වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ලෝක කුසලාන පිටියේ ජය කෙහෙලි නංවන අපේ නායකත්වය
මෙවර ලෝක කුසලාන කනිෂ්ඨ ක්‍රිකට් තරගය ආරම්භය සනිටුහන් කරමින් අපි බලාපොරොත්තු සටහනක් තැබුවෙමු. ඒ අපේ පුංචි කෙල්ලන් ගැන මහත් බලාපොරොත්තු අපේක්ෂා දල්වමිනි. සැබැවින්ම ඒ අපේක්ෂා බලාපොරොත්තු ජයග්‍රහණ තුළින් සැබෑ වෙමින් තිබේ. මේ වන විටත් මැලේසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන කනිෂ්ඨ කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් සඳහා සහභාගි වූ අපේ කණ්ඩායම ඒ තරග දෙකම ඉතාම විශිෂ්ට ලෙසින් ජයගෙන ඇත්තේ සත්කාරක මැලේසියානු කණ්ඩායම හා බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායම පරාජය කරමිනි.
දිවයිනේ දසත පුරා විහිදී ගිය පාසල් රැසක් නියෝජනය කරමින් සහභාගි වන අපගේ 19 පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ වයස අවුරුදු 17ක් වූ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි දුලන්කා නානායක්කාර ක්‍රීඩිකාවයි. ඇය තම කණ්ඩායමේ නායකත්වයේ වගකීම නිසි ලෙස හඳුනා ගනිමින්, මේ තරග දෙකේදීම ඉතාම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින්, තම කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන යමින් සිටි. ඇයගේ එම දස්කම් නිසාම මේ පුංචි ක්‍රිකට් ක්‍රීඩා තරුව ගැන මුළු රටම ඉතාම සෙනෙහසින් අපේක්ෂා දල්වාගෙන බලා සිටියි.
මෙලෙසින් මේ පුංචි ක්‍රීඩා තරුව ගැන මහත් බලාපොරොත්තු තබා ඇති සිය දහස් සංඛ්‍යාත පිරිස අතර මනුදිගේ පියාද ඇය ඉතාම දක්ෂ ලෙසින් ක්‍රීඩා කරන අයුරු බලා සිටින්නේ මහත් අභිමානයෙනි. මෙලෙසින් තම එකම දියණිය වූ මනුදී ගැන මහත් බලාපොරොත්තුවෙන් සතුට දල්වාගෙන බලා සිටින ඇයගේ ආදරණීය පියා වන ප්‍රියංකර නානායක්කාර මහතාගෙන් ඇයගේ දස්කම් ගැන ඇසුවේ ඒ සතුටේ තරම ඔහුගේම වදනින්ම දැන ගැනීමේ අපේක්ෂාවෙනි. ඔහු තම ආදරණීය දියණිය ගැන සතුටින් යුතුව සඳහන් කළේ මෙලෙසිනි.
“අපට ඉන්න එකම දරුවා තමයි මනුදී. එයා පුංචි කාලෙ පටන්ම හරිම දක්ෂ දරුවෙක්. දුවගේ තිබුණු දක්ෂතාව ගැන මටත්, මගේ බිරිය මධුරා දමයන්තිටත් පුංචි කාලෙම හඳුනාගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි අවුරුදු හයේදී විතර එයාව රත්මලානේ තිබුණු ODI ක්‍රීඩා සමාජයේ ප්‍රනාන්දු සර් ළඟට එක්ක ගියා. එයා දවස් දෙකයි සැහැල්ලු පන්දු ක්‍රීඩා කළේ. සර් කිවුවා මෙයා හරිම දක්ෂයි ඒ නිසා මුල සිටම ලෙදර් ක්‍රීඩා කරන්න යොමු කරමු කියලා.
මේ අතරේ දුව මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයට ඇතුළත් කළා. එයා පාසලේදී මලල ක්‍රීඩා කරන්න තමයි මුලින්ම යොමු වුණේ. පාසලේ ලෙදර් ක්‍රීඩාව ආරම්භ කළාට පස්සේ 13න් පහළ කණ්ඩායමට ඇතුළත් වුණා. පහේ පන්තියේදී ශිෂ්‍යත්ව විභාගය තිබුණු නිසා ඒ අවුරුද්දේ ටික කාලයක් ක්‍රීඩා කළේ නැහැ. නමුත් ඊට පස්සේ එයා 15න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙස ක්‍රීඩා කළා.
මේ අතර ලීග් තරගාවලියකට සහභාගි වෙන්න දුවට අවස්ථාව ලැබුණා. එයා ඒ තරගයේදී 19න් පහළ ජාතික කණ්ඩායමට තෝරා ගත්තා. ජාතික කණ්ඩායමට තෝරා ගත්තාට පසුව එයාට ඉන්දියාවේ පැවති තරගාවලියකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පසුව 2023 වසරේදී 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින්
සහභාගි වුණා. මේ තරගයෙන් පසුව එයාට තුන්කොන් තරග රැසකටම සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සෑම තරඟයකදීම මනුදි හොඳ දස්කම් දැක්වූවා. පසුගියදා අවසන් වුණු බංග්ලාදේශීය තරගාවලියේදී 19න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙස මනුදි හොඳින්ම ක්‍රීඩා කළා. ඒ තරගමාලාවේ තරග දෙකක් ජයග්‍රහණය කරන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා.
දුව පළමුවරට නායිකාව ලෙස සහභාගි වෙන ලෝක කුසලාන තරගමාලාව තමයි දැන් මැලේසියාවේදී පැවැත්වෙන්නේ. තරගමාලාවේ පළමු තරගය පැවැත්වුණේ මැලේසියාව සමඟ. ඒ තරගයේදී ලකුණු 14 ක් ලබා ගත්තා. ඒ වගේම ලකුණු 08කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා. ඒ වගේම අද පැවැත්වුණේ බටහිර ඉන්දියානු කොදෙව් තරගයේදී පන්දු 31ට ලකුණු 38ක් ලබා ගන්න හැකිවීම නිසා තමයි පහසු ජයග්‍රහණයක් ලැබුවේ.
අපේ දුව ක්‍රීඩාවට දක්ෂ බව අපට පුංචි කාලයේදීම තේරුණා. ඒ නිසා ඒ ගමන යන්න අපි ඇයට අවස්ථාව ලබා දුන්නා. එයා ඉගෙනීමටත් දක්ෂයි. අපි දුව ක්‍රීඩාවෙන් ඉදිරියට යනවා දකින්න කැමතියි. හැබැයි එයා ක්‍රීඩා කරන අතර අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගනී කියලා අපි දෙන්නම හිතනවා.”
මනුදිගේ පියා හා මව දෙදෙනාම අපේක්ෂා දල්වමින් බලා සිටින්නේ ඇය ක්‍රිකට් ක්‍රීඩාවේ දක්වන දස්කම් ගැනය. ඒ දස්කම් විස්කම් තුළින් අනාගතයේදී අපේ ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් ඇය තම වගකීම ඉටුකරන තුරු ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා ලෝලීහු මහත් උනන්දුවෙන් බලා සිටිති. එය එලෙසින් ඉටු කරමින් මෙවර කනිෂ්ඨ ලෝක කුසලානය අපේ මවුබිමට රැගෙන එන්නට වාසනා ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.