IELTS ගැන ඔයා මොනවද දන්නෙ

ඉගෙන ගන්න රට යන අයට විශේෂයි
දෙසැම්බර් 30, 2024

හොඳ රටකට යන්න ඒ රටේ ඉගෙන ගන්න හීන නොදකින කෙනෙක් දැන් නැති තරම්. එහෙම හීන දකින ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි IELTS කියන්නෙ.

මෙයින් මැන බලන්නේ විදේශයකට යන අයකුගේ ඉංග්‍රීසි භාෂාවේ හැකියාව පිළිබඳ කියල සරලව නිර්වචනය කරන්න පුළුවන්. නමුත් ඒක එච්චර සරලවම ගන්න පුළුවන් කාරණාවක් නොවන බව දන්න උදවිය හරියටම දන්නවා. බොහෝ දෙනා මේ පිළිබඳ ඇති අල්ප දැනුම සහ අල්ප උනන්දුවත් නියමිත ප්‍රමිතියකින් තොරව ලබන අධ්‍යාපනයත් නිසා IELTS විභාගය හරියට සමත් නොවෙන පිරිස එන්න එන්නම වැඩිවෙමින් පවතින බවත් කිව යුතුමයි.

අපි මුලින්ම බලමු මොකක්ද මේ IELTS කියන්නෙ කියල.

 

International English Language Testing System (අන්තර්ජාතික ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පද්ධතිය) ලෙස හඳුන්වනු ලබන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය කෙටියෙන් හඳුන්වන්නෙ IELTS කියලා.

ලෝකය පුරා බොහෝ රටවල් තම මවු භාෂාව ලෙස භාවිත කරනු ලබන්නේ ඉංග්‍රීසි. ලොව පුරා මිලියන 379කට වැඩි පිරිසක් ඉංග්‍රීසි භාෂාව ලෙස භාවිත කරනවා.

 

ඔබ ඉංග්‍රීසි මවු භාෂාව ලෙස භාවිත කරනු ලබන රටකට අධ්‍යාපනය සඳහා හෝ රැකියාවක් සඳහා යනවිට දෛනික ජීවිතය සඳහා ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි.

 

මෙසේ අත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම ඔබ සතුවේද යන්න නියමිත පරිදි ගණනය කිරීම සඳහා සහ අධ්‍යයනය සඳහා පවත්වනු ලබන විභාගය තමයි IELTS පරීක්ෂණය. සරලව කිව්වොත් ඔබට රටක හරියට මිනිස්සු එක්ක සන්නිවේදනය කරන්න පුළුවන් ද කියල තමයි මේ පරීක්ෂණ ඔස්සේ ඔවුන් බලන්නෙ.

 

බ්‍රිතාන්‍ය කවුන්සිලය, IDP: IELTS Australia සහ Cambridge English කියන ආයතන සියල්ල ඒකාබද්ධව සම්මත කරගත් නිර්ණායකවලට අනුව තමයි මේ පරීක්ෂණය පැවැත්වෙන්නේ. මේ පරීක්ෂණය මඟින් ඔබට ඉංග්‍රීසි භාෂාව නිවැරදිව සහ ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව කොටස් හතරකින් යුතුව ඇගයීමට ලක් කරනවා. ඒ කොටස් ගැන ඔයා දැනුම්වත්වීමත් ඉතා වැදගත්. Listening’, ‘Speaking’, ‘Writing’, ‘Reading’ යන කුසලතා හතර තමයි ප්‍රධාන වශයෙන් මෙහිදී මැන බලන්නේ.

 

ඒ පිළිබඳ සවිස්තරාත්මකව කිවුවොත්

 

1. ඉංග්‍රීසි භාෂාව භාවිත කර සන්නිවේදනය කරන අයකු ඔබට පවසන දේ නිවැරදිව සවන්දී තේරුම් ගැනීමට ඇති හැකියාව

 

2. ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති දේවල් කියවා තේරුම් ගැනීමේ හැකියාව.

 

3.ඉංග්‍රීසි භාෂාව නිවැරදි ලෙස ලිවීමට ඇති හැකියාව

 

4. ඉංග්‍රීසි භාෂා කථනයට ඔබට ඇති හැකියාව

 

මෙම කොටස් හතරම ඇතුළත් පරීක්ෂණයේ අවසානයේ ඔබ ලබා ගන්නා ලකුණු අනුව ඔබට ශ්‍රේණියක් ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබනවා. එම ශ්‍රේණිය අනුව ඔබ ලබා ඇති ඇගයීම පිළිබඳ තක්සේරුවක් ලබා ගන්නට පුළුවන්. මෙසේ ශ්‍රේණි නවයක් ඔස්සේ ලැබෙන ඇගයීම ඔබේ තක්සේරුව ගණනය කරාවි.

මේ සඳහා ඇතැම් අයට මඟපෙන්වීම අවශ්‍ය නොවුණද බොහෝදෙනා සඳහා මඟපෙන්වීමක් අවශ්‍යයි. ඒ නිසාම ඔබ මේ සඳහා පන්තියකට හෝ පාඨමාලාවකට සහභාගිවීමේදී වගකිවයුතු සහ අත්දැකීම් සහිත ස්ථානයක් තෝරා ගැනීම ඉතා වැදගත්. ඒ හරහා ඔබට අත්‍යවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලැබේවි.

 

සෑමවිටම ඔබ IELTS විභාගය සඳහා අධ්‍යාපනය ලැබීමට තැනක් තෝරාගැනීමේදී දෙවරක් තෙවරක් නොව සිවුවරක් සිතා බලන්න. එමෙන්ම පෙර අත්දැකීම් සහිත අයගෙන් මේ පිළිබඳ අසා දැනගන්න.

මේ පිළිබඳ ඔබ දන්නා කරුණුද අනෙක් අය සමඟ බෙදාගන්න. ඒ හරහ තවත් අයකුගේ ජීවිතයක් ජයග්‍රහණය කරා ගෙන යන්න ඔබටත් දායක වෙන්න පුළුවන්.