වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
මැඩම් එළිසබෙත්
අවසන් කොටස
එඩ්වඩ් මල්ලවආරච්චි ලියන කෙටි නවකතාව
එඩ්වඩ් මල්ලවආරච්චි කියන්නෙ තරුණී පාඨකයන්ට නුහුරු නුපුරුදු නමක් නම් නොවේ. වසර ගණනාවක් පුරා අපූරු නවකතා බොහෝමයක් තරුණීට රචනා කළ ඔහු මෙරට සාහිත්‍ය කලාවේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත්තෙකි. ඔහු විසින් ලියූ ප්‍රාර්ථනා, සුබා, සුබ ප්‍රාර්ථනා, චාතුර්යා, ආරතී ආදී වශයෙන් වූ සියයකට අධික නවකතා අතරින් විසිපහකට වැඩි ප්‍රමාණයක් ටෙලිනාට්‍ය බවට පත් විය. ඒ අතරින් හිමි අහිමි, සෙනුරි, මැනලද පුතේ, ආදරණීය චංචලා, චාතුර්යා වැනි ටෙලිනාට්‍ය සඳහා ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි විය. එමෙන්ම සුමිත්‍රා පීරිස් සිනමා කිවිඳිය අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලොකු දුව චිත්‍රපටය තිර රචනය කළේ ද එඩ්වඩ් මල්ලවආරච්චි විසිනි. නවකතා, ටෙලි පිටපත්, චිත්‍රපට තිර රචනා ආදියෙන් මෙරට සාහිත්‍ය කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ඔහූ තරුණී ශේෂ පත්‍ර වෙත ලියූ කෙටි නවකතාවේ දෙවැන්නයි මේ.
කුමට ද සොබනියෙ කඳුළු සලන්නේ හේතුව මම නොදනිමි ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම්....
ඉංග්‍රීසි ගුරුවරියක් වූ එළිසබෙත් නෝනා මේ නාට්‍ය ගීත ප්‍රිය කළ රසිකාවියකි. මෙතෙක් කල් පැවැති නූරුස්නා බව මේ වන විට පහව ගොස් තිබුණි.
මේ නිෙවසේ පැවැති ඒකාකාරී මුසල බව ඇගේ ගීතවත් හඬින් නැතිව ගියේය.
“සතුටුද?” මම ඇගේ අතින් අල්ලාගෙන ඇසුවෙමි.
“සතුටුයි. සංජනා දූ නිසා මා සනීප වුණා.”
ඇය මගේ දෑත් සිප ගනිමින් කීවාය.
“මගෙ දුවා දරුවන්ට වඩා ඔයා මට හොඳයි.” ඔයා හැමදාම මා ළඟට වෙලා ඉන්න ඕනෑ.”
“බෑ ආත්තම්මා මම යන්න ඕනෑ. මම මේ නිවාඩුවට ආවෙ කීයක් හරි හොයාගන්නයි.”
ඇය මගේ කතාවෙන් පසු මඳ වේලාවක් නිහඬව කල්පනා කළාය.
“මම දුනුමාලේ දේවාලෙට බාරයක් වෙලා තියෙනවා. මැරෙන්න කලින් ඒක ඔප්පු කරන්නට ඕනෑ.”
“හැමවේලෙම කියන මැරෙන කතා නතර කරන්න.”
“අපි කවුරුත් මැරෙනවනෙ.”
”ඇතාඋඩකන්දෙ මගෙ යාළුවෙක් ඉන්නවා. දුනුමාලේ දේවාලෙට ගිහින් එයාවත් හම්බවෙලා එමු.”
මා අැගේ සතුට වෙනුවෙන් කළ හැකි හැමදෙයක්ම කළෙමි. ඇඳුම් ගලවා නෑව්වේ මවිසිනි. කැව්වේ පෙව්වේ වැසිකිළි කැඳවාගෙන ගොස් සෝදා පිරිසුදු කර හිස පීරා කොණ්ඩය බැන්දේ මවිසිනි.
මා නිවාඩුව අවසන් වූ පසු යන බව ඇසීමෙන් ඈ දුකට පත්වූවාය.
හදිසියෙන් දිනෙක නිතීඥවරයෙක් ඇය හමුවන්නට ආවේය. මම අමුත්තාට සංග්‍රහ කිරීමට තේ සූදානම් කරමින් සිටියෙමි.
“නම සංජනා නේද?” නිතීඥවරයා මගෙන් ඇසුවේය.
“ඔව් සර්.”
“මම මේ මැඩම්ගෙ වැඩකට ආවා. සාක්ෂියක් විදිහට මේකෙ අත්සන් කරන්න.“
මම නිහඬවම කිසිත් නොවිමසා අත්සන් කළෙමි.
නිවාඩු කාලය සෙමෙන් සෙමෙන් අවසන් වෙමින් පවතී.
ඒ නිවාඩු කාලයේ මේ මහලු කාන්තාවගේ දරුවන් උපරිම ප්‍රයෝජන ගත්හ.
“කැම්පස් ගියාට පස්සේ සංජනාට මේ නාකි ගෑනිව අමතක වෙයි.“ ඈ තෙත් වූ දෑසින් යුතුව කීවාය.
“නෑ. මම කවදාවත් ආත්තම්මා අමතක කරන්නේ නෑ. ඊළඟ වැකේෂන් එකේදී මා අනිවාර්යෙන්ම එනවා.”
“ඊළඟ වැකේෂන් එක වෙනකල් මා ජීවත් වෙන්නෙ නෑ.”
ආත්තම්මා ඉකිගසා හඬද්දී මම ඇගේ දෙපා වැන්දේ තෙත් වූ දෑසින් යුතුවය.
නැවත බෝඩිමට ගියත් එක්වරම එම මහලු කාන්තාව අමතක කිරීමට පුළුවන් වූයේ නැත. එළිසබෙත් වාසලමුදලි රැකබලා ගැනීමට මට දුන් මුදල් ප්‍රතික්්ෂේප කළෙමි. කෙසේ වුවත් ගිවිස ගත් ප්‍රමාණයට වැඩි මුදලක් ඔවුහු පිරිනැමූහ.
කොළඹ ධනපති කාන්තාව සමඟ ගතකළ ජීවිතය ගැන අසා නිෙවසේ අය පුදුම වූහ. කොපමණ අගහිඟකම් තිබුණත් ගමේ වැඩිහිටියන්ගේ ගෞරවයට හානි වන්නේ නැත.
එළිසබෙත් වාසලමුදලි නෝනා මිය ගිය පුවත දැනගන්නට ලැබුණේ කොළඹ ඒමට සූදානම් වෙමින් සිටියදීය.
“ඇයි මට දැන්නුවේ නැත්තෙ.” ඇය ඇසුවේ අමනාපයෙනි.
පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කිරීම එළිසබෙත් නෝනාගෙ ඉල්ලීමක්. තවත් කලක් තමා සමඟ සිටින ලෙස ඇය ඉල්ලා සිටි හැටි මතකය. ඇගේ ඉල්ලීම පරිදි තවත් කලක් සිටියා නම් මේ විපත සිදු නොවන්නට ඉඩ තිබුණි.
“දුව ගේ ගාව ලොරියක් නතර කරලා තියෙනවා”
‘කීනවල පැත්තට යන එකක් වෙන්නැති”
මඳ වේලාවකට පසු එළිසබෙත් නෝනාගේ වලව්වේ දී හමු වූ නිතීඥවරයා නිෙවස දෙසට එනු දුටිමි.
“මම ආවෙ සංජනා හමුවෙන්න”
“යමු සර් ඇතුළට” මම ආරාධනා කළෙමි.
“කොයිකාටත් වඩා එළිසබෙත් මැඩම් නැතිවීමේ දුක සංජනාට තියෙන බව මම දන්නවා. එතුමිය ඔයාට ආදරෙයි.‘
ඔහු කිසිත් නොකියා බෑගය විවෘත කළේය.
“එළිසබෙත් මැඩම් ඔයාගෙ ඉගෙනීමට හා ඉදිරි කටයුතු සඳහා ඔයාගෙ ගිණුමට මුදල් දමලා තියෙනවා.”
“මට අයිති වැටුප විතරක් ඇති. මේවා බලාගෙන නෙමේ. නෝනව බලාගත්තෙ”
“ඒ විතරක් නෙමේ ඔයාගේ නමට ඉඩමකුත් ලියලා තියෙනවා.”
“දෙවියනේ, මේ කිසිවක් මට එපා.“
“ඒ විතරක් නෙමේ එළිසබෙත් මැඩම්ගේ ගෙදර බඩු ඔයාට දෙන්න කිව්වා. මැඩම්ගෙ පියානෝවත් තෑගි අතර තියෙනවා.‘ සේවක පිරිස ලොරියේ තිබූ ගෘහ භාණ්ඩ නිවෙසට ගෙනෙන හැටි. මම බලා සිටියෙමි. මගේ දෙනෙත් කඳුලෙන් පිරීගියේ ඇගේ ඇසුර සිහිවීමෙනි. දෙවියෙන් ඒ මහලු කාන්තාව මා ලඟ කොතරම් සතුටින් සිටියා ද. ඔබට නිවන් සැප ලැබේවා.!