කේක් බේක් කරන්නෙ අවන් එක ගැන දැනගෙන ද?

හරියටම කේක් හදන්න සරලම පාඩම් මාලාව
දෙසැම්බර් 23, 2024

 

කේක් සැදීමේදී ඔබ ආධුනිකයකු හෝ ප්‍රවීණයකු විය හැකිය. නමුදු කොතරම් ප්‍රවීණයකුට වුවද ආධුනිකයකුට වුවද නොදැනුවත්කම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකිය.

 

මේ ඔබ හට ප්‍රයෝජනවත් වේ යැයි සිතන කරුණු කීපයකි. මේවා කේක් සෑදීමේදී මුහුණදීමට සිදුවන ගැටලු නිරාකරණය කරගැනීමට යම්තාක් දුරකට හෝ පිටිවහලක් වනු ඇත.

 

විදුලියෙන්, ගෑස් සහ ඩීසල් මඟින් ක්‍රියාත්මක කළ හැකි උදුන් වෙළෙඳපොළෙහි ඇත. ගෘහස්ථ පරිහරණය සඳහා විදුලි උදුනක් භාවිත කිරීමත් නිෂ්පාදන කටයුත්තකදී ගෑස් හෝ ඩීසල් උදුනක් භාවිතය බෙහෙවින්ම යෝග්‍ය වේ. උදුනක ක්‍රියාකාරීත්වය වන්නේ ආහාර තබන කුටීරය තුළ සන්නයනය, සංවහනය හා විකිරණය ආදි තුන් ආකාරයෙන්ම තාපය සංක්‍රමණය වීම නිසාය. ඉන් ඒ තුළ ඇති ආහාරය අපට අවශ්‍ය පරිදි බේක්කර ගැනීමට හැකියි.

 

පෝරනුවක හඳුනාගත යුතු ප්‍රධාන කොටස්‌ කීපයක්‌ වේ. ඒ දොර, අගුල, උෂ්ණත්ව දර්ශකය, ආහාර තබන තට්‌ටු, තාපය ගමන් කරන දඟර (ඉහළ/පහළ) මතුපිට බර ලෝහ තහඩුවලින් පෝරනුව සාදා ඇත. එහි දෙපස හා යට දඟර ස්‌වභාවයෙන් යුතු සන්නායකයක්‌ ඇත. ධාරාව, සන්නායකයක්‌ තුළින් ගලා යද්දි ඒවා රත් වී ඒවා මඟින් පිට කරන තාපය සෑම දිශාවකටම පැතිරී යයි.

 

ඇතුළත ස්‌තරයේ ඇති කුඩා සිදුරුවලින් තාපය කුටීරය තුළට ඇතුළු වේ. ඉතා සුළු කාලයකදී ඉතා විශාල තාප ප්‍රමාණයක්‌ උරා ගන්නා අතර ආහාර පිස නිමවීමෙන් අනතුරුවද උෂ්ණත්වය පවතී. තාපය මඟින් ආහාර බේක් වෙන අතර තාපය පාලනය කිරීමට තර්මෝස්‌ටැටරයක්‌ද මෙහි පිහිටා ඇත. ක්‍රියා කරවන විට පෝරනුවට විදුලිය, ඩීසල් හෝ ගෑස් වායුව මඟින් තාපය ලබා දීම කළ යුතුය. එවිට එහි ඇති කුටීර හොඳින් රත් වේ.

 

දොර වසා ඇති නිසා උෂ්ණත්වය පිටතට නොයයි. එම රත් වූ කුටීරය තුළට, පුලුස්‌සන තැටියක්‌ මත තැබූ ආහාර තබා, දොර පියන වැසීමෙන් ආහාරය අවශ්‍ය ලෙස පිළියෙල කළ හැකිය. පිරිසුදු කිරීම උදුන හොඳින් නිවුණාට පසුව සිදු කළ යුතුය. විදුලි සැපයුම හා අනෙකුත් බලශක්ති සැපයුම් විසන්්ධි කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. සැමවිටම ආරක්ෂාව පළමුව යැයි සිතා කටයුතු කරන්න.

 

ඒ සඳහා තෙත් කරගත් ස්‌පොන්ජ් වැනි මෘදු දෙයක්‌ භාවිත කරන්න. සබන් දමමින් අතුල්ලමින් සේදීම නොකළ යුතුය. උදුන තුළ අපවිත්‍රවීමක්‌ සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඒ උතුරා යන ආහාර ද්‍රව්‍ය පිළියෙල වීමක්‌ සිදුවන්නේ නැති නිසයි. එසේ වුවත් මෙය පිසදා තැබීම කළ යුතුය.

 

ප්‍රථමාධාර ඖෂධ සහිත යාවත්කාලීන වූ ප්‍රථමාධාර පෙට්ටියක් වැඩ කරන ස්ථානයේ පවත්වාගෙන යා යුතු අතර කැපුම් සහ පිලිස්සුම් සඳහා ප්‍රථමාධාර සැමවිටම එහි තිබිය යුතුය. කේක් බේක් කිරීමේදී හරියටම අවන් එක භාවිත කරන්නෙ මෙහෙමයි. භාවිත කරන අවන් එක හඳුනා ගැනීම අනිවාර්ය වේ. එකම වර්ගයේ අවන් වුවද එකින් එකට එහි උෂ්ණත්ව පරාස වෙනස්ය.

 

මේ සඳහා උෂ්ණත්වය මනින මාපක වෙළෙඳපොළේ ඇත. නිවැරැදිව දැන ගන්න.වාර්ෂිකව හෝ වර්ෂ දෙකකට වරක්වත් උෂ්ණත්ව පාඨාංක කාර්මික මහතෙකු ලවා පරීක්ෂා කර ගන්න.

 

කේක් උදුන තුළට දැමීමට පෙර නියමිත උෂ්ණත්වයට උදුන රත්ව තිබීම වැදගත්. කේක් තැටිය ඔයිල් පේපර් යොදා සූදානම් කර තිබීමත්, කේක් මිශ්‍රණය තෙත සහිත නිසාත් පිටි එක්කළ වෙලාවේ සිට පිපුම් කාරකය ක්‍රියාශීලීවීම නිසාත් තැටියට දමාගත් ඒ විගස උදුන තුළට බේක්වීමට සැලැස්වීම ඉතා වැදගත්.අවන් එකට තැටිය ඇතුළත් කිරීමේ දී එය අවන් එකේ මැද තට්ටුවට ඇතුළත් කිරීම වඩාත් සුදුසුය. ඒ මඟින් අවන් එක තුළ උෂ්ණත්වය මනාව කළමනාකරණය කරගත හැකියි.

 

කේක් එක බේක්වන අවස්ථාවේ දී කිසිවිටෙකත් අවන් එකේ දොර ඇර සැරින් සැරේ පරීක්ෂා කරන්න එපා. ඔබ එසේ කළහොත් කේක් එක නියමිත උසට නොපැමිණෙන අතර කේක් එක තද ගතියක් ගැනීමට එය හේතුවක් වේ. කේක් එක නියමිත කාලය තුළ බේක් වූ පසු එය පරීක්ෂා කිරීමට පිරිසුදු ඉරටු කැබැල්ලක් හෝ ටූත් පික් එකක් භාවිත කරන්න. ඉරටු කැබැල්ලේ කොළවරෙහි බටර් ඇලී ඇත්නම් නැවත බේක් කර ගන්න.(පළමු විනාඩි 30 දී උදුන විවෘත නොකරන්න.) ඊට අමතරව කේක් එක මත ඔබේ ඇඟිලි තුඩු තබා ගත් විට එය නැවත පෙර තත්ත්වයට පැමිණේ නම් ඔබේ කේක් එක සාර්ථකව බේක් වී ඇත.

 

කේක් එක බීට් කර අවසන් වූ විගස අවන් එකට දමන්න. කේක් මිශ්‍රණය සාදා අවසන් වූ පසු සකසා ගත් කේක් තැටියට දමන්න. හැකි ඉක්මනින් රත්වූ අවන් එකට දමා අවශ්‍ය කාලයට බේක් කර ගන්න. එසේ කරන්නේ කේක් මිශ්‍රණයේ අඩංගු පිපීමට භාවිත කරන ද්‍රව්‍ය කේක් මිශ්‍රණය සමඟ වාතයට නිරාවරණය වී තිබියදී ක්‍රියාකාරීවීම ආරම්භවීම වැළැක්වීමටය. කේක් එක උදුන තුළට දමා පළමු විනාඩි 20 ඉක්ම වන තුරු දොර අරින්න එපා. එවිට සිසිල් වාතය උඳුන තුළට ඇතුළු වී කේක් එක මැද්දෙන් බැසීමට ඉඩ ඇත. බේක් වූ කේක් එක අවන් එකෙන් පිටතට ගත් පසු එය උපරිම විනාඩි දහයක් පමණ තැටිය සමඟම තබන්න. ඉන්පසු තැටියෙන් ඉවත් කර දැල් ට්‍රේ එකක් මතට දමා සම්පූර්ණයෙන් නිවෙනතුරු තබන්න. නැත්නම් කේක් එක පෙඟීමට ලක් වේ.

 

 

කේක් එක කරවෙන්නේ අවන් එකෙහි උෂ්ණත්වයේ ඇති අඩුපාඩු නිසයි. එමනිසා අවන් එකක් මිලදී ගන්නා විට උෂ්ණත්වය ගැන සැලැකිලිමත් විය යුතුයි. ඒ වගේම කේක් එකක් බේක්වීමට ගතවන කාලයද කේක් එකෙන් කේක් එකට වෙනස් විය හැකියි. බටර් කේක් චොකලට් කේක් වැනි කේක් සෙල්සියස් අංශක 160-180 උෂ්ණත්වයෙන් බේක්වන අතර පලතුරු දැමූ බරින් වැඩි කේක් එකක් නම් ඊට වඩා අඩු උෂ්ණත්වයෙන් වැඩි කාලයක් ගත වේ.

 

කේක් එකක් අවන් එකෙන් පිටතට ගත් විගසම දැලට දැමීම නුසුදුසු ක්‍රියාවකි. එහිදී කේක් එක කැඩී යා හැකිය. එම නිසා විනාඩි 5ක් පමණ ට්‍රේ එකෙහි සිසිල් වන්නට තැබිය යුතුය. ඉන්පසු දැලට දැමීම සිදු කළ යුතු අතර ඉක්මනින් කේක් එක උඩ අතට හැරවීම සිදු කළ යුතුයි.

 

මේ කරුණු කාරණා නිසි අයුරින් පිළිපැද කේක් එක සාදාගත්තොත් ඔබට රසම රස කේක් එකක් සාදාගැනීමට හැකි වේවි. අනිවාර්යයෙන්ම, රසවත්ව හා නිවැරැදිව කේක් සෑදීමට හැකි නම් එය කදිම හැකියාවකි. එහෙත් රසවත්ව කේක් සෑදීමේදී විවිධ ගැටලු මතුවිය හැකි අතර ඉදිරියේදී එම ගැටලු විසඳාගනිමින් රසවත් කේක් එකක් නිර්මාණය කිරීමට ඔබට හැකි වනු නිසැකය.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

සර්වදර්ශනී අප්සරා

 

 

[email protected]