සියලු ව්‍යාපාරවල දියුණුව ළඟා කරන මහා බලගතු මාතාංගේශ්වරී යන්ත්‍රය

ජනවාරි 6, 2025

 

යමකාල ගුරුකම් යනු ප්‍රබල වූ යන්ත්‍ර මන්ත්‍ර සඳහා යොදා ගන්නා ක්‍රමවේදයකි. එහිදී මෙම ගුරුකම නිවැරැදිව සිදු නොකළහොත් සිදුවන හානියද ප්‍රබලය. එසේම එය නිවැරැදිව කළහොත් ලැබෙන ප්‍රතිඵලයද අතිසාර්ථක වෙයි.

දියුණුව, වාසනාව, සෞභාග්‍ය යන සියල්ල එකට බැඳි දම්වැලක පුරුක් සේ සබැඳෙයි. මේ සියලු දේ අපගේ ජීවිතයට ළඟා කරගන්නට භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් බොහෝ වත්පිළිවෙත් හා පූජා පැවැත්වීම අනාදිමත් කාලයක සිට පැවත එන්නකි.

අපේ රටේ විවිධ වූ ප්‍රදේශ අනුව විවිධ දේව ඇදහිලි හා පිළිවෙත් ද මේ අතර පවතී. සබරගමුව අධිපති වූ සමන් දෙවියන්, රුහුණට හා දකුණට අධිපති වූ කතරගම දෙවියන් හා සීනිගම දෙවියන්, උතුරට අධිපති වූ ගණදෙවියන් ආදී ලෙසින් විවිධ වූ දේව ඇදහිලි ආරම්භ වී ඇත්තේ කිසියම් වූ ඓතිහාසික හා පාර්සරික පසුබිමක් කේන්ද්‍ර කර ගනිමිනි. මෙලෙසින් විවිධ වූ ප්‍රදේශයන්ට හා පළාත් අනුව අදහන දෙවියන් අතර දකුණු පළාතේ ගාල්ල, මාතර වැනි ප්‍රදේශවල වඩාත් ප්‍රචලිත වූ දේව ඇදහිල්ලක් වන්නේ මාතාංගේශ්වරී දෙවියන්ය. දියුණුව හා සෞභාග්‍ය උදාකර ගැනීම උදෙසා මහත් ආශීර්වාදයක් හිමිවන මේ දෙවියන් පුද පූජා කිරීම පිළිබඳ බොහෝ ඉපැරණි ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. එම ග්‍රන්ථයන්හි සඳහන් ආකාරයට බොහෝ ව්‍යාපාර දියුණුව හා කඩාවැටුණු ව්‍යාපාර නැවත සාර්ථක කර ගැනීම උදෙසා මෙම දෙවියන් පිදීමට බොහෝ මන්ත්‍රාචාර්යවරුන්ද උපදෙස් ලබා දෙයි.

මෙම යන්ත්‍රය ව්‍යාපාරය දියුණුවට පමණක් නොව නිවැසියන්ගේ ආරක්ෂාවට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා විභාග කාලවලදී පලඳින්නට සුදුසු බවද බොහෝ ජ්‍යොතිෂවේදීන් උපදෙස් දෙයි. ඉපැරණි ඍෂිවර ග්‍රන්ථයන්හි සඳහන් අන්දමට මාතාංගේශ්වරී දෙවියන් යනු ඉන්දියානු සම්භවයක් ඇති දෙවි කෙනෙකු ලෙස සලකයි. යම කාල දේවතාවුන්ගේ බිරිය ලෙස සලකන මෙම දේවතාවුන් පිළිබඳ විවිධ වූ පුරාවෘත්තයන් ද ජනප්‍රවාදයේ පවතී.

යමකාල ගුරුකම් යනු ප්‍රබල වූ යන්ත්‍ර මන්ත්‍ර සඳහා යොදාගන්නා ක්‍රමවේදයකි. එහිදී මෙම ගුරුකම නිවැරැදිව සිදු නොකළහොත් සිදුවන හානියද ප්‍රබලය. එසේම එය නිවැරැදිව කළහොත් ලැබෙන ප්‍රතිඵලයද අතිසාර්ථක වෙයි. ගොවි කටයුතු, ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු සඳහා බොහෝවිට මෙම යමකාල ගුරුකම් යොදා ගනියි. මෙලෙස ගුරුකම් සඳහා යමකාල දෙවියන්ගේ බිරිය වන මාතාංගේශ්වරී දෙවියන්ගේද ස්වරූප දෙකක් පවතී.

1. යමකාල මාතාංගේශ්වරී
2. රාජා මාතාංගේශ්වරී

යමකාල මාතංගේශ්වරී දෙවියන්ගේ ස්වරූපය තනි නිල් පාටය. ඒ අවස්ථාවේ ඇය ගමන් කරන්නේ යම පිම්මෙන් බව සඳහන් වෙයි. යමකාල මාතාංගේශ්වරී තරමක් දරුණු ස්වරූපයක් ගනියි. කාලි මෑණියන්ගේ ස්වරූපයට සමාන මේ දෙවියන්ගේ නමින් යන්ත්‍ර මන්ත්‍ර සිදු කරන්නේ නම් එය නරක පැත්ත පමණකි. මාතාංගේශ්වරී, රාජ මාතාංගේශ්වරී වන විට ඇයගේ ස්වරූපය සුදු පැහැ වී එක් අතක පැන් කෙණ්ඩියක් හා අනෙක් අතේ නෙළුම් මලක් ගෙන ඉතා ශාන්ත ස්වරූපයක් ගනියි. මෙම රාජා මාතාංගේශ්වරයෙහි නමින් යන්ත්‍ර මන්ත්‍ර කළ විට ඉතාම යහපත් ශාන්තියක් හා දියුණුවක් ළඟා කරයි.
මෙම යන්ත්‍රය පැලඳීම ඉතාම බුද්ධිමත්ව මහත් බැතියෙන් යුතුව කළ යුතු කටයුත්තකි. එයින් ඔබගේ පවුලේ සැමට සෙත ශාන්ති උදාකරන අතර නඩු හබවලින් පවා ජය ගැනීමට අවස්ථාව උදා වෙයි. මෙලෙස මෙම යන්ත්‍රය පැලඳීම මෙන්ම මහා බලගතු මාතෘගේශ්වරී අඳුනක් ද සාදා ගැනීමට ඔබට හැකියාව තිබේ.

 

උපදෙස් ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි අංක විද්‍යා විශාරද
සුජීවා කරුණාරත්න