වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
සූර්ය මාතා
නිදුකා පහන් කණුව යටට ඇවිදින් තවමත් ගෙවී ගියේ මිනිත්තු පහකි. කහපාට නියෝන් එළිය වැටී ඈ ගත අමුතුම රන්වන් පැහැයක් ගෙන තිබිණි. හාත්පස අඳුර මකාගෙන පැමිණි විසල් රියක් ඈ අසලින් නැවතිණි. මැදිවිය පසු කරනා රුවක් එතුළින් එබිණි. තද රත්පැහැ සායම් දෙතොල ඇය එහෙමෙහෙ කළේ නෙතින් පවා ඉඟි කරමිනි. ඒ කාමුක දෙනෙත් ඈ ගත පුරා ගියේ සැණෙකිනි.
" අපි තුන්දෙනෙක් ඉන්නවා. කීයද.."
" එකපාර "
" ඔව්.."
මේ රියට නැංගොත් අද රැය වෙහෙසකර වනු ඇත. ඒත් මොහොතකට නිදුකාට සිහිවුණේ පුරවන්නට තිබෙනා කුසවල් නවය ගැනය. සපුරන්නට තිබෙනා වුවමනාවන් ගැනය. ඔවුන් සියලුදෙනා දැන් එකට ගුළි වී නින්දේ වනු ඇත.
"පැය දෙකයි. පන්දාහයි."
"ගාණ වැඩියි."
"එහෙනම් මහත්තයා වෙන කෙනෙක් බලන්න."
හෙට්ටු කරනා ගැනුම්කරුවන්ට ඇය අකැමැතිය. ඇය තුරුලේ සැනසෙනා ස්ථිර කිහිපදෙනෙකි.
" හරි.. යමු.. "
ඇඟටම හිරවූ ගවුම දණහිසෙනුත් වියතක් කොටය. දරුවන් දෙදෙනෙකු සිටියද ඈ හැඩැති ගත තවමත් ළපටි කෙල්ලකගේ තරම් මෘදුය. ඇය නංවාගත් රිය ඉගිල්ලිණි.
හෝරා දෙකහමාරක් ගෙවුණු තැන යළිත් ඇය සිටියේ සුපුරුදු පහන් කණුව යටය. හැමදාමත් නැවතෙනා රියක් යළිත් ඇය අසලය.
උදෑසන පහ වෙද්දී නිදුකා සිටියේ තම නිෙවසේය. දියණිය.. ඇයගේ නොව සැමියාගේ සොහොයුරියගේ දියණිය කේතලය ළිපට කර සූදානම උයන්නටය. ඇඳුම ලෙහා දමා ගත දොවාගත් ඇය රැය පුරා පිරිමින් පස්දෙනෙකුට යටවී වෙහෙස වූ ගත වාරු කර ගනිමින් සූදානම නිවෙසේ රාජකාරි බාර ගන්නටය.
" ගිහින් පාඩම් කරගනින් දුවේ. මං උයන්නම්. හෙට අනිද්දා එක්සෑම් නේද.."
" මං රෑ පාඩම් කළා අම්මා. ඔයාට අද මහන්සි පාටයි."
තමාගේ රැකියාව දාසය වියැති ඇය දන්නවාදැයි නිදුකා දන්නේ නැත. දියණිය තබා කිසිවකුත් කවදාවත් ඒ ගැන ඇසුවේත් නැත.
නිදුකාගේ මවුපියන් සේම සැමියාගේ මවුපියන්ද ජීවත් කරවන්නේ ඇයය. සැමියාගේ පියා ඔත්පළය. මවුවරුන් දෙදෙනාද ජීවත් වන්නේ බෙහෙත් බලයෙනි. ඈ මව නම් නැඟිට වැඩක්පළක් කරන්නේ හිතේ හයියටය. නිදුකාගේ පියාට රැකියාවක් කරන්නට නොහැකි වුවද දරුවන් පාසලට ගෙනයන්නේ, ගෙනෙන්නේ ඔහුය.
සැමියාගේ වැඩිමහල් සොහොයුරිය ඈ සැමියා මියගිය පසුව ඇගේ දරුවන් තිදෙනා ගෙනත් දැම්මේ මවුපියන් වෙතටය. ඇය වෙනත් දීගයක ගියේ ඔවුන් අමතක කරමිනි. අවුරුදු හයක්, හතරක් හා දෙකක් වයසැති දරුවන් තිදෙනා අතාරින්නට නිදුකාට සිතුණේ නැත. තුන් හැවිරිදි හා අවුරුද්දක් වයසැති තම දරුවන්ට සේම ඇය ඔවුන්ටත් මවුන්ම විය.
සල්ලාලයෙකු වූ ඈ සැමියා මවුපියන්ගේ යෝජනාවකි. කීකරු දරුවෙකු වූ ඇය ඔහුට කැමති වුණේ අසනීප ඔවුන්ගේ ඉල්ලීමටය. පවුලේ එකම දරුවා වූ ඇයට හිමිවූ දේපල සියල්ල විකිණූ සැමියා ඒ සියල්ල වියදම් කළේත් බීමට හා සල්ලාලකම්වලටය. තම පුතු හා කෝප වූ ඔහුගේ මවුපියන් ඔවුන් සන්තක නිවෙස ලිව්වේ නිදුකා නමටය. පුංචි පුතුට වසර එකහමාරක් ගෙවෙනා තැන ඔහුත් මියගියේ කිසිවකුගේ පහර දීමකිනි.
මිනිසුන් විවිධ කතාවන් කිව්වද නිදුකා ඒ කිසිවක් සොයන්නට ගියේ නැත. ඔහුගේ නොපනත්කම් ඉවසුවා සේම ඔහුගේ මරණයත් ඉවසූ ඇයට කටවල් නවයක් පුරවන්නට සිදුවිය. ඇඟලුම් කම්හලක සේවයට ගියද දවසම මැරෙමින් හම්බ කළද ඒ ලැබෙනා සොච්චම් වැටුප සතියක් පිරිමහගත්තේත් අසීරුවෙනි. කඩේ ණය පොත පිරෙද්දී, දරුවන් බඩගින්නට අඬද්දී, මවුපියන් වතුරෙන් බඩගින්දර නිවා ගනිද්දී නිදුකා මුලින්ම නැවතුණේ මුදලාලිගේ තුරුලේය. එයින් පසු ආසන්නයේ වූ මධ්‍ය විද්‍යාලයට දරුවන් පස්දෙනා ඇතුළත් කර ගැනීමටය.
නිෙවසේ අඩුපාඩුකම් වැඩි වෙද්දී නිදුකාට අත දෙන්නට කෙනකු සිටියේ නැත. වැඩියෙන් හම්බ කරන්නට පහසුම මාර්ගය ඇයට තෝරාගන්නට සිදුවුණේ නිකම්මය.
" අම්මේ.. අද පන්ති කවය."
" මං එන්නම් දුවේ. "
" මල්ලිලා දෙන්නගෙයි, නංගිගෙයි ක්ලාස් පීස් ගෙවන්න ඕනෙ. අම්මා එදා දීපුවාගෙන් තුන්දාහක් තියෙනවා."
" අර පර්ස් එකෙන් ගන්න."
දඩිබිඩියේ උයාපිහා දරුවන් සූදානම් කර තම පියා හා පාසලට යැවූ නිදුකා ඊළඟට කළේ මාමණ්ඩිය පිරිසුදු කිරීමය.
" උඹට ජාති ජාතිත් පින් පුතේ."
හැමදාමත් සේ අදත් ඔහු සියල්ල කරනකම් පින්දෙන්නේ ඇයට පමණක් නොවේ. ඈ මවුපියන්ටත් එක්කය. ඔහුවත් සෝදා රෙදිපිළිත් සෝදා දැමූ නිදුකා දඩිබිඩියේ නාගත්තේ නවය වන විට පාසලට යන්නටය.
" අම්මේ.. ඔයාගෙ බේත් තුණ්ඩුව දෙන්න.
" ඒක ලොකු ගාණක් වෙනවා දුවේ. සල්ලි කොයි ඕවා ගන්න. ඊළඟ පාර ඉස්පිරිතාලෙන් දෙයි."
" ඒකට තව මාසයක් යනවා. කෝ දෙන්න, සල්ලි තියෙනවා."
ඔසරියක් ඇඳ කර මුලට කොණ්ඩය බැඳ නිදුකා එළියට බැස්සේ තනිව නොවේ. නැන්දණියත් සමඟය.
" නැන්දේ.. බේත් ටික ගන්න. මං එන්නම් ඉක්මනට ඉස්කෝලෙට ගිහින්."
නැන්දණිය රෝහල් සායනයෙන් නවතා ඇය ගියේ පාසලටය. දියණියගේ සූදානම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්නටය. ඇය තම අධ්‍යාපනය නිසි ලෙස කරනා වග නිදුකා දනී. තමන්ට හැකි පමණින් අනෙක් දරුවන්ගේ අධ්‍යාපනය ගැනද සොයා බලන්නේ ඇයය. ඔවුන්ගේ දුර්වලතා අඩුපාඩු නිදුකා හමුවේත් තබන්නේ ඇයය.
" අපේ ඉස්කෝලෙ ලොකු බලාපොරොත්තුවක් මේ."
ගුරුවරුන්ගේ හඬින් දියණිය ගැන කියවෙද්දී නිදුකාට තම රැකියාව ගැන අපුලක් දැනුණේ නැත. ඇය පමණක් නොවේ අනෙක් දරුවන්ද සිටින්නේ ඈ වෙහෙසට වටිනාකමක් එක්කරමිනි.
පන්ති කවය අවසානයේ ඇය දිගටම ගියේ රෝහලටය. නැන්දණිය තවමත් බේත් පෝලිමේය. ඇයව පසෙකින් ඉන්දවූ නිදුකා පෝලිමට එක්විය. ආපසු යන මඟ මවගේ බෙහෙත් ටිකත් මිලදීගත් ඇය නිෙවසට ගිය සැණින් සාරිය උනාදමා සූදානම් වුණේ මාමණ්ඩිය නාවන්නටය. ඔවුන් යන විට ඈ මවුන් වතුර එකක් රත් කරගෙනය. පියා හා එක්ව ඔහුව නාවා අහවර කුස්සියට එද්දී මවුවරුන් හෙමිහෙමිහිට සකසන්නේ දහවල් ආහාරයය.
බත් මුල් දෙකක් බැඳ පියා අත පාසලට යවන්නේ දරුවන් හතරදෙනාගේ දිවා ආහාරය ලෙසටය. ඔවුන් එතැනින්ම යන්නේ අමතර පන්තිවලටය. බාලම පුතු රැගෙන පියා ආපසු එනතෙක් ඇයට කරන්නට රාජකාරී නිවෙසේ පමණය. එකතුවෙන රෙදිපිළි සේදෙන්නේ ඈ දෑතිනි.
බාල පුතු පැමිණියාට පසුව ඔහුව සෝදා, කන්නට දෙන නිදුකා ගතේ වෙහෙස දුරු කරන්නට සයනය තෝරාගන්නේ එයින් පසුවය. ඇයට වෙනදාටත් වඩා දැනුණේ වෙහෙසකි. සුව නින්දක අවශ්‍යතාව දැඩිව දැනෙද්දී නිෙවසේ අයවලුන් ඇයට බාධා කරන්නේ නැත.
නිදුකා අවදි වුණේ දරුවන් යළි නිෙවසට ආවාට පසුවය. මවුවරුන් දෙදෙනා තේ සූදානම්කරය.
" තේ එකක් බීලා හිටින් දුවේ."
තේ බීමෙන් පසු නිදුකා ගියේ නගරයටය. මාමණ්ඩිය වෙනුවෙන් රෝද පුටුවක් ගන්නට මුදල් එකතු කළේ බොහෝ කාලයක සිටය. ඊයේ රැයෙන් ඒ මුදලත් සම්පූර්ණ විය. දන්නා ශිල්ප සේරම අර පිරිමින් තුන්දෙනා වෙනුවෙන් දැම්මේ ඔවුන්ගෙන් වැඩි මුදලක් ලබාගැනීමේ පරමාර්ථයෙනි. එය සාර්ථක විය.
රෝද පුටුව ගෙනැවිත් මාමණ්ඩිය එහි හිඳගත්තා විතරය. ඔහු කඳුළු පෙෙරන නෙතින් කළේ ඇයට ආශීර්වාද කිරීමය.
" උඹ අපිට ඉරක් වගේ පුතේ. අපි හැමෝගෙම ජීවිත එළිය කරන්න උඹ කරන කැපවීම අපි දන්නවා. ඒක පවක් නෙමෙයි පුතේ. මැරෙන්න නොදී බඩවල් නවයක් පුරවන පිනම ඇති උඹට ලබන ආත්මෙ මෙහෙම දුකක් නැතිවෙන්න. උඹ අපි හතරදෙනාට කරන හරියම ඇති නිවන් දකින්න."
නිදුකාගේ නෙතින් කඳුළක් ගිලිහිණි. වෛශ්‍යාවක වුවද තමන් දරුවන් නවයක් රකිනා මවක වීම ගැන ඇයට දැනුණේ සතුටකි.