පොඩි පොඩි App වලින් ලොකු වැඩ

ජනවාරි 27, 2025

ගෙවල්වලටම වෙලා ඔහේ බත් තම්බ තම්බා හිටපු කාලය වගේ නෙවේ. දැන් කාලයේ නාඩි වැටෙන ඕනෑම ගෑනු පරාණයකට ස්මාර්ට් ෆෝන් එකක් තියනවා. ළිඳ ළඟ සංගම් විසුරුවා හරින්න තරම් සෑහෙන බලපෑමක් මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් එච්චර දෙයක් වෙන්න තරම් ගැහැනු ජාතිය මේකට ඇඳලා බැඳලා ඉන්නේ මොකක් නිසා වෙන්න ඇති ද? සමහරවිට මේ App එයාලාගේ දුරකතනවල තියන නිසා ද දන්නේ නැහැ.

 Sworkit: Workputs & Fitness Plans

ගැහැනු ළමයින්ගේ හිතේ නිතර දෙවේලේ කකියන ඇඟේ හැඩය ගැන හිතලා හදපු ඇප් එකක් මේ. එක එක බීම වර්ග, පෙති වර්ග, ආලේපන එක්ක සෙල්ලම් කරලා අන්තිමේ ඕවා නහයේ, කටේ ගෑවුණත් එපා වෙනවා. පටන් ගනිද්දීම යෝගා, කාඩියෝ, ස්ට්‍රෙචින්ග් වගේ අවශ්‍ය තෝරාගැනීමක් කරන්න පුළුවන්. මෙතැනදී ඒ ඒ ව්‍යායාම වර්ග ප්‍රායෝගිකවම කරනවා. අදාළ වෙලාවක් ඇතුළත ඔබටත් ඒ ටිකම කරන්නයි තියෙන්නේ. ඒ ටික ඉවර වුණාම ඔබෙන් කැලරි කීයක් දහනය වුණා ද කියලත් දානවා.

 

Truecaller

 ගැහැනු ළමයින්ට වෙන එපාම කරපු දෙයක් තමයි එක එක අසහනකාරයන්ගෙන් ඇමතුම් එන එක. කවුද කියලා කියන්නෙත් නැති, කාගේ ද කියලා දන්නෙත් නැති ඒ වගේ ඇමතුම් ගන්නත් නරකයි. හැබැයි මේ යකා මොකෙක්ද කියලා හොයාගන්න පුළුවන් මේක හරහා. හැබැයි මෙතැනදී ඒ අදාළ අංකය හිමි පුද්ගලයාව වෙනත් කෙනෙක්ගේ දුරකතනයක කන්ටැක්ට් එකක් හැටියට සේව් වෙලා තියෙන්න ඕ‍ෙන. අන්න එතකොට තමයි ඇප් එකේ ඒ නමත් එක්ක පෙන්නුම් කරන්නේ.

 

Arecipes Dinner Spinner

 දැන් පොත් පෙරළගෙන කෑම වට්ටෝරු හොයහොය ඉන්න ඕනේ නැහැ. මොකද මේ app එකේ හිතාගන්නවත් බැරිතරමේ කෑම ගොඩක් තියනවා. සුද්දන්ගේ රටේ හදපු ඇප් එකක් නිසා මේ කෑම හදන්න ඕනෙ කරන බඩු නෑනේ කියලා විස්සෝප වෙන්න නරකයි. එතැනදී මේ ඇප් එකේ විශේෂ ලක්ෂණයක් මතක් කරන්න පුළුවන්. අපි ගාව තියන දේවල් ඇතුළත් කළාම අපිට හදන්න පුළුවන් කෑම වට්ටෝරු මොනවද කියලත් දැනගන්න පුළුවන්.

විදුමිණි දිසාකරුණා

 

[email protected]