ආහාර ගැන මිත්‍යා මතවල ඇත්ත නැත්ත

දෙසැම්බර් 30, 2024

මිනිසුන් විවිධ දෑ ආහාරයට ගන්නේ කුසගින්න නිවාගැනීම සඳහාම පමණක් නොවෙයි. ඒවායේ ප්‍රණීත රසයට, පෙනුමට, හා සුවඳට මිනිසුන් ප්‍රිය කරනවා. මීට අමතරව ඒවායින් ශරීරයට ලැබෙන පෝෂ්‍ය ගුණය සම්බන්ධවත් බොහෝදෙනා සැලකිලිමත් වෙනවා.

ඒ වගේම නිතර දෙවේලේ ගන්නා ආහාරවල සිරුරට අවශ්‍ය ගුණාංග සේම අහිතකර රසායන වර්ග අඩංගු යැයි ද මෙරට ජනයා තුළ විවිධ මත තිබෙනවා. නමුත් මෙහි සත්‍ය අසත්‍ය බව මෙන්ම එහි රසායනයන්හි ගුණ අගුණ පුද්ගලයා අනුව වෙනස්විය හැකියි. අතීතයේ පටන් පැවත එන ඒ මිථ්‍යා මතවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලීම වටින්නේ ඒ නිසාය. අද අපි කතා කරන්නෙත් ඒ විදිහට පරම්පරා ගණනාවක් තිස්සේ කෑම බීම සම්බන්ධව පැවත එන මිථ්‍යා මත කිහිපයක් ගැන.

 

කැරට් දියවැඩියා රෝගීන්ට අගු ණයි ද?

 

කැරට් එළවළුවක්. නමුත් මෙය ගසක මුලක්, එහි ගහට අවශ්‍ය කරන පෝෂක අඩංගුයි. සාමාන්‍ය ගසකට වඩා වෙනස්. අල, බතලවල මෙන් විශාල ප්‍රමාණයක් පිෂ්ටය අඩංගු නැහැ. පිටි සහිත ආහාරවලට වඩා මුල වෙනස් වෙනවා. මෙහි විටමින් ඒ අඩංගු වීම ප්‍රධානම විශේෂත්වයක්. එහි අඩංගු කැරොටීන් මඟින් අපේ සිරුරේ විටමින් ඒ නිෂ්පාදනය වෙනවා. එය ඇස් පෙනීමට ඉතාම වැදගත්. විටමින් ඒ ඌනතාව මෙරට කුඩා දරුවන් අතර බහුලව තිබෙන ගැටලුවක් වන අතර ඒ සඳහා සුදුසුම ආහාරයක් ලෙස කැරට් හඳුන්වන්න පුළුවන්. කැරට්වල සීනි අඩංගු නිසා දියවැඩියාව සෑදේද යන ගැටලුවක් තිබෙනවා. දියවැඩියාව තිබෙන අය ආහාර තෝරා ගැනීම සහ ප්‍රමාණය ඉතාම වැදගත්. අමු කැරට් ආහාරයට ගත් විට සීනි ඉහළ යෑම හුඟක් අඩුයි. සංඛ්‍යාත්මක දර්ශක අනුව කැරට්වල ග්ලයිසිමික් දර්ශකය 35%යි. ග්ලයිසිමික් දර්ශකය යනු ආහාරයක් ගත් විට එයින් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළ යෑම වැඩි වෙනවා. නමුත් එක්වර කැරට් අලයක් දෙකක් ආහාරයට ගැනීමෙන් සීනි ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. නමුත් කැරට් තැම්බූ විට ග්ලයිසිමික් දර්ශකය ඉහළ යා හැකියි. එහෙත් අමු කැරට් අලයක් ආහාරයට ගැනීම ගැටලු සහගත නැත.

 

බතලවලත් සීනි ද?

 

බතලවල සීනි අඩංගු වෙනවා. එය ග්ලයිසිමික් දර්ශකයට අනූව 70%ට වඩා වැඩියි. බතල වැඩිපුර කෑවොත් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. දියවැඩියා රෝගියෙක් බතල ආහාරයට ගන්නේ නම් කුඩා බතල කැබැල්ලක් ආහාරයට ගැනීම සුදුසුයි.

ඒ වගේම බතල ආහාරයට ගන්නේ පොල් හෝ බත් සමඟ නම්, අවදානම අඩු වෙනවා. බතල සමඟ එළවළු, පලා වැනි යමක් ආහාරයට ගැනීමෙන් පලාවල කෙඳි තිබෙන නිසා සීනි ප්‍රමාණය අඩු වෙනවා. ඒ හැර සාමාන්‍ය පුද්ගලයන්ට නම් බතල හොඳ ශක්තිජනක ආහාරයක්. කහ පැහැති බතල මින් ඉතාම ගුණදායකයි. විටමින් ඒ බහුල ආහාරයක් ලෙස බතල හඳුන්වන්න පුළුවන්.

 

දෙහි නිසා ලේ පිච්චෙනවා ද?

 

දෙහි වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලේ පිච්චෙනවා යන මතය මිථ්‍යාවකි. දෙහි විටමින් ජ බහුල ආහාරයක් නිසා එය සිරුරට අවශ්‍ය වෙනවා. පානයක් ලෙස අඩුවෙන් සීනි දමා පානය කිරීම ඉතාම ගුණදායකයි. පලා මැල්ලුමට සම්බෝලයට දෙහි දැමීමෙන් ඒවායේ ඇති යකඩ හොඳින් සිරුරට උරාගන්නවා. යකඩ ඌනතාවට දෙහි හොඳ ප්‍රතිකර්මයක්. දෙහි යුෂ නිසා බඩගින්න, ආහාරයට ප්‍රිය ගතියක් ඇති වෙනවා.

ඇසිඩ් යැයි කීවත් දෙහිවල ඇත්තේ සාමාන්‍ය බැටරි වැනි ඇසිඩ් නොවේ. එය විටමීනයකි. ඇස්ට්‍රොනික් ඇසිඩ් යනුවෙන් එය හඳුන්වයි. ඒ නිසා දෙහි ආහාරයට ගැනීමට බිය විය යුතු නැහැ. ඉන් රුධිරය වර්ධනය වී නීරක්තිය වැළකෙනවා.

 

වෑංජනයට දමන කරපිංචා කන්න හොඳයිද?

 

කරපිංචාවල තිබෙන ගුණාංග අතර ප්‍රතිඔක්සිකාරකයක් වීම ප්‍රධානයි. ප්‍රතිඔක්සිකාරකයක් යනු සිරුරේ ඇති අහිතකර සංයෝගවල ක්‍රියාකාරීත්වය හීන කරන තවත් සංයෝගයක්. සිරුරට ආරක්ෂාවක් ලබාදීම ඉන් සිදු වනවා.

වෑංජනය, මස්, මාළු ආදියට කරපිංචා එකතු කිරීමට ප්‍රධානම හේතුව එහි ඇති ක්ෂුද්‍ර ජීවී නාශක ගුණයයි. මීට අමතරව දියවැඩියාව සුව කිරීමට සහ කොලෙස්ටරෝල් මට්ටම පහළ හෙළීමටත් කරපිංචා උපකාරී වනවා. වෑංජනවලට යොදන කරපිංචා ආහාරයට ගැනීමෙන් සිරුරට නිසි පෝෂණය ලබා ගත හැකියි.

එසේම කරපිංචා සම්බෝලය, කරපිංචා කැඳ, කරපිංචා පේස්ට් ඉතාම ගුණදායක මෙන්ම ආහාරවල ඇති විස සමඟ ප්‍රතික්‍රියා කර මර්දනය කිරීමට කරපිංචාවලට හැකියාව ලැබෙනවා. එමෙන්ම ආහාර මාර්ගයේ ඇති විස මර්දනය කිරීමටත් කරපිංචාවලට හැකියි.

 

මුරුංගා කොළ ඉස්සන් ව්‍යංජනයට දමන්නේ ඇයි?

මුරුංගා කොළ ඉස්සන් වෑංජනයට දැමීම මෙරට ඉතාම ජනප්‍රියයි. ඉස්සන්ගේ අධිකව බැක්ටීරියා තිබෙන අතර පිසීමෙන් පසු යම් කාලයක් ගතවන විට පරිභෝජනයට නුසුදුසු වනවා. මුරුංගා කොළ දැමීමෙන් ඉස්සන් වෑංජනයේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හා ක්ෂුද්‍ර ජීවී වර්ධනය අඩාළ කළ හැකියි.

මෙහිදී ප්‍රතිඔක්සිකාරක සහිතයි. අප්‍රිකාව, ආසියාව වැනි රටවල විටමින් ඒ බහුල ආහාරයක් ලෙස මුරුංගා කොළ නිර්දේශ කරනවා. උදරයේ ආසාදනය අඩු කිරීමට සහ බඩඑළිය යෑම වැළැක්වීමට මුරුංගාවලට හැකියි.

 

ඉඟුරු නිසා මඤ්ඤොක්කා විස වෙනවා ද?

තේවලට ඉඟුරු දැමීමෙන්, බීමට නොහැකි පැරණි තේ කොළවල නීරස බව වැළැක්වීමට තේ කඩ හිමියන් උත්සාහ කරනවා. නමුත් ඉඟුරු දැමීම මඟින් තේවලට හොඳ රසයක් බලාපොරොත්තු විය හැකියි.

ඉඟුරුවල සහ තේවල ද ප්‍රතිඔක්සිකාරක ගුණය සහිතයි. සීනි අඩුවෙන් දමා ඉඟුරු වැඩියෙන් දැමීම මෙහිදී වැදගත්. ඉඟුරුවලින් තේවල රසයත් ගුණයත් තීව්‍ර වනවා. මඤ්ඤොක්කාවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය ඉඟුරුවල ඇති රසායන ද්‍රව්‍ය සමඟ එක්වී ප්‍රතික්‍රියා කර අලුත් සංයෝගයක් ඇතිවීමයි. එය සිරුරට අහිතකර වන අතර ආසාත්මිකතා ඇතිවෙනවා. නමුත් දැන් වෙළෙඳපොළට එන මඤ්ඤොක්කාවල විස ගතිය අඩුව තිබෙනවා. මෙහි සයනයිඩ් විස අඩංගු වන අතර එය කුඩා අංශු මාත්‍රයක් පමණයි. දැන් තිබෙන මඤ්ඤොක්කාවල සයනයිඩ් ඉතා අඩුබව කෘෂි විද්‍යාඥයින් ද තහවුරු කරනවා. නමුත් අසාත්මිකතා ඇතිවිය හැකි බැවින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසුව ඉඟුරු තේ නොබීමට වග බලාගැනීම වඩාත් සුදුසුයි.

 

 

උපදෙස් - පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

වෛද්‍ය පර්යේෂණ ආයතනය

 

 

[email protected]