වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
ඔසරියෙන් දිස්වන ඇගේ පිවිතුරු බව
උඩරට මනාලියක් යනු මන බඳිනා ලියකි. බොහොමයක් යුවතියන් තම මංගල දිනය දා ඔසරි පොටෙන් හැඩවන්නට සිහින මවති. ඔසරියෙන් දිස් වන්නේ ඇගේ පිවිතුරු බවයි.
මනාලියන් හැඩගැන්වීම පිළිබඳ NVQ 4 පාඨමාලාව හදාරන ඔබ ඔබේ සේවාදායකයා මංගල දිනය දා ඔසරියෙන් හැඩ කරන්නට සිතන්නේ නම් පළමුව Mood Board එකක් සකස් කළ යුතුයි. එහි මනාලිය පලඳින සියලුම දෑ, ඇගේ සපත්තු, ඇඳුම්, මල් කලඹ මේ ආදි සියලු දේ පිළිබඳ විස්තර අඩංගු වේ. මනාලයාගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ විස්තර පවා එහි අඩංගු කරයි.
මනාලිය පෙර සූදානම සඳහා කළ දෑ, එනම් මාස තුනක හයක කාලයේ පටන් සිදු කළ දෑ එහි අඩංගු විය යුතුවේ. ෆේෂල් එකක් කිරීම, මෙනිකියු, පෙඩිකියු කිරීම, හිසකෙස් වර්ණ ගන්වා ඇත්නම් ඒ පිළිබඳ විස්තර.....මෙකී නොකී සියලු දෑ එහි අඩංගු විය යුතුයි.
පොට දැමීම
ඔසරියෙන් හැඩවන මනාලිය වම් අතට පොට දමන්නේද නැතිනම් දකුණු අතට පොට දමන්නේද යන්නත් තීරණය කළ යුතුයි. සාම්ප්රදායානුකූල ක්‍රමයට, එනම් නියමම උඩරට ක්‍රමයට ඔසරියෙන් හැඩවන්නේ නම් පොට දමන්නේ දකුණු අතටයි. සාමාන්‍ය ක්‍රමයට එසේත් නැතිනම් පහතරට ක්‍රමයට ඔසරිය අඳින්නේ නම් පොට දමන්නේ වම් අතටයි.
පොට සිහින්ව නවනවාද, හතරට නවා අන්දවනවාද ඇයට ගැළපෙන පරිදි, ඇගේ සිතැඟි පරිදි සිදු කළ යුතුයි.
මේඩ් අප් කිරීම
සාරිය මේඩ් අප් නොකර ඔසරිය අඳින්නට පුළුවනි. බොහෝ දුරට මනාලියන් ඇන්දවීමේ දී මේඩ් අප් කිරීම සිදුකරයි. ඒ පිළිවෙළ හා පහසුව තකායි. මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනියන් නැකත් දිනවල මනාලියන් කිහිප දෙනකු ඇන්දවීම සඳහා භාරගන්නා විටදී, එම මනාලියන් ඔසරියෙන් හැඩවන්නේ නම් අනිවාර්යයෙන්ම සාරිය මේඩ් අප් කරයි.
මේඩ් අප් නොකර සාමාන්‍ය ක්‍රමයට ඇන්දවූයේ නම් පසුව වුවත් එම සාරිය ඇයට පහසුවෙන්ම භාවිත කළ හැකියි.
මිටි මනාලියකට අඟල් 45 පළල සාරියෙන් ඔසරිය සාමාන්‍ය ක්‍රමයට ඇන්දවීමේදී එහි දිග වැඩිවීමට පුළුවනි. උස මනාලියකට නම් දිග මදි වීමට පුළුවනි. එවිට රැලි තැබීම සඳහා අවශ්‍ය ඉඩකඩ මදි වේවි. මහත කෙනෙකුටත් සාරිය මදිවේවි. මේ හේතු නිසා මේඩ් අප් කිරීම පහසුවක් වේවි. යාර හයක් වෙනුවට යාර පහමාරක සාරියක් නම් උස මහත කෙනකුට සාරිය මදිවේවි. නෙරිය කොටස ලස්සනට සැකසෙන්නේ නැත. නෙරිය කැපීම සඳහා යාර දෙකක් අවශ්‍ය වෙයි.
මේඩ් අප් නොකර සාමාන්‍ය ක්‍රමයට අඳින්නේ නම් සාරියේ හොඳ පිට, කණපිට හොඳින් හඳුනාගත යුතුයි. ඒ ක්‍රමයට ඇන්දවීම වෙනමම කරුණකි. ඉණට පටියක් බැඳීම අත්‍යවශ්‍ය වේ.
ශිමර් සාරිය, ජිපියෝ ලේස් සාරිය, බ්‍රොකේඩ් සාරිය,නෙට් සාරිය, සිල්ක් සාරිය (මිල අධිකයි), කන්ජිපුරම් සාරිය..මේ ආදී සාරි වර්ග ඔසරිය ඇඳීම සඳහා සුදුසු වේ.
ඔසරිය විවිධ අන්දමින් වර්ක් කරයි. සීකුවින්ස්, බීඩ්ස්, පබළු...ආදීය මේ සඳහා එක් කරයි.
සාරියේ පැහැය
බිස්කට් පැහැය, කිරි තේ පැහැය..... ආදී ලෙස සමේ පැහැයට ගැළපෙන අන්දමින් සාරියේ පැහැය තෝරාගත යුතුයි.
අඩු වියදමකින් සාරිය සකසා ගන්නටත් පුළුවනි.
ඔසරි හැට්ටය
බොහෝ දුරට ඔසරියට ගැළපෙන්නේ බෝරිච්චි අතයි. මෙය විවිධ දිග ප්‍රමාණවලින් යුතුව සැකසිය යුතුයි. එනම් වැළමිට දක්වා, මැණික් කටුව දක්වා..... මේ ඕනෑම ප්‍රමාණයකින් ඔසරි හැට්ටයේ අත සකසා ෆ්‍රිල් එක යෙදිය හැකියි.
මනාලයා උසින් වැඩි නම් අත උස්සා එතැනට පැඩින් දෙකක් එක් කළ හැකියි.
හැට්ටයේ කර
බොහෝවිට මේ සඳහා යොදන්නේ රවුම් කර යි. හැට්ටයේ පිටුපස වර්ක් කර ඇත්නම්, කර ගැඹුරට නොකපයි. හයි නෙක් ක්‍රමයට සකසයි.
පැය කීපයකට පෙර
ඕනෑම මනාලියක් ඇන්දවීමට පැය 48කට හෝ 72ට පෙර ෆේෂල් ආදිය කර තිබිය යුතුයි. පෙරදා සවස් කාලයේ නාගෙන කොණ්ඩයේ ඇති Oil Balance එක පාලනය කළ යුතුයි. කොණ්ඩයේ තෙල් ගතිය වැඩිපුර ඇත්නම් Hair Style එක දැමීම තරමක් අපහසුයි.
විවාහ මංගල දිනය දා මනාලියක් ලෙස හැඩවන්නට පැමිණෙද්දී මුහුණ ෆේස් වොෂ් එකකින් හොඳින් සෝදා තිබිය යුතුයි. එය කිසිසේත්ම ඩීප් ක්ලෙන්සර් එකක් නම් නොවිය යුතුයි. ඩීප් ක්ලෙන්සර් එකකදී සමහරවිට සමේ ඇති තෙල් ගතිය මතු වන්නට පුළුවනි. ෆේස් වොෂ් දැමීමෙන් පසු අයිස්වලින් හොඳින් සම්බාහනය කළ හැකියි. විවර වූ රෝම කූප වැසි මේක් අප් එක හොඳින් රඳවයි.
තැලි පිළි පැලඳවීම
මනාලියක් වීම ඇගේ ජීවිතයේ සැමදා මතකයේ තිබෙන වටිනා සිදුවීම් මාලාවකි. ඇය ඇන්දවීමේදී තැලි පිළි පැලැඳවීමේදී පිරිත් සජ්ඣයනා මධ්‍යයේ එය සිදුකරයි. මේ මොහොත ඇයට ආශිර්වාදයකි.
මල් කලඹ
උඩරට මනාලියගේ මල් කලඹ සඳහා අරලිය, නෙළුම්, රෝස, කානේෂන් වැනි මල් වර්ග භාවිත කරන්නට පුළුවනි. හිස සැකැස්ම සඳහා පිච්ච, ඉද්ද පොහොට්ටු මල් ආදිය එකතු කළ හැකියි.
මැණික්කටුවේ සිට වැළමිට දක්වා අංශක 45ක ප්‍රමාණයෙන් මල් කලඹ රඳවා ගත යුතුයි.
හිරු එළියට සමාන කෘත්‍රිම ආලෝකය ඇති තැනක මනාලිය ඇන්දවීම කළ යුතුයි. එම ස්ථානය වායු සමනය කළ තැනක් නම් වඩාත් පහසු වේවි.
මනාලියට පාවිච්චි කරන මේක් අප් එකෙන් ඇය දිදුලන තැනැත්තියක් විය යුතුයි. මනාලියගේ මුහුණට අඳුරු ස්වභාවයක් ගෙනදීම හෝ පැල්ලම් ආදිය ඉස්මතුවීම කිසිසේත්ම සිදු නොවිය යුතුයි. ඔසරිය ඇන්දවීමට පෙර ඇගේ සිරුරේ උදර කොටසේ, අත්වල, බෙල්ල මේ ආදී පිටතට පෙනෙන සියලු තැන්වල මේක් අප් එක කළ යුතුයි.
ඕඩර් එකක් නොවී
මනාලියකගේ සුන්දරතම දිනය රූපලාවණ්‍ය ශිල්පිනියට තවත් එක් ඕඩර් එකක් නොවිය යුතුයි. මනාලිය රූපලාවණ්‍ය ශිල්පිනිය කෙරෙහි අසීමිත බලාපොරොත්තු ගොන්නක් තබයි. එකම දිනයේ මනාලියන් කිහිප දෙනකු ඇන්දවීමට භාරගෙන ඇතත් ඒ සඳහා සහායට පිරිස් කැඳවා තමාගේ මූලිකත්වය යටතේ මනාව මනාලිය ඇන්දවීම කළ යුතුයි.
ඔසරියෙන් හැඩවෙන යුවතියගේ ආභරණ කට්ටලය පිළිබඳ ලබන සතියේ දැනුම්වත් වෙමු.
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4
ඇගයීම් නිලධාරිනි)
ඡායාරූපය - ශාන් රූපස්සර