් කපා දැමීමට නියමිතව තිබූ රූස්ස ගස් 419ක් ආරක්ෂා කර ගනිමින් කාර්යක්ෂම ජල පරිහරණ හා බලශක්ති ඉතිරි කිරීම් ඇතුළු පරිසර හිතකාමී ආදේශක එකතු කරමින් සිදුකළ ව්‍යාපෘතියක් ලෙස ලෝක අවධානයට ලක් වුණා.

ජාතික සංවර්ධන ව්‍යාපෘති ගණනාවකම විශේෂඥ උපදේශකවරියක් ලෙස කටයුතු කළ නිසා විටින් විට අවස්ථා ගණනාවකදීම මා ඇගයීමට ලක් වුණා.

ඔබගේ මේ ගමන මූලාරම්භය ගැන කතා කළොත්...

 

මම ඉපදුනේ ගාල්ලේ. අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන්. සරසවි අධ්‍යාපනයට පිවිසෙන්නේ වාස්තු විද්‍යා පීඨයෙනි. මූලික උපාධිය හැදෑරුවේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ. මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිනියක්ව සිටින අතර තුරේදී ලක්බිම පුවත්පතට සම්බන්ධ වී විදෙස් ප්‍රවෘත්ති වාර්තාකාරිනියක ලෙසත් කටයුතු කළා. සරසවි අධ්‍යාපනයෙන් පසු යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායට අධිකාරිලත් නිලධාරිනියක ලෙස එක් වුණා. ඒ විදිහටයි මම මේ වෘත්තිය ජීවිතය පටන් ගත්තේ...

 

ඒ වගේම අමෙරිකාවේ සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලයට තෝරාගත් මුල්ම කාන්තාව වන්නෙත් ඔබ..

 

ඔව්. ඒක මගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක්. අමෙරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ පිහිටා ඇති සින්ග්‍යුලරිටි විශ්වවිද්‍යාලයෙන් පවත්වන අධ්‍යයන පාඨමාලාවක් සඳහා තෝරාගත් මුල්ම කාන්තාව වෙන්න මට වරම් ලැබුණා.

නාසා සින්ග්‍යුලරිටි සරසවිය ලෝකයේ නව නිර්මාණකරුවන් තෝරාගෙන වාර්ෂිකව ත්‍රෛමාසික පාඨමාලාවක් පවත්වනු ලබනවා. මේ පාඨමාලාවේ ඉලක්කය නව නිර්මාණවලින් ව්‍යවසායකත්වය බිහි කිරීමයි. නව නිර්මාණවලින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. ලෝකයේ අතිශයින්ම තරගකාරී ක්‍රමවේදයකින් විද්‍යාර්ථීන් තෝරාගන්නා පාඨමාලා අතර මෙම පාඨමාලාව ප්‍රමුඛයි.

මා මේ පාඨමාලාවට තේරෙන විට මැලේසියාවේ පෙට්‍රොනාස් සරසවියෙහි ආචාර්ය උපාධිය හදාරමින් සිටියේ. මගේ අාචාර්ය උපාධියට අදාළ විෂය ක්ෂේත්‍රය වුණේ හයිඩ්‍රොලික් තාක්ෂණය භාවිතයෙන් ගංවතුර හා නාගරික කානු පද්ධතිය පාලනය කිරීම පිළිබඳයි.

 

ඔබේ හීනය වෙලා තිබුණේ වෛද්‍යවරියක් වෙන්න..

 

ඉපදුන දවසේ ඉඳලාම මගේ ආසාව තිබුණෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒ හීනය වෙනස් වෙන්න හේතුව උසස් පෙළ ප්‍රතිඵල. අවශ්‍ය ප්‍රතිඵල නොලැබී යාම. ඒ කාලේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලබන්න වත්කමක් තිබුණෙ නැහැ. ඉතින් ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළින්ම උපාධියක් කරන්න බලාපොරොත්තුවක් තිබුණේ. මම දෙපාරක් ජීව විද්‍යාව අංශයෙන් පෙනී හිටියා. ඊට පස්සෙ කලා අංශයෙන්. අවුරුදු පහක් ජීව විද්‍යාව සිංහල දක්වා ඉගෙන ගත්තෙ නුගේගොඩ රොටරි ආයතනයෙන්. සල්ලි තිබ්බත්, නැතත්, මාසෙ කාර්ඩ් එක තිබ්බත් නැතත් අපිට ඉගැන්නුව තැන.

කාලයක් මම වැඩ බැරි කෙනෙක් විදිහට හංවඩු ගැහුණු කෙනෙක්. ඒකට හේතුව විශ්වවිද්‍යාලයට යන්න බැරි වීම.

 

එකපිට එක අසමත් වෙද්දී අතහරින්න හිතුණේ නැද්ද?

 

මම ජීවත් වුණ වටපිටාවත් එක්ක මට තිබුණ දේවල් හරි සීමිතයි. සමහරුන්ට අවස්ථාව තියෙනවා මුදල් යොදවලා විදෙස්ගත අධ්‍යාපනය ලබන්න. නමුත් මට එහෙම අවස්ථාවක් තිබුණෙ නැහැ. අනික ඒ කාලේ මට ලැබුණු අත්දැකීම් එක්ක මම දැනගෙන හිටපු දෙයක් තමයි අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැහැ කියන එක. ජීවිතයේ ඉදිරියට යනවනම් තියෙන එකම මාර්ගය මේක කියලා මම දැනගෙන හිටියා. මම අසමත් වෙද්දි පවුල ඇතුලෙන් ඇති වුණ පීඩනය ගොඩක් වැඩියි. විශේෂම හේතුව මගෙ ආච්චි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා තිබුණා. අම්මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා තිබුණා. මට කලින් පරම්පරා දෙකක් විශ්වවිද්‍යාල ගිහින් තිබුණා. මම තමයි පවුලේ වැඩිමල් කෙනා. ඉතින් පවුල ඇතුලේදී විශ්වවිද්‍යාලයට යා නොහැකි වැඩබැරි කෙනෙක් විදිහට හංවඩු ගැහෙනවා. ඉතින් කොහොම හරි තුන්වෙනි පාර උසස් පෙළ කරලා මම මොරටුව විශ්වවිද්‍යාලයට යනවා. නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ උපාධි පාඨමාලාවක් එහිදී මම කරනවා. ඉතින් මම පහු කරපු ලොකුම කඩඉම උසස් පෙළ.

 

කලා අංශයෙන් උපාධිය කරපු අද ඔබ ලෝකයම පිළිගත් ඉංජිනේරුවරියක්.

 

මම කලා විෂයයන් කරද්දී බැලුවේ මට යන්න තියෙන අවස්ථා මොනවද කියලා. නගර හා ග්‍රාම නිර්මාණය කියන්නෙ ගොඩක් පැතිරුණු විෂයයක්. මට හිතෙනවා ඒ පාඨමාලාව කළොත් යම් කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කාලේ වියදම් දරන්න වුණේ තමන්ටමයි. මගෙ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ. ඉතින් මහපොළ ශිෂ්‍යත්වය හම්බෙන්නෙත් නැහැ. 2004 වසරේ සුනාමි ඇවිත් අපේ පරම්පරාවටම උන් හිටි තැන් නැති වෙනවා. අපේ ගේ තිබුණේ සීනිගම දේවාලයේ වෙරළ ආසන්නයේ. ඒ හැමදේම නැති වෙද්දි ආර්ථික පැත්තෙන් ගොඩක් කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ මම බැලුවේ මට මොනවහරි පාට් ටයිම් ජොබ් තියෙනවද කියලා. ඉතින් ලක්බිම පත්තරේ රස්සාව කරන ගමන් උපාධිය කළා. හැබැයි උපාධියෙ වැඩ ගොඩක් අතපසු වෙනවා. පැමිණීම සම්බන්ධ ගැටලු නිසා මට විශ්වවිද්‍යාල විභාගයට ඉඳගන්න එක තහනම් කරනවා. හැබැයි කොහොම හරි 2009 අවුරුද්දේ උපාධිය ගන්න පුළුවන් වෙනවා. ඉන්පසු පශ්චාත් උපාධිය දක්වා මගේ අධ්‍යාපනික පසුබිම පුළුල් කරගන්නවා. ඒ අතරතුර විදෙස් ගත අධ්‍යාපනයට ඉඩහසර ලැබෙන්නේ.

 

මේ ගමනේදී ඔබට හයිය වෙන්නේ ඔබේ සැමියා.

 

මම විවාහ වෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේ දෙවැනි වසරේදී. ඒ කාලය තුළදී බැංකු කිහිපයකත් වැඩ කළා. යුද හමුදාවෙත් සේවයට බැඳුණා. එතැන අවුරුදු 5ක් ඉඳලා අයින් වෙනවා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජන කළමනාකරණය පිළිබඳව උපාධියක් කරනවා ඒ කාලේදී මම ප්‍රෙග්නට්.

මේ හැමදේටම උදව් කරන මට හොඳ සැමියෙක් ඉන්නවා. මම කරන කරන දේට හා අපි එහෙම කරමු මම ඔයත් එක්ක ඉන්නවා කියලා කියන සැමියෙක් මට ඉන්නේ. ඔයා ඉගෙනගන්න මම බබා බලාගන්නම්. මම වෙනුවෙන් එයාගේ බලාපොරොත්තු ඔක්කොම කැප කළා. ඔහු බර්ටි ලොකුලියන. ජීවිතයේ හැම සන්ධිස්ථානයකම මාත් එක්ක හිටියේ ඔහු. මගේ ජීවිතයේ හයිය ඔහු.

අද මම දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. හොඳ බිරියක්, මවක්, ගෘහිණියක් වගේම වෘත්තීමය පැත්තෙන් ගත්තොත් මම සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා. හැබැයි ලෝකයම කතා කරන මේ සම්මානයේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකාව කියන අපේ පුංචි දූපතටයි.