වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
කන්තෝරු නෝනා
පස්වන දින සටහන..
2016 පෙබරවාරි 17 බදාදා
උදේ පාන්දර නැඟිටල උයල ළමයිනුත් ලෑස්ති කරෝල ඇඳ පැලඳගෙන ඔෆීස් දුවනව කියන්නෙ ලේසි පාසු සුමයක් නෙමෙයි. අපේ තිස්ස ඔය පොල් ටිකක් ගාලා ළමයින්ගෙ කිරි හදල දුන්නට විතරක් ඇතිද ? ඉතුරු ඔක්කෝම මං ම එපෑ කරන්ඩ.
දවල් බතට බෝංචියි, අලයි, කැරටුයි, කරෝල කෑලි දෙක තුනකුයි එකට දාලා එක වෑංජනයක් ඉව්වා. වෙලාවත් ඉතුරුයි. ගෑසුත් ඉතුරුයි. නම්බුවත් ඉතුරුයි. ටීචර්ගෙන් බේරෙන්ඩ කොහොමත් ළමයින්ට නම් ඇට තම්බන්ඩම එපෑ. බත් මුල් බඳිනකොට ජාති හතර වෙන්කරලා බැන්දා. දැන් ඉතින් තිස්සට විතරක් නෙමේ මටත් වෑංජන හතරක්ම තියෙන බත් මුලක් කට්ටියට පේන්ඩ උජාරුවෙන් දිගැරියෑකිනෙ.
" මොනවද සාමා අද බත්තෙකේ තිබුණ වෑංජන හතරම එකම රහනෙ. දවල් කද්දි සරත් අහනව සාම මොකෙන් මැනලද ලුණු, ඇඹුල්, මිරිස්, තුනපහ හැම වෑංජනේකටම එකම ගාණට දාන්නෙ කියලා. ලජ්ජාවෙ බෑ."
රෑට කාල බීල මං කුස්සියෙ වළං හෝද හෝද ඉද්දි තිස්ස බර බරේ පටන්ගත්තා.
" සරත්ට කියන්ඩකො එයාගෙ නෝන මහත්තයත් එක්කම දවසක අපේ දිහෑ එන්ඩ කියල මං පහේ මනින හැන්ද පෙන්නන්ඩ. ඇයි අනේ, කිරට, මිරිසට, තෙලට, මැල්ලුමට වෙන වෙනම උයන්ඩ මාත් නොදන්නව නෙමේ. මං බඩු ලිස්ට් එක ලියල දෙන්නම්කො ඔයා හෙට එද්දි ගෙනත් දෙන්ඩ. ඔයා කැමති බුරියානිද ? රයිස් ඇන්ඩ් කරිද? කැමති විදිහකට උයන්ඩ මටත් බැරිකමක් නෑ. තව ඕනෙනම්, මොනවද අර… ලම්ප්රයිස්, මොන්ගෝලියන් රයිස්, සයිබීරියන් රයිස්, ඉතියෝපියානු රයිස්… ඔය මොන රයිස් එකක් වුණත් උයන්ඩ මං ඔට්ටුයි. හැබැයි බඩුත්තෙක්ක වැඩිපුර ගෑස් සිලින්ඩරේකුත් ගේන්ඩ වෙයි මහත්තයො මතක ඇතුව. "
" නෑ…. නෑ… මං මේ නිකමට කිව්වෙ සරත් කිව්ව හින්දා. "
කොයි පිරිමියද ඉතින් ගෑනුත් එක්ක කට ගහල දිනුවෙ. රජෙක් වුණත් මාළිගාවෙදි බිසවට යටයි නෙ.
2016 පෙබරවාරි 19 සිකුරාදා
" ඔයා හැමදාම අලයි බෝංචියි කැරටුයි කරෝලයිම හදන්නෙ ඇයි සාමා ? එපා වෙන්නැද්ද ඕව කාලා "
ඊයේ දවල්ට කද්දි ඛේමා මගෙ බත් එකට එබිල ඇහුව හැටි මතක් වෙද්දි තාමත් මගෙ ඇඟේ මාළු නටනවා. ඇයි අනේ මට රෑට කාපු එක පහුවදා උදේට මතක නෑ. ඒකටත් එක්ක මේකිට මුළු සතියෙම මගෙ බත් මුලේ තිබිච්ච ලූනු බිකේ සයිස් එක හිටන් කට පාඩම්.
බාල්දු වෙනව කියලා ඔයහැටිම බාල්දු වුණෑකිද කියල ඊයෙ වැඩ ඇරිල එන ගමන් හන්දියෙ මාළු සුමනෙගෙන් හුරුල්ලො පන්සීයක් අරන් ආවා. මාළු ටික මිරිසට හොදි ඉව්වෙ රෑටත් කාල අද බත් මුල් බැඳල ඉතුරු හොදිත් එක්ක රෑට පාන් කන්ඩ හරි පුළුවන් නෙ කියල හිතාගෙනමයි.
බලන් ගියාම මාළු කෑමත් නරකම නෑ. වේල් තුන හතරක්ම ගොඩ. ඊටත් නම්බුව! මාළු කනව කිව්වම ආයි මොකද කරෝල කනව වාගෙයෑ. සුද්ද කෙරිල්ලයි ළමයින්ට කටු ඇර ඇර කෑලි තෝරල දෙනේකයි තමයි අමාරුවක් කියල තියෙනව නම්. ලාභෙ අතින් ගත්තත් සාලයො හරි හුරුල්ලො හරි හොද්දක් හදලා කනේක කරෝලයි බිත්තරයි කනවට වඩා වාසියි.
දෙකට කපපු මාළු කූරි බාගෙකුත් එක්ක හොදි පුරෝපු ජෑම් බෝතලේ හැමෝටම පේන්ඩ බත් මුලට උඩින් තියාගෙනයි දවල් කෑමට ගියේ. අපිත් ලකේට කනවා කියල ඉඳල හිටල හරි මේකෙ එකාලට පෙන්නන්ඩ එපායෑ. ඒත් වැඩක් වුණේ නෑ. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියල ඔෆිස් එකේ ඩේලි නිව්ස් රිපෝටර්ස්ල දෙන්නම නිවාඩු. ඛේමයි සිරිලයි නිවාඩු මදිවට කොමෙන්ටුවක්වත් දාන්ඩ හිටපු මාලනිත් ට්‍රේනිං එහෙකට ගිහින් අපරාදෙ… ඊයේ රෑ පිලී ගඳ නාගෙන මාළු සුද්ද කෙරුවටත් පාඩුයි. මීට පස්සෙ හොඳ හොඳ ඒව උයන්ඩ කලින් කවුද නිවාඩු, කවුද වැඩට එන්නෙ කියලත් හොයල බලන්ඩ ඕනෑ.
දෙයියො බලල වාගෙ මං කකා ඉද්දි සිරිතුංගය ආව.
" අද සාමා මිස්ගෙ යාළුවො ටික නෑ නේද?"
" ඒකනෙ සිරිතුංග බලන්ඩකො අද කට්ටියම නෑනෙ. මං මේ එයාලටත් එක්ක මාළුත් උයාගෙන ආව. ආ මෙන්න සිරිතුංගවත් මාළු කෑල්ලක් කාල රහද කියන්ඩකො එහෙනං. "
කට්ටියටත් එක්ක උයන් ආව කිව්වට බත් එකේ තිබුණෙම එකෝමෙක මාළු කෑල්ලයි. යාන්තම් කොණිති ගහපු මාළු කෑල්ලෙ බත් ටික පිහිදාලයි මං සිරිතුංගයගෙ බත් එකට දැම්මෙ. මාළු කෑල්ල දැම්මටත් පස්සෙයි මතක් උනේ සිරිතුංගය කන බොන ජාතිවල අඩුපාඩු හොඳ නරක කටට උත්තර දීල ඇහුවත් තව කෙනෙක් එක්ක කියන එකෙක් නෙමෙයි කියලා.
මට දුක ඒකටම නෙමේ. පිළී ගඳ නාගෙන අමාරුවෙන් සුද්ද කරල ඉව්ව මාළු කෑල්ලක රහවත් මට හරියකට බලන්ඩ බැරි වුණ එකටයි. අද බත් මුල්වලට තියන්නඩයි රෑට ළමයින්ට දෙන්ඩයි ඉතුරු කළා මිසක ඊයෙ රෑට තිස්සයි මායි කෑවෙ මාළු හොදි විතරයි නෙ.
2016 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා
උදේ උයද්දි ගෑස් ඉවර වුණා. තිස්සට කොච්චර කෑගැහුවත් වැඩක් නෑ හදිස්සියකට ගන්ඩ දර ටිකක් පලල තියන්ඩ කියලා. නිවාඩු දවසට පත්තරේ මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි කියෝල තව මදි පාඩුවට මැචුත් බලනෙක නෙ එයාගෙ රාජකාරිය. අඩුගානෙ ළමයින්ගෙ හෝම් වර්ක් ටිකවත් කරෝනව නම් එකක්. කොහෙද ඉතින් ඒ වැඩ ඔක්කෝම මගෙ නමටනෙ ලියාපදිංචි වෙලා තියෙන්නෙ. මෙව්ව ඉතින් වෙන කාගෙවත් නෙමේ මගෙම වැරදි තමා.
" අදට ඔන්නොහෙ කඩෙන් කමු සාමා. ළමයින්ටත් මහ ගෙදරින් කෑම දෙනේකේ අපි දෙන්න එක වේලක් කඩෙන් කෑවම මක් වෙනවද ? "
ඔන්න ඔහොමයි තිස්සගෙ උත්තරේ. එයාට නං තියෙන්නෙ කියන්ඩ විතරයි නෙ. ජොයින්ට් එකවුන්ට් එකට වැටෙන දෙන්නගෙම පඩිය ගන්නෙ මං තමා. ඒත් ලුණු කැටේ ඉඳල ගෙදෙට්ට ඕනෙ ඔක්කෝම ගේන්නෙත් මං නෙ. තිස්ස හිතන් ඉන්නෙ ඒ සොච්චමෙන් තුන් වේල බුරියානි කාල තව ඕනේ නම් කාට කාට හරි පිනට බෙදන්ඩත් පුළුවන් කියලයි. ගෙදෙට්ට බඩු ගේන වැඩේ තිස්සට බාර දුන්න නම් තේරෙයි ණය කැපිල ඉතුරු වෙන පඩියෙන් මාසෙ කාල ඉන්න රඟේ. හැබැයි ඉතින් එයා බඩු ගෙනාවොත් නම් දෙන්නගෙ පඩියෙන් මාසෙන් බාගයක් කාල ඉන්නවත් බොරු.
අමාරුවෙන් පොල් කොළයි, හනසුයි, දර කෝටු දෙක තුනකුයි අවුලවල වෑංජනයක් උයල බත් මුල් දෙක බැඳගත්ත. ළමයින්ගෙ පෙට්ටිවලට පානුයි ජෑමුයි දැම්මා. සතියකට දවසක් කැමති දෙයක් ඉස්කෝලෙ ගෙනියන්ඩ පුළුවන් වෙච්චි එක හොඳට ගියා. නැත්තම් ඉතින් දර ළිපේ තව ඇටත් තැම්බුවෑකියැ.
නැහිල නැහිල ගෙදර සුමේ කරල ඉක්මනින් දුවන් ගිහිනුත් හයාමාරෙ බස් එක මගෑරුණා. ඔෆිස් යද්දි පැය බාගයක් පරක්කුයි. ලොක්ක රතු ඉරත් ගහලා. වෙනදට මේකෙ සමහර උඩැක්කියො පැයේ හමාරෙ පරක්කු වෙලා එද්දි ඉරි ගහන්නැති ලොක්ක අපි පොඩ්ඩක් පරක්කු වුණාම තමා අකුරට රාජකාරිය කරන්නෙ. ඔෆීස් එකේ කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකල් ඉඳල එයත් එක්ක තොඳොල් වෙන්ඩ ගියා නම් ඉරි ගැහැලි නැතුව විතරක් නෙමේ ගෙදර ඉඳල වුණත් පොත අත්සන් කරන්ඩ තිබ්බා.