මේ අවුරුද්දේ සතුට සොයා ගමු

ජනවාරි 6, 2025

 

ඔබ නිතරම සතුටින් සිටින කෙනෙක්ද? නැත්නම් සතුට හොයන කෙනෙක්ද? ඇත්තටම අපි ජීවිතේ හැම වෙලාවෙම කරන්නේ සතුට හොයන එක නේද? අපි අපේ බලාපොරොත්තු ඉටු වුණාම සතුටු වෙනවා.

 

එහෙම නැති වුණාම දුක් වෙනවා. එහෙම හිතනකොට බලාපොරොත්තු වුණේ නැත්නම් දුකත් නැතිද? අපි ජීවිතේ එක් එක් අවධිවල එක එක විදියට බලාපොරොත්තු ඇති කර ගන්නවා. තරුණ කාලේ අපි හොඳ සම්බන්ධතා බලාපොරොත්තු වෙනවා. විවාහය තුළත්, රැකියාව තුළත් අපි නොයෙක් දේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් අපි අපිත් එක්ක ජීවත් වෙන පුද්ගලයින්ගෙන් ආදරය, සැලකිල්ල, ආරක්ෂාව අපි ගැන සොයා බලයි කියන හැඟීම නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා. ආදරය සහ අයත්වීම යන හැඟීම මිනිස්සු අවිඥානිකව බලාපොරොත්තු වෙන දෙයක්.නමුත් ඇත්තටම අපිට මේ දේවල් අපි හිතන විදිහටම ලැබෙනවාද? අපි මේ දේවල් ලැබුණොත් සතුටුයි කියලා මානසිකව හිතාගෙන ඉන්නවා. නොලැබුණාම දුක් වෙනවා.

 

අනිත් අයව අපේ සතුටට පාදක කරගෙන ඒ අය මත අපේ සතුට තීරණය කිරීම අපි හිතනවාට වඩා භයානක තත්ත්වයක්. ඒක අපේ ජීවිතයේ පාලනය වෙන කෙනෙකුට දෙනවා වගේ දෙයක්.”අපේ ආදරය කවදාවත් වෙනස් නොවෙයි.” “අපේ දරුවෝ හොඳට ඉගෙන ගෙන අපිව බලයි”. “මගේ සහෝදරයෝ , දෙමවුපියෝ මට හොඳට සලකයි”.වගේ ලැයිස්තුවක් අපි හදාගෙන ඉන්නවා. ඊටපස්සේ අපි නොකියා කියන්නේ “මාව සතුටින් තියන්න, ඔයා වෙනස් වෙන්න එපා”.”අපිව සතුටින් තියන්න ඔයාල හොඳට ඉගෙනගෙන අපිට සලකන්න”. මගේ සතුට වෙනුවෙන් ඔයාලා මේ දේවල් කරන්න " කියන එක නේද? අපි අපේ සතුට අනිත් අයගෙන් අයදිමින් සිටිනවා.”මට සතුටින් ජීවත් වෙන්න යමක් දෙන්න.නොදුන්නොත් මට දුක හිතෙනවා.”

 

අපි අනෙක් අතට හිතමු අපි මේ අයදින්නේ කාගෙන්ද? අපි අපේ කියලා හිතන අය වුණත් හරිම වෙනස් පුද්ගලයෝ නේද? ඔබේ පෙම්වතා, සහකරු, දරුවෝ, වෙනස්ම පුද්ගලයෝ. මිනිසුන්ගේ හැසිරීමට හා සංවර්ධනයට ප්‍රධාන සාධක දෙකක් බලපානවා. එකක් තමයි ජානමය සාධක අනෙක පාරිසරික සාධක, පුද්ගලයෙක් වැඩිලා තියෙන්නේ මොනවගේ පරිසරයකද? ආරක්ෂිත ආදරයෙන් පිරුණු පරිසරයක හැදුණු කෙනෙක් ඒ ආදරය ආරක්ෂාව අනෙක් අයට ලබා දෙනවා. විශේෂයෙන් බිඳුණු පවුල්වලින් එන අයගේ හැසිරීම් වෙනස්. වේදනාවෙන් පිරුණු ළමාවියක් හිමි අයගේ යටි හිතේ ඒ මතක, වේදනාවන් තැන්පත් වෙලා තියනවා. මේ අයගේ හැසිරීම් සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. අපි හැම කෙනාගෙන්ම එකවගේ ආදරයක්, සැලකීමක් බලාපොරොත්තු වෙන එක කොතරම් දුරට සාධාරණද? එයාල ළඟ නැති දේවල් අපි ඉල්ලා දුක් වෙනවා කියන්නේ තේරුමක් නැති දෙයක්.

 

අනිත් කාරණාව තමයි සමහර පුද්ගලයෝ අපිට මේ දේවල් දෙනවා වගේ පෙන්වනවා. එතකොට අපිට සතුටුයි. නමුත් කාලෙකින් වෙනස් වෙනවා. තේරුම් ගන්න ඕ‍ෙන අනෙක් කාරණය මේ ලෝකේ වෙනස් නොවන එකම දෙය වෙනසවීම. ඒක නියතයක්. කිසිම දෙයක් එකම විදිහට හැමදාම තියෙන්නේ නැහැ. අපි අපේ සතුට වෙනුවෙන් අනිත් අයට වෙනස් වෙන්න කියලා ආයාචනා කළත් ඒ අය වෙනස් වෙන්නේ ඒ අයට ඕ‍ෙන විදිහයට ඒ අයට ඕන වෙලාවට.සමහර විට වෙනස් වෙන්නේම නැහැ.අපි අනිත් අයට ඕන විධියට වෙනස් වෙනවද? . ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති ලේසිම දේ අපේ සතුට අනිත් අයගෙන් බලාපොරොත්තු නොවී අපිම හොයාගන්න එක කියලා. සතුට කියන්නේ අපේ තෝරාගැනීමක් (CHOICE) . කිසි කෙනෙක්ට තව කෙනෙක්ගේ චිත්තවේගවලට බලපෑම් කරන්න බැහැ අපි ඒක තෝරාගත්තේ නැත්නම්. උදාහරණයකින් කිව්වොත් අපි රැකියාව කරන තැන ප්‍රධානියා අපිට බණිනවා කියලා හිතමු.මෙතැන අපිට තෝරා ගැනීම් දෙකක් තියනවා "අද නම් බොස් අවුලක වගේ ඉන්නේ ඒකනෙ මාව දැක්ක ගමන් බැණ්නේ" කියලා ඒ ගැන නොසලකා හරින්න පුළුවන් (ඇත්තටම ඔයාගේ අතේ වැරැද්දක් නැත්නම්). එහෙම නැත්නම් " මම මේ ආයතනයට කොච්චර කැපවීමෙන් අවංකව වැඩ කරනවාද? මේ වගේ දෙයක් කිව්වම මම දරා ගන්නේ කොහොමද?" වගේ දේවල් හිතමින් දවසම දුකින් පීඩාවෙන් ඉන්න පුළුවන්. තෝරා ගැනීම තියෙන්නේ අපේ අතේ. මේ තෝරා ගැනීමට හේතුව තීරණය වෙන්නේ අපි හිතන විදිහ මත. ඒ කියන්නේ අපේ Thinking Pattern එක. අපි හිතෙන විධිය වෙනස් කළොත් අපිට සතුටින් ඉන්න පුළුවන්.

 

අපේ ජීවිතේ සිදුවන එක එක සිදුවීම්, ප්‍රශ්න, ගැටලුකාරී තත්ත්වයන් යථා ස්වරූපයෙන් දැකීමත් එක පිළියමක්. අපිට ගොඩක් දේවල් පිළිගන්න අමාරුයි. " ඇයි මට මෙහෙම වුණේ, මේක හරිම අසාධාරණයි.මට හිතාගන්නවත් බැහැ"වගේ දේවල් හිතෙනවා. නමුත් අපිට අපේ ජීවිතේ සියයට සීයක් අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. අපිට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කම තියෙන්න ඕ‍ෙන. ඇති දේ ඇති සැටියෙන් දකින්න අපි උත්සාහ කරන්න ඕ‍ෙන.

 

ලද දෙයින් සතුටුවීම ඉතාම වැදගත්. ඒ කියන්නේ ජීවිතේ ඉලක්ක, අරමුණු තියෙන්න ඕ‍ෙන නැහැ කියන එක නෙවෙයි.අරමුණක් නැතිව මිනිසුන්ට ජීවත් වෙන්න බැහැ. නමුත් ඒවා යථාර්ථවාදී විය යුතුයි. තමුන්ට දරා ගන්න බැරි බරක් පටවගෙන ජීවිතේ සතුට සැනසීම නැති කර ගැනීම තේරුමක් නැහැ. ඒ වගේම මේ මොහොතේ සතිමත් බවකින් ජීවත් වෙන එක හරිම වැදගත්.මොකද අතීතය අපිට නැවත හදන්න බැහැ. අනාගතය කුමක් වේවිද අපි දන්නේ නැහැ. ඒ දේවල් හිතමින් මේ මොහොත නැති කර ගැනීම අපේ මානසික ශක්තිය වැය වීමක් පමණයි. ජීවිතයේ අසීරු අවස්ථාවන්ට මුහුණ දෙන්න ඒ මානසික ශක්තිය ඉතුරු කර ගනිමු. මෙතැනදී අපිට හැම තිස්සෙම ඉතාමත් සතුටින් ඉන්න පුළුවන් කියන එක අදහස් වෙන්නේ නැහැ.අපි හැමෝගේම මනෝභාවයන්, සිතුවිලි රටාවන් ඉතා ඉක්මනින් වෙනස් වෙනසුලුයි. මිනිසුන් පෘථග්ජනයි.නමුත් අපි යථාවබෝධයෙන් ඉන්නවානම් යම් ගැටලුවක් ජීවිතේට ඇති වුණාම ලොකු කාලයක් වේදනාවෙන් ඉන්නේ නැතිව කෙටි කාලයකින් අපිට අපිවම සුවපත් කරගන්න පුළුවන්.

 

අපිට සතුටින් ඉන්න විශාල ගෙයක්, යාන වාහන, තනතුරු , උසස්වීම් වගේ දේවල් ඕනෙමද? සතුටින් ඉන්නේ මේ හැමදේම තියෙන ම්නිස්සුද? ගොඩක් වෙලාවට හිතේ සතුටින් ඉන්නෙ සරල මිනිස්සු. භෞතික දේවල් තිබුණත් නැතත් සතුටින් ඉන්න පුළුවන්. අනිත් අයට පේන්න ජීවත්වෙන්න උත්සාහ කිරීමෙන්,නැති දේවල් මවා පාන්න උත්සාහ කිරීමෙන් සිදු වෙන්නේ මානසිකව වෙහෙසට පත්වීම. අනික ඒවායින් රැවටෙන්නේ අපිමයි. ලෝකෙට පේන්න ජීවත් වෙනවට වඩා තමන් ඇත්තටම තෘප්තිමත්වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පුංචි දේවල්වලින් සතුටු වෙන හැටි ඉගෙන ගන්න එකත් කලාවක්.පිපෙන මලක් දිහා බලලා, ගලාගෙන යන ඇළ දොළ, ගහ කොළ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් එක වෙනම කලාවක්.

 

ඉතින් සතුට කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක්. අපිට ඇත්තටම සතුට දැනෙන්නේ මොන වගේ දේවලින්ද කියලා අපි දැනුම්වත් වීම හරිම වැදගත්. එතකොට අපිට පුළුවන් අපිව අසතුටු කරන තැන්වලින්, දේවලින් ඉවත් වෙන්න. ඒ වගේම සතුටු වෙන දේවල් අපේ ජීවිතයට එකතු කර ගෙන ආතති තත්ත්වයන්ගෙන් මිදිලා හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගන්න. මේ සතුටු හෝමෝන ශ්‍රාවය වීම මගින් අපේ ශරීරික සෞඛ්‍ය ඉතාමත් නීරෝගි වෙනවා. අපි හිතන විදිය ටිකක් වෙනස් කරලා අපේ සතුට අපිම සොයා ගමු නේද? සතුට යදින කෙනෙක් නොවී සතුට බෙදන කෙනෙක් වෙන්න උත්සාහ කරමු. මොකද මානසික නිදහස,මානසික සතුට තරම් වටින දෙයක් මේ මිහිපිට නැති නිසා.