යුග දිවියේ සියලු ගැටලුවලට පිළියම් ලැබෙන නාථ දේව පූජාව

ජනවාරි 13, 2025

අපගේ ජීවිතයට කරදර බාධා පැමිණෙන්නේ නොසිතන ලෙසිනි. මෙලෙසින් පැමිණෙන කරදර බාධක පීඩා විවිධාකාර වෙයි. කෙතරම් යහපත් දිවියක් ගත කරන පුද්ගලයකුට වුවත් පෙර අකුසල කර්ම හේතුවෙන් විවිධ අනතුරු, මානසික පීඩා, ගෙදර දොර කරදර, රැකී රක්ෂා කරන ස්ථානයේ අවහිර බාධා, යුග දිවියේ ගැටලු, නින්දා අපහාස හා රෝගාබාධාවලට ලක්වීම වැනි දුක් කම්කටොලුවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි.

 

මෙවැනි විවිධ කරදර බාධක හමුවේ අපි ඒ සඳහා අාධ්‍යාත්මික විසඳුම් සොයමු. මෙසේ අාධ්‍යාත්මික විසඳුම් සොයන බොහෝ දෙනෙකු තමා විශ්වාස කරන, අදහන, වැඳුම් පිඳුම් කරනු ලබන දෙවියන්ට හෝ ආගමික නායකයකු හට පුද පූජා පවත්වයි. එසේ පුද පූජා පැවැත්වීමේදී අප එම පූජාව පැවැත්වීමේ අරමුණ හා එයින් අපට ලැබෙන ආශීර්වාදය හා ශාන්තිය ගැන අවබෝධයෙන් යුතුව එම කටයුත්ත සිදු කළ යුතු වෙයි. එහෙත් බොහෝ දෙනෙකු මෙවැනි පුද පුජා පවත්වන්නේ කිසිම අරමුණක් හෝ අවබෝධයක් නොමැතිවය. අප විවිධ දේව ඇදහිලි පිළිබඳ ලිපි කිහිපයක්ම පළ කළේය. අපගේ පාඨකයන්ගෙන් ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය. අප මේ සතියේදී ඔබට තිළිණ කරන්නේද එවැනිම දේව පූජාවක් පවත්වන ආකාරයයි. අපගේ පාඨකයන් බොහෝ දෙනෙක් නාථ දෙවියන් උදෙසා පූජාවක් පවත්වන ආකාරය ගැන විමසන ලදි. ඒ ඉල්ලීම ඉටු කරමින් මෙවර නාථ දෙවියන් උදෙසා පූජාවක් නිවැරැදි අයුරින් සිදුකරන ආකාරය අප ඔබට තිළිණ කරමු.

නාථ දෙවියන් යනු ඉතා ප්‍රබල වූ දෙවියෙකු ලෙසින් බොහෝ දෙනෙකු පිළිගැනීම හේතුව වී ඇත්තේ මෛත්‍රී බුදුන්ගේ නාමයෙන් මතු බුදුබව පතා පෙරුම් පුරනා දෙවියකු ලෙසින් ඉතාම ගෞරවයෙන් පිළිගන්නා බැවිනි. මේ දෙවියන් උදෙසා පුද පූජා, පැවැත්වීමෙන් යුග දිවියේ සියලු ගැටලු සඳහා පිළියම් ලැබෙන බව බොහෝ දෙනෙකු අතර විශ්වාසයක් තිබේ.

 

මේ නාථ දේව පූජාව සිදුකළ යුත්තේ බ්‍රහස්පතින්දා දිනවලදීය. එයට හේතුව නම් බ්‍රහස්පති ග්‍රහයා කහ සිවුරට අධිපතිත්වය දරන හෙයින් එම දිනවල ගුරු හෝරාව එනම් උදේ 6.00 සිට 7.00 දක්වා අතර කාලය තුළ සිදු වෙයි. මෙදින එනම් බ්‍රහස්පතින්දා දිනයේ මේ කාල හෝරාවට පෙර එනම් උදේ 6.00ට පෙර නිවෙසේ සියලුදෙනා නිවෙසේ බුදුන් වඳින ස්ථානයට එක් වන්න. මුලින්ම එම ස්ථානයේ මල්, පහන්, සුවඳ දුම් හා කිරි ආහාර පූජා කර තෙරුවන් වඳින්න.

 

අනතුරුව තුන් සූත්‍රය සජ්ඣායනය කර අවම වශයෙන් විනාඩි 20ක් පමණවත් මෛත්‍රී භාවනාව වඩා දෙවියන්ට පිං දී එම කටයුත්ත ශ්‍රද්ධාවෙන් යුතුව අවසන් කරන්න.

 

දෙවනුව අප සිදු කරනු ලබන්නේ නාථ දේව පූජාවයි. මේ සඳහා ඊසාන දිශාවට මුහුණලා වෙනම ආසනයක් හෝ මේසයක් සකසා ගන්න. ඒ මත කහ පැහැති කපු රෙද්දක් එළා ඒ මත නාථ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තැන්පත් කරන්න. දැන් ඒ මත කහ පැහැති සුවඳ මල් (කහ අරලිය හෝ රුක් අත්තන) කුඩා වට්ටි 9ක් ඒ අසලින් තබන්න. ඉන්පසු තැඹිලි තෙල් පහන් 9ක් ද පොල් ගෙඩියක් ද එහි තබා පිනිදිය ඉස නිවෙසේ සියලු සාමාජිකයන් එක්ව පහන් දල්වන්න. පසුව සුවඳ දුම් අල්ලා, මල් පූජා කර නාථ දෙවියන්ට සුවිශේෂී වූ ආරාධනා ගාථාව එක් හඬින් තුන් වරක් ගායනා කර ආරාධනය කරන්න.

 

නාථ ශ්‍රී සර්ව මංගල්‍යම්
යථා දේවේන සංයුතං
සුගන්ද දීප ධූතේන
නාථ ස්වාමී නමෝ වරං

 

 

මෙම ආරාධනය කිරීමෙන් පසු අප කළ යුත්තේ නාථ දෙවියන්ගේ ගුණ වර්ණනා කිරීමයි. මේ වර්ණනා කිරීමේ ගාථාව ඔබට හැකිතාක් වාර ප්‍රමාණයක් ගායනා කිරීමෙන් එහි ප්‍රතිඵල ලැබෙයි.

 

නාථ දෙවි සුරින්දා
බුදු බව පතා එන්දා
ඔබගේ ගුණ කන්දා
මෙන්න මම ඔබේ දෙපා වැන්දා

 

නාථ දෙවියනි පෙර
මෑත යක්සෙන් දුරු කර
පාත කැලණියේ සරණා
නාථ දෙවියනි දෙන්න අවසර

 

සලා සළු යහනේ
හෙළනා පියවි යහනේ
වලා ගැබ මැදිනේ
බලාගෙන මල් යහනට වඩිමිණේ

 

කුංග මිණි ඔටුණු
ලක දිව එසිරි වඳිනු
භංග කර හරිනු සඟ
මඬලට දිස් වී ලා එනු

 

ගී තෙද පුවතට
පාන කැලණියේ වැඩ සිට
දෝත මුදුනක් කොට
නාථ සුරපති වඳිමි මුල්කොට

 

ගන්ට මට අවසර
එන්ට යක්සෙන් දුරුකොට
එන්ට දිව පුරයට
දෙන්ට දළු මුර නාථ සුරිඳුට

 

තුසිත පුර භවනෙලා
වැඩලා දෙවිඳු සැ‍ෙණකින්
දුන්නා පුද පිළිගනිමින්
දෙනු මැනවි සෙත නාථ සුරිඳුන්

 

එම ගාථවෙන් පසුව දෙවියන්ට පින් අනුමෝදම් කරන්න. ඒ සඳහා පහත ගාථාව කියන්න.

 

පතා තොටගමුව වෙහෙරේ වැඩ ඉන්න
දෝත නගාලා දෙවිඳුට පිං දෙන්න
මෑත කපට මතු බුදුබව ලැබ ගන්න
නාථ සුරිඳු පිං අනුමෝදන් වෙන්න

මේ පූජාව සිදුකළ දිනයේම ඔබ සවස් කාලයේ ඔබගේ විහාරස්ථානයට යන්න. එම විහාරයේ බෝධි පූජාවක් පවත්වන්න. පසුව පවුලේ කරදර පීඩා දුරුකර දෙන මෙන් ඉල්ලා පහත කන්නලව්ව දෙවියන්ට ඉදිරිපත් කරන්න. එසේ කර ඔබ උදෑසන පූජාවට තැබූ පොල් ගෙඩිය බිඳ සියලු රෝග පීඩා කරදර දුක් දුරු වේවායි ප්‍රාර්ථනා කරන්න. මෙලෙස මෙම පූජාව මසකට වරක් හෝ පැවැත්වීමට හැකි නම් ඔබ කියන ලෙසම සුබදායි ප්‍රතිඵල ලැබෙනු නියතය.

 

කන්නලව්ව

 

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සතර බුදුවරුන්ගේ ආඥාවට ආනුභාවයට මතු මෛත්‍රී බුදු පදවියට පෙරුම් පුරාගෙන දස බෝධි සම්භාරයකින් පළමුවැන්නා වූ දස පාරමිතා ධර්මය පුරණා උතුම් වූ බුද්ධාලම්පුර නාථ දෙවියන් වහන්ස... ශාසනශ්‍රීෙයන් දස දිග ඒකාලෝක කරමින් ත්‍රිෙලා්ක තලය සත්ත්වයන්ගේ දුක්ඛ කම්කටොලු දිව්‍යම නෙතින් බලා ගනිමින් මෛත්‍රී කරුණාවෙන් විසන්දනය කරවා අනේකවිධ විලාසයෙන් තුසිතපුර ඒකාලෝක වැඩ සිටින නාථ දිව්‍ය රාජෝත්මයාණන් වහන්ස ඔබ වහන්සේට අප පළමුව අමා මෑණි බුදුරාජාණන් වහන්සේ නමැද ඒ පින්පෙත් ඔබ වහන්සේට මෛත්‍රී බුද්ධත්වය ප්‍රාර්ථනා කොට පිං අනුමෝදන් කරමින් ඔබ දිව්‍යත රාජෝත්මයාණන් වහන්සේට මේ මල් පහන් දුම් ආදී පූජා කර ඔප්පු කර මට සහ පවුලේ සැමට පැමිණෙන කරදර බාධා දුරු කර සැපවත් දිවියක් ගෙවීමට සුදුසු වාතාවරණය උදා කර දෙන සේක්වා.!

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි අංක විද්‍යා විශාරද

සුජීවා කරුණාරත්න

 

 

[email protected]