වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
බංග්ලාදේශ බැඩ්මින්ටන් පිටිය දෙවනත් කළ අපේ හපනුන්ගේ දස්කම්
ගෙවී ගිය වසර ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ වසන්තය ළඟා කළ තරග ඉසව් බොහෝය. බැඩ්මින්ටන් ක්‍රීඩාව ද එවැන්නකි. ක්‍රිකට්, නෙට්බෝල්, වොලිබෝල් ක්‍රීඩාවට වැඩි ප්‍රමුඛතාවක් ලබා දුන් කාලය අවසන් වෙමින් තිබේ. ඒ ගැන අපට බොහෝ සටහන් තබන්නට හැකිවූයේ ජාත්‍යන්තරව ලැබූ ජයග්‍රහණ රැසක් සමඟිනි.
පසුගිය වසර අවසානයේ අපට එවැනිම ජයග්‍රහණයක් ගැන අසන්නට ලැබීම අපමණ සතුටකි. ඒ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණ ද්විත්වයකි. 2024 වසරේ දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවති බංග්ලාදේශ ජාත්‍යන්තර අභියෝගතා ශුරතාවලියේදී අපගේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් තිදෙනෙකු ලැබූ ජයග්‍රහණය සුවිශේෂී වෙයි. රටවල් 24ක් පමණ සහභාගි වූ මෙම තරග මාලාවේදී විරේන් නෙත්තසිංහ ක්‍රීඩකයා පිරිමි කේවල තරගාවලියේදී රන් පදක්කම ද, සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක දෙදෙනා එක්ව තරග කළ යුවළ අවසාන පූර්ව තරගයේදී ලෝකඩ පදක්කම ද දිනාගත්තේ තියුණු තරග සටනක් ජයගනිමිනි.
මේ ජයග්රහණයෙන් පසුව දිවයිනට පා තැබූ මෙම තරගකරුවන් සමඟ පුංචි පිළිසඳරක යෙදෙන්නට අපට හැකිවූයේ ඔවුන්ගේ ජයග්‍රහණ ගැන මතක ආවර්ජනයක යෙදෙමිනි. මුලින්ම අප මුණගැසුණේ සිතුමි ද සිල්වා ක්‍රීඩිකාව සහ ඉසුරී අත්තනායක යන ක්‍රීඩිකාවන් දෙදෙනායි. තම ජයග්‍රහණය ගැන සිතුමි ද සිල්වා සඳහන් කළේ මෙලෙසිනි.
“ඇත්තටම මේ තරග මාලාවේදී අපට හොඳ අත්දැකීමක් ලැබීමට හැකි වුණා. ඒ වගේම අපේ රට වෙනුවෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම හරිම සතුටුයි. අප දෙදෙනාම ඉදිරිපත් වුණේ යුගල තරග සඳහා. එහිදී වයස් කාණ්ඩ අනුව ශ්‍රේණිගත කිරීම අනුව පැවති තරගයේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකිවීමත් ඉතාම වැදගත්. අපි දෙදෙනාම මේ තරගයට ඉදිරිපත් වුණේ හොඳ පුහුණුවීමකින් පසුවයි. ඒ කියන්නේ අපි දෙදෙනාම එකට පුහුණුවීම් කරන්නේ අවුරුදු හතේ පටන්.
ඒ කියන්නේ දැන් අපි එකට ක්‍රීඩා කරන්න ආරම්භ කරලා අවුරුදු 8ක් වෙනවා. මම ඉගෙනුම ලබන්නේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 11 ශ්‍රේණියේ මගේ අනෙක් තරගකාරිය වන ඉසුරි ඉගෙනුම ලබන්නේ වික්ටරි දේවමාතා මහා විද්‍යාලයේ. ඇය 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
මම මේ තරග ජයග්‍රහණයට පෙර තවත් තරග කිහිපයකට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට සහභාගී වුණා. ඊට අමතරව 2023 / 2024 වසර දෙකේදීම 15න් පහළ සහ 17න් පහළ වයස් කාණ්ඩ දෙකෙන්ම ජාතික ශූරතාවලිය දිනා ගැනීමටත් හැකි වුණා. මම සහභාගි වුණු තවත් තරගයක් තමයි ආසියානු කනිෂ්ඨ තරගාවලිය. මේ තරග සියල්ලටම අමතරව මට විවෘත තරග රැසකින්ම ජයග්‍රහණය හිමිවුණා. අපේ රටේ ශ්‍රේණිගත කිරීම අනුව විවෘත අංශයේ 2 වැනි ස්ථානය දිනා ගැනීමටත් හැකි වී තිබෙනවා.
මේ සියලු ජයග්රහණයන්ගේ කොටසක් මා සමඟ තරග කරන ඉසුරිටත් අයිති වෙන්න ඕනේ. අපි දෙන්නාගේ තිබෙන සහයෝගය නිසා තමයි මේ තරම් දුර ගමනක් එන්න අවස්ථාව අපට ලැබුණේ. ඒවගේම අපේ පාසල් පුහුණුකරු ලෙස කටයුතු කරන යුක්ති පෙරේරා සර් අපට ලොකු ශක්තියක්. ඒ වගේම ඔහු ලබාදෙන උපදෙස් අපට හරිම වටිනවා. මෙහිදී විෙශ්ෂයෙන්ම මගේ මවුපියන් දිල්ෂාන් ද සිල්වා, ඉෂාරි ඇන්තනී දෙදෙනා තමයි මට ශක්තියක් වුණේ. අපි දෙන්නාගේ ලොකුම සිහිනය තමයි ඔලිම්පික් ජයග්‍රහණය. ඒ වෙනුවෙන් අපි සම්පූර්ණයෙන්ම කැපවෙනවා. අපි දෙන්නට ඒ සිහිනය සැබෑ කර ගන්න අසීරු වෙන එකක් නැහැ.
මේ තරගාවලියේ සුවිශේෂී ජයග්‍රහණය සටහන් කළේ විරේන් නෙන්තසිංහගේ රන් පදක්කමයි. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ක්‍රීඩකයකු ලැබූ පළමු රන් පදක්කම ලෙසින් ද සටහන් වන ඓතිහාසික ජයග්‍රහණයකි. අවුරුදු 22ක් වන මේ තරුණ ක්‍රීඩකයා අපේ බැඩ්මින්ටන් පිටියේ ඊළඟ අපේක්ෂාවයි. අපගේ ඊළඟ ඔලිම්පික් බලාපොරොත්තුව වූ ඔහු තම ජයග්‍රහණය ගැන සඳහන් කළේ මෙලෙසිනි.
“මට මේ ජයග්‍රහණය ලබාගන්න විශාල අභියෝගයක් වුණා. නමුත් ඔලිම්පික් තරගාවලියේදී මම ලැබූ අත්දැකීම් නිසා මේ තරගය ජයග්‍රහණය කරන්න පහසු වුණා. ඒ වගේම මම කොළඹ ශාන්ත පීතර විද්යාලෙය්දී ලැබූ පුහුණුව හරිම වටිනවා. මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන යුක්ති පෙරේරා සර් විෙශ්ෂයෙන්ම සිහිපත් කළ යුතුමයි. මේ වනවිට මම ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව 70 වැනි ස්ථානයේ සිටින්නේ. මගේ ඉදිරි බලාපොරොත්තුව ඔලිම්පික් තරගයේදී රන් පදක්කමක් රැගෙන ඒම තමයි. ඒ වෙනුවෙන් මම සහභාගි වුණු මේ තරගයත් ලොකු ශක්තියක් වුණා.”
මේ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා ලැබූ ජයග්‍රහණය අපේ රටේ ක්‍රිකට් අනාගතය ගැන සුබ නිමිති පල කරයි. ඔවුන් ලැබූ ජයග්‍රහණ හමුවේ ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ රැසක් ගැන අපට අපේක්ෂා තැබිය හැකිවෙයි. එසේම බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමුවන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද එය ආදර්ශයකි.