වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
කතාවට උපන් හපන් චැට්රින් ලොරි
සුරතලයට සතෙක් ඇති කරනවා කියන්නේ හරිම සුන්දර අත් දැකීමක්. ආගන්තුකයකු විදිහට නිවෙසට රැගෙන එන මේ පුංචි සුරතලා අවසානයේදී පවුලේ සාමාජිකයන් අතරටම එකතු වෙනවා. සුරතල් සතුන් ඇති කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන රැසක් තියෙනවා.
විශේෂයෙන්ම පවුලේ කුඩා දරුවන්ගේ මානසික වර්ධනය කෙරෙහි සුරතල් සතුන් ඇති කරන්නේ ධනාත්මක බලපෑමක්. විවිධ වර්ගයේ සුරතලුන් ඇති කරද්දි නිවෙසේ කුරුල්ලෙක් ඇති කරනවා කියන එක ටිකක් වෙනස් දෙයක්. පාළුවෙන් තිබෙන ගෙදර දොර එළිය වන්නට කුරුලු කූඩුවකින් ලැබෙන්නේ නොමඳ සහයක්. ඉතින් මේ විදිහට ඇති කරන කුරුල්ලාට කතා කරන්නත් පුළුවන්නම් ඒක කෙතරම් දෙයක් ද? ඒ විදිහට සුරතලයට ඇති කරන්න පුළුවන් කුරුල්ලකුගේ වගතුග ගැන කතා කරන්නයි අද සූදානම.
චැට්රින් ලොරි ( Chattering lory) විශේෂයට අයත් yellow backet lory කුරුලු වර්ගය පෙනුමෙන් ගිරවකුට සමානය. ඉන්දුනීසියාව නිජබිම කරගත් මේ කුරුලු විශේෂය Lorius garrulus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටින කුරුල්ලකු විදිහට හඳුන්වන්නත් පුළුවන්.
අඟල් 12ක් පමණ දිගින් වැඩෙන මේ පක්ෂියාගේ ශරීරය රතු පැහැයෙන් යුක්ත වන අතර පියාපත් සහ කලව ප්‍රදේශය කොළ පැහැයක් ගනියි. පියාපත් මැද කහ පැහැතිය. වලිගය නිල් පැහැයට හුරු තද කොළ පැහැයක් ගනියි. හොඳින් වැඩුණු පක්ෂියෙක් ග්‍රෑම් 225ක් දක්වා බරකින් යුක්ත වේ. සාමාන්‍යයෙන් නිදැල්ලේ සිටින මේ වර්ගයේ ගිරවුන් ආහාර ලෙස පලතුරු, බීජ වර්ග, අංකුර වර්ග ආහාරයට ගනියි. නමුත් සුරතලයට ඇතිකරන මෙවැනි ගිරවුන් පලතුරු කැබලි ආහාරයට ගැනීමට වඩා නැවුම් පලතුරු, පානයක් ලෙස ගැනීමට ප්‍රිය කරයි. ඊට අමතරව විදේශයෙන් ගෙන්වන ලද මෙවැනි කුරුල්ලන්ටම වෙන්වුණු දියරමය පාන වර්ග ද තිබේ. ඊට අමතරව ධාන්‍ය වර්ග සහ තම්බන ලද වට්ටක්කා වැනි දේ ද සුදුසුය. පක්ෂීන් උදෑසනම අවදිවන සත්ත්ව කොට්ඨාසයක් නිසා උදෑසන 6 වනවිට ආහාර ලබා දීම කළ යුතුයි. නැවත ආහාර ලබා දීම කළ යුතුවන්නේ සවස් වරුවේදීයි. ඒ අතරතුර කෙටි ආහාර ලබා දිය හැකිය. මොවුන් පැණි රසට ප්‍රිය කරන කුරුලු විශේෂයක් නිසා ඇඹුල් රසයට එතරම් ප්‍රියතාවක් නොදක්වයි.
ආයු කාලය වයස අවුරුදු 28 -32 අතර කාලයක් වෙයි. නමුත් ගෙදරක හදන කුරුල්ලන්ගේ ආයු කාලය වැඩි බවයි පරේයේෂකයන් පෙන්වා දෙන්නේ. කැලයක ජීවත් වීමේදී සිදුවන අනතුරු නිසා බොහෝ කුරුල්ලන්ගේ ආයු කාලය කෙටි වේ. අවුරුදු 4 - 5 වනවිට ප්‍රජනනයට සුදුසුය. වරකට බිත්තර 2 - 3ක් පමණ දමනු ලබයි.
චැට්රින් වර්ගයට අයත් මේ කුරුල්ලන් හිමිකරුගේ අත මත වසා සිටින්නටද ප්‍රියතාවක් දක්වයි. මොවුන්ට
දිග සහ පළල අඩි 3 කූඩුවක්වත් අවම වශයෙන් අවශ්‍යයි. ඔවුන්ගේ කූඩු තුළට කුරුල්ලන්ටම විශේෂිත වූ සෙල්ලම් උපකරණ එකතු කිරීමෙන් ශරීර ක්‍රියාකාරීත්වයට ව්‍යායාමයක් වගේම මනසට සුවයක් ද ගෙන දෙයි.
මේ වර්ගයේ ගිරවෙක් සුරතලයට ඇති කරනවානම් වයස සති 3 - 4ක ගිරවෙක් ඇති කරන්න පටන් ගැනීම වඩාත් සුදුසුයි. මොකද වැඩුණු ගිරවෙක් නිවෙසට හුරුකර ගැනීම ඉතා අපහසුයි.
ලොරි වර්ගයට අයත් කුරුල්ලන්ගෙන් වඩා හොඳටම කථන හැකියාවක් සහිත කුරුලු වර්ගය මෙය වේ. චැට්රින් ලොරි යන නාමය පවා ලැබී ඇත්තේ ඒ නිසාවෙනි. මාස 6ක් පමණ යනවිට ඔවුන් කතා කිරීමට පටන් ගනියි. බොහෝ වේලාවට ඔවුන්ට ඇසෙන වචන කතා කිරීමට පටන් ගනියි. ඒ වගේම අවශ්‍ය නම් වචන ඉගැන්වීමට ද පුළුවන.
මොවුන් ඉතාම සංවේදී කුරුලු වර්ගයක් නිසා ඔවුන්ව බලාගන්නා බාරකරු දින කිහිපයක් පෙනෙන්නට නොසිටියහොත් ආතතියට පත්වේ. අනෙක් අයට පහරදීමට පවා පෙළඹෙයි.
කුරුල්ලන්ට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරුන් ඉතා අවම වීම ලොකුම ගැටලුවයි. ඒ නිසා බොහෝවිට අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු අනුව මොවුන්ට ප්‍රතිකාර කිරීමට සිදුව තිබේ.
උපදෙස් -
දිල්හානි වෙඩික්කාරගේ