වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
මැඩම් එළිසබෙත්
පළමු කොටස
එඩ්වඩ් මල්ලවආරච්චි ලියනකෙටි නවකතාව
එඩ්වඩ් මල්ලවආරච්චි කියන්නෙ තරුණී පාඨකයන්ට නුහුරු නුපුරුදු නමක් නම් නොවේ. වසර ගණනාවක් පුරා අපූරු නවකතා බොහොමයක් තරුණීට රචනා කළ ඔහු මෙරට සාහිත්‍ය කලාවේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත්තෙකි. ඔහු විසින් ලියූ ප්‍රාර්ථනා, සුබා, සුබ ප්‍රාර්ථනා, චාතුර්යා, ආරතී ආදී වශයෙන් වූ සියයකට අධික නවකතා අතරින් විසි පහකට වැඩි ප්‍රමාණයක් ටෙලිනාට්‍ය බවට පත් විය. ඒ අතරින් හිමි අහිමි, සෙනුරි, මැනලද පුතේ, ආදරණීය චංචලා, චාතුර්යා වැනි ටෙලිනාට්‍ය සඳහා ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි විය. එමෙන්ම සුමිත්‍රා පීරිස් සිනමා කිවිඳිය අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලොකු දුව චිත්‍රපටය තිර රචනය කළේ ද එඩ්වඩ් මල්ලවආරච්චි විසිනි. නවකතා, ටෙලි පිටපත්, චිත්‍රපට තිර රචනා ආදියෙන් මෙරට සාහිත්‍ය කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ඔහූ තරුණී ශේෂ පත්‍ර වෙත ලියූ කෙටි නවකතාවකි මේ.
විශ්වවිද්‍යාලයට නොගොස් රැකියාවක් කිරීමට සිතුණේ මට වියදම් කිරීමට අප්පච්චිට මුදල් නැති බව දන්නා හෙයිනි. ඉකුත් වසරේ ඇදහැලුණු වැස්ස නිසා හටගත් නායයාමට අපට ද මුහුණදීමට සිදු වූ හැටි මතකය. අප දැන් සිටින්නේ කීනවලට නුදුරු කුලී ගෙදරකය. අම්මාගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ මම මේ සමාජයේ ඉහළ තැනකට යනු දැක්මය.
මා මෙන් නැතිබැරි ශිෂ්‍යාවන් නිවාඩු කාලයේ මොනයම් හෝ රැකියාවක් කරන බැව් මම දැන සිටියෙමි. අප අතර සිටින ඇතැම් අය හොඳට අඳින පලඳින, වාහනවල ගමන් කරන අය ද වෙති. ඔවුහු සම්බාහන ආයතනවල තෙරපිවරියන් ලෙස සේවය කර මුදල් උපයති. මේ සියල්ල අතැර ගමට යාමට සිතුණේ ජීවත් වීමේ ප්‍රශ්න නිසාය.
“සංජනා ඔයා ඉගෙනීම නතර කරලා ගමට යනවා කියන්නෙ ඇත්ත ද?”
“ඔව්. අතේ සතේ නැතිව ඉගෙන ගන්ට බෑ. මම යනවා.”
“උඹට විතර නෙමේ අපටත් ප්‍රශ්න තියෙනවා. ඔයාට ‘පාට්ටයිම්‘ කරන්න වැඩක් හොයා දෙන්න ද?”
“දිල්කි වාගෙ ස්පාවල වැඩ කරන්නට බෑ.”
“මම උඹට එහෙම කරනව ද. හොඳට ගෙවන තැනක් තියෙනවා. හැබැයි ලෙඩෙක් බලාගන්න.”
“ඇත්තම කියන්නම් මට ලෙඩ්ඩු බලන්ට බෑ.”
“ඒජන්සියක ඇඩ් එකක් තිබුණා ගිහින් බලමු.”
අප එහි යනවිට එම දැන්වීම සඳහා සාත්තු සේවිකාවන් රැසක් පැමිණ සිටිනු දුටුවෙමි.
යෝජිත වී තිබුෙණ් මහලු කාන්තාවක් බලා ගැනීමය. විවාහක දූ පුතුන්ට, මහලු මව කරදරයක් වී ඇති බව කතාබහෙන් තේරුම් ගතිමි.
“ගෙවන වැඩිහිටි නිවාසෙකට බාර දුන්නා. එතැන ඉන්න බෑ කියලා කෑගහලා ඇවිදින්.”
“මෙතැන ඉඳන් අපිට පව් පුරෝනවා.” පුතා විය හැකි තැනැත්තා තරහෙන් කීවේය.
රෝගී කාන්තාවගේ කාමරය පරීක්ෂා කර බැලූ සාත්තු සේවිකාවන් අකැමැත්ත ප්‍රකාශ කරන හැටි මම බලා සිටියෙමි.
“මේ ඉන්න අපි සාත්තු සේවිකාවෝ විදිහට පුහුණුව ලබපු අය.”
“මේ වගේ ලෙඩෙක් බාරගන්නට බෑ.”
“හේතුව මේකයි, එළිවෙනකම් කෑගහනවා. අපිට ළඟට එන්න දෙන්නෙත් නෑ.”
“දැන් මෙහෙම නපුරු වුණාට. ඉස්සර හතර පෝය සිල් ගත්ත උපාසිකාවක්” දුව සිනාසෙමින් කීවාය.
“බම්බුව තමයි.”
“මැඩම්, ඒජන්ට කතා කරලා අපි කැමැති නෑ කියන්න අපි යනවා.”
පිරිස වලව්වෙන් පිටව යන හැටි බලා සිටි මම සෙමෙන් රෝගී කාන්තාවගේ කාමරයට ගියෙමි. ඇය දුටු සැණින් සිතේ ඇති වුයේ අමුතුම හැඟීමකි. කවදා හෝ පෙර අත්භවයක හෝ මං ඇය දැන සිටි බවක් හැඟිණි. මැය වයස්ගත වූ තම ආත්තම්මට සමානය. දරුවන්ගේ වෙනස්කම් නිසා ඇතැම්විට මේ තත්ත්වයට පත්වන්නට බැරි නැත. “මේ ලෙඩා බාරගන්ට කැමැති නැද්ද.” පුතා වියහැකි තැතැත්තා විමසුවේය.
“සර් මේ ලෙඩා බාරගන්න මම කැමැතියි.”
“සල්ලිවලට පෙරේත වෙලා ලෙඩා බාරගන්ට එපා. මම උඹට වෙන ලෙඩෙක් සොයා දෙන්නම්. නිල්මිණී පැවසුවාය.”
“ඔයා වගේ කෙනකුට අම්මා බලාගන්ඩ බෑ. ඇහෙනව ද කෑ ගහන හැටි.” පුතා කීවේය.
“මාව පෙන්වන්ට බෑ.” ඒ ලේලියයි.
“ඒ වුණාට මැඩම් මම මේ ලෙඩාව බාරගන්නවා.”
මම මහලු කාන්තාවගේ කැමැත්ත නොවිමසා ඇගේ කාමරයට ගියෙමි. කාමරයට පිවිසි සැණින් ඉවසිය නොහැකි දුගඳක් පැතිර ගියේය. මම ප්‍රථමයෙන් කළේ මූත්‍රා, අසූචි පිරුණු ඇඳ කොමඩය බැහැර කොට කාමරය පිිරිසුදු කිරීමයි.
විසබීජනාශක දියර යොදා කාමරය පිරිසුදු කළෙමි. ඇගේ කාමරයේ කැබිනෙට්ටුව මත ඡායාරූප කිහිපයක් තිබුණි. එළිසබෙත් වාසලමුදලි රැජිනකව සිටි සමයේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් එහි විය. ගැහැනුන් වන අපටත් ජීවිතයේ එක්තරා අවස්ථාවක මේ තත්ත්වයට මුහුණදීමට සිදුවනු ඇත.
‘සිසිවන වුවන ඉඟ සුඟ ගත හැක මිටින
නිසි පුළුලුකුල රිය සකයුතු තිසර තන
වශයෙන් සැළලිිහිණියේ රාහුල හිමි ගැහැනිය වර්ණා කළත් ගැහැනුන් වන අපටත් කවදා හෝ මේ ස්වභාවයට
මුහුණදීම වැළැක්විය නොහැකියි.
“පලයන් එළියට ගෙට් අවුට්” එළිසබෙත් නෝනා උස් හඬින් කෑ ගැසුවා.
“එළිසබෙත් වාසලමුදලි මැඩම් අපි දත් මැදලා, මූණ හෝදලා කොණ්ඩය බැඳල අර පින්තූරෙ ඉන්න විදිහට ඉම්මු‘ මම කීවෙමි.
පළමු දිනය ගෙවී ගියේ ප්‍රශ්න මැදය.
කාලය ගෙවී යද්දී ඇය මුදු මොළොක් කාන්තාවක් බවට පත්වූවාය.
ඇතැම් දිනෙක මා ඇය රෝද පුටුවේ තබාගෙන ගෙඋයනට ගෙනයමි. එළිසබෙත් නෝනා සතුටින් ඉන්නා විට එය මා ලද ජයග්‍රහණයක් යැයි සිතෙයි. මගේ අදහස වී තිබුණේ මේ නිවාඩුව ඇතුළත ඇය සුවපත් කිරීමය. දැන් ඇය කුඩා දැරියක මෙන් කීකරුයි. ඇගේ දරුවන් පිටරට සංචාරවල යෙදුණේ මා කෙරෙහි විශ්වාසය තබමිනි.
“සංජනා අපි මැලේසියාවට ටුවර් එකක් යනවා. අපි එනකම් මේ පිස්සු හටන බලා ගන්න.” බාල ලේලිය කීවාය. පුතා ද එය අනුමත කළේය. පිරිස වෑන් රියක නැඟී යන අයුරු ඈ බලා සිටියාය. තමාට පුළුවන් කාලයේ සැමියාත් නැතිව දරුවන් නුවරඑළිය, නුවර උද්භිද උද්‍යානය, කතරගම බාර ඔප්පු කිරීමට ගිය හැටි ඈ සංජනා හා පැවසුවාය.
ඉතිරි කොටස ලබන සතියේ...