කේන්තියෙන් උයන්න එපා ශාන්ති...

කාන්තාවන්ගේ මානසික සුවපත්භාවය...
දෙසැම්බර් 16, 2024

තරගකාරී මෙන්ම කාර්යබහුල වත්මන් සමාජයේ කාන්තාව යනු සුවිශේෂී භූමිකාවකට පණ පොවන්නියකි.

කාර්යාලයක රාජකාරියක නිරත වන කාන්තාවක් වේවා, ගෘහිණියක් වේවා මේ සමාජයේ පැවැත්මට ඇය ලබාදෙන සක්‍රීය දායකත්වය සුළු පටු නොවේ.අපි ගෙදරක් “ The Home” කියලා එහෙම නැත්නම් “safe heaven” කියලා හඳුන්වනු ලබන්නේ ගෙදරක පවතින සුරක්ෂිතභාවය, නිදහස, රැකවරණය, තමන්ව තේරුම් ගැනීම ආදී ගුණයන් ගෙදරක අනූන වශයෙන් ඇති නිසාවෙනි. ගෙදරක මේ ගුණාංගයන්ගෙන් අනූන තැනැත්තිය “ අම්මා”. ගෙදරක අම්මා කෙනෙක් වෙන්නේ දියණියක්, බිරිඳක් වීමෙන් පසුවයි. එකී “අම්මා” නැමැති චරිතය වේවා, ඕනෑම කාන්තාවක් ඇයගේ පැවැත්ම තුළින් සමාජයට මහඟු බලපෑමක් එල්ල කරනවා. එම නිසා කාන්තාවන්ගේ මානසික සුවපත් භාවය කියන්නේ ඉතාමත් වැදගත් කාරණාවක්.

අපි මඳකට සිතා බලමු. නි‍ෙවසක උදෑසන වැඩකටයුතු අතරතුර මොනයම් හෝ හේතුවක් නිසාවෙන් බිරිය ඉතාමත් කෝපයකින් පසුවෙනවා මේ කෝපය කියන චිත්තවේගී හැඟීම ඇය කරන සියලුම කාර්යන්ට මුසු වෙනවා. ඇය කෝපය වචනවලින් පිටකරද්දී එය සැමියාට, දරුවන්ට බලපානවා. ඔවුන්ගේ දවසේ කාර්යන්ට ගෙදරින් පිටවන්නේ සතුටින් නොවේ. ඒ කනස්සලු ස්වභාවය සැමියාගේ කාර්යලයටත් ඔහු අරගෙන යනවා. ඒ විතරක් නොවේ කාර්යාලයේ අයටත් මේ අසතුට බලපානවා. මේ මානසික අසතුට නිසා දරුවන්ගේ දවසේ පාඩම් වැඩවලට අවධානය අඩු වෙනවා. යහළුවන් සමඟ ගැටලු ඇති කර ගන්නවා. ඒ වගේම මේ කාන්තාව රැකියාවක් කරන කෙනෙක් නම් රැකියා ස්ථානයට යන්නෙත් කෝපයෙන්, ඇයගේ රාජකාරි කටයුතුවලටත් අවධානය දෙන්න අපහසු වෙනවා. රැකියා ස්ථානයේ අයත් සමඟත් ගැටලුු ඇති කරගන්න පුළුවන්. ගෙදරක කෑම පිළියෙල කිරීමටත් මේ චිත්තවේග බලපානවා. ඒ විතරක් නෙවේ නුසුදුසු චිත්තවේගයකින් ආහාර පිළියෙල කර පිළිගැන්වීම තුළින් ඒ ආහාර භුක්ති විඳින අයටද අයහපත් බලපෑමක් ඇති වෙනවා. ඔබට දැන් තේරෙනවා ඇති මේ එක පවුලක එක කාන්තාවකගේ හැසිරීම සමස්ත සමාජයට බලපෑම් කරන ආකාරය. කෝපය, කනස්සල්ල, කලකිරීම වැනි ඕනෑම චිත්තවේගී තත්ත්වයක් නිසා ඇති වෙන්නේ මේ වාගේ ප්‍රතිඵලයන්.

 

මේ වාගේ මානසික සුවපත්භාවය, සතුට නොමැතිකමට ඉවහල් වෙන්නේ මොනවාගේ හේතු ද?

 

පවුලක් විදිහට ජීවත් වීමේදී අපි එකිනෙකාව තේරුම් ගැනීම ඉතාම වැදගත්. කාන්තාව කියන චරිතය ඉතාමත් සක්‍රීය චරිතයක්. උදේ පාන්දරින් පටන් ගන්න වැඩ කන්ද මධ්‍යම රාත්‍රිය තෙක් එක සීරුවට කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ගෙදරක සමස්ත පාලනය වගේම එක් එක් පුද්ගලයා ගැන වගවීමක් කාන්තාවන්ට තිබෙනවා.පුරුෂයන් වගකීම් රහිතයි කියන එක නෙවේ මේ කියන්නේ. ආසියානු සමාජයේ කාන්තාව පවුල වෙත දැඩිව බැඳී තිබෙනවා. මේ අසීමිත වැයවීමට නිසි ඇගයීමක් නොලැබීම කාන්තාවන් කනස්සල්ලට පත්වෙන එක් ප්‍රධාන කාරණාවක්.”අම්මා අපි වෙනුවෙන් මේ සේරම කරනවා නේද?” කියන හැඟීමට වඩා “මේ සේරම අම්මා කළ යුතුයි” කියන හැඟීම ති‍ෙයනවා. මේ නිසා ශාරීරික වෙහෙසට වඩා කාන්තාවන් මානසිකව වෙහෙසටපත් වෙනවා. රැකියාවක් නොකරන කාන්තාවන් සුළු කොට සලකන ස්වභාවයක් තිබෙනවා. නමුත් නිවෙසේ වැඩ කටයුතු මනාව සිදු කිරීමෙන් අනිත් හැමෝටම දක්වන සහයෝගයට ආර්ථිකමය වටිනාකමක් ඇයට ලැබෙන්නේ නැහැ.

මේ ආකල්පය තුළ ද කාන්තාවන් කනස්සල්ලට පත් වෙනවා. එමෙන්ම කාන්තාවන් කියන්නේ තමන්ගේ හැඟීම් ඍජුව පවසන පිරිසක් නොවේ. ඔවුන් බොහෝවිට දේවල් පවසන්නේ ව්‍යංගයෙන්.බොහෝ පිරිමි පාර්ශ්වයන් මේ ගැන නොදැනුවත්. එවිට කාන්තාවන් පවසන්නේ තමන්ව තේරුම් නොගන්නා බවයි. මෙවැනි සිත් රිදීම්, කළකිරීම්, ආතතිය, විශාදය දක්වාත්, අවසානයේ සියදිවි නසා ගැනීම දක්වාද උඩුදුවන අවස්ථා උපදේශන ක්ෂේත්‍රයේ අපි අත් දකිනවා. අගය කිරීම හරිම වටින දෙයක්. මෙවැනි චිත්තවේගීය තත්ත්වයන් මඟහරවා ගැනීමට අපිට අපේ අම්මව, බිරියව අගය කරන්න වචන කීපයක් ප්‍රමාණවත්.”අද කෑම ටික හරිම රහයි, ඔයා ඒ වැඩේ හරි ලස්සනට කරලා තිබුණා” වගේ පුංචි අගය කිරීම් කෙනෙක්ගේ මානසික සතුට ඇති කරන්න උදව් වෙනවා. ඒ වගේම අද සමාජයේ එක පවුලක අයත් ජීවත් වෙන්නේ බෝඩිමක අය වගේ. එකිනෙකා අතර තිබෙන චිත්තවේගීය සබඳතාවය හරිම දුර්වලයි. හවසට ගෙදර ආවත් ඉතිරි කාලය ගත කරන්නේ එක්කෝ ජංගම දුරකතනයේ, නැත්නම් රූපවාහිනිය සමඟ. එකිනෙකා සමඟ කතාබහක් නෑ, ගෙදර අම්මා කුස්සියේ. නමුත් දවස ගෙවුණු හැටි එකතු වෙලා කතා කරන්න පුළුවන්නම් හැමෝටම මානසිකව ලොකු නිදහසක් දැනෙනවා. ඒ වගේම එකිනෙකාව තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය කාගේත් මානසික සුවතාවයට ඉවහල් වෙනවා.

 

ඇත්තටම ඉහත කාරණා සාපේක්ෂයි. පුද්ගලයින්ගේ ස්වභාවය අනුව මේ තත්ත්ව වෙනස් වෙනවා. අනිත් අය අපිව සතුටින් තියයි, අපේ මානසික සුවය ගැන හිතයි කියන කාරණාවට වඩා අපි අපේ සතුට, මානසික සුවය හදාගන්නේ කොහොමද කියන එක වැදගත්. එදිනෙදා කරන වැඩ කටයුතු සතිමත්ව කරන එක හරිම වැදගත්. ඒ කියන්නේ වර්තමානයේ අවධානයෙන් ජීවත් වීම. අපි අතීතයේ දේවල් ගැන දුක් වීමෙන් හෝ අනාගතය ගැන බිය වීමෙන් ගිලිහී යන්නේ අපේ වර්තමානයයි. එම නිසා සතිමත් බව ඇති කර ගැනීමට උත්සාහ කිරීම වැදගත්. දවසට පොඩි වෙලාවක් භාවනා කිරීම සන්සුන් මනසක් ඇති කර ගැනීමට වගේම චිත්තවේගයන් පාලනයට හරිම වැදගත්. ඒ වගේම වැඩ කරන අතරතුර පොඩි විවේකයක් ගන්න අපට පුළුවන්. උණුසුම් තේ එකක් රස විඳින්න, පොඩි සංගීත ඛණ්ඩයකට සවන් දෙන්න. ගෘහිණියක් නම් පොඩි වෙලාවක් එළිමහනේ ගත කරන්න. පොතක පිටු කීපයක් කියවන්න. කන්න කැමති කෑමක් රස විඳින්න. ඒ වගේම අපි හැමෝටම ජීවිතයේ විවිධ ගැටලු වලට විවිධ කාලවලදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ප්‍රශ්න හිතේ තියාගෙන තනියම විඳවන්නේ නැතුව විශ්වාසවන්ත කෙනෙක් සමඟ බෙදා ගැනීමෙනුත් මානසික නිදහසක් ලැබෙනවා. සමහර ප්‍රශ්න අපිට අනිත් අය එක්ක බෙදා ගන්න අමාරු නම් අපිට හිතෙන දේවල් ලියන්න පුළුවන්. ජර්නල් ගත කිරීම කියලා මේ ක්‍රමයට කියනවා. එහෙම ලියලා පුලුස්සා දැමීමෙනුත් ලොකු නිදහසක් ලැබෙනවා.

 

අනිත් දේ අපි කරන දේවල් ආසාවෙන් කරන්න පුරුදු වෙන එක. අපි උයනවා නම්, “මම මගේ පවුල වෙනුවෙන් මේ කෑම ටික රසට හදලා දෙනවා. මගේ මහත්තයා, දරුවෝ නිරෝගී වෙන්න ඕනා” කියන යහපත් හැඟීම් ඇතිකර ගැනීම.” රෙදි හේදිල්ල ඉවරයක් නෑ” කියලා හිතෙනවා වෙනුවට මේ ටික ලස්සනට පිරිසුදු කරලා තියනවා කියන හැඟීම වැදගත්. අපි කරන වැඩ ආදරයෙන් සද්භාවයෙන් කරද්දී ඒක අපිටම ආශීර්වාදයක් වෙනවා. අපේ පිරිසුදු සිතුවිලි නිසා සතුට ඇති වෙන සතුටු හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. එවිට සමස්ත ශරීරයටම අපේ ලේ ගමනාගමනය, රුධිර පීඩනය යහපත් වෙන්න මේ සාධක බලපානවා. අනික අපි අපිටම සීමාවන් දාගෙන ති‍ෙයනවා.”මේ දේවල් අදම කරන්න ඕනෙ. කොහොම හරි මේ ටික ඉවර කරන්න ඕ‍ෙන කියලා”. ඒ වගේ දේවල් නිසා අපිට ඇති වෙන්නේ ආතතියක්. ඒ වගේ දේවල්වලින් නිදහස් වෙලා “මට පුළුවන් විදිහට මේ ටික හිමින් ඉවර කර ගන්නවා” කියලා අපේ ගේ දොර වැඩ ගැන හිතන්න පුළුවන් නම් ආතතියෙන් තොරව වැඩ කර ගන්න පුළුවන්. වැඩ කළමනාකරණය කර ගැනීම වැදගත්. අපි අපිටම වෙලාවක් වෙන් කර ගැනීම, සතුට ගෙන දෙන දේවල් කරන්න වෙලාවක් හොයාගන්න එක මානසික සුවයට අත්‍යවශ්‍ය‍යි. වැදගත්ම දේ අපි මානසිකව නිදහසින් ජීවත් වීමයි.

 

මේ හැම පියවරක් ගැනම කියන්නේ කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය, මානසික සුවපත්භාවය පවුලටත්, සමස්ත සමාජයටත් ඍජුවම බලපාන නිසයි. ඒක නිසා කාන්තාවන් ලෙස අපේ මානසික සුවතාවය ගැන අපිම අවධානයෙන් සලකා බලමු. සමස්ත සමාජය වෙනුවෙන් එය ඉතාමත් වැදගත් මෙන්ම ප්‍රබල සාධකයක්.

 

 

මනෝ උපදේශිකා

තුෂිකා පෙරේරා