වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
වසර 250කට පසු

ඔබ පොත පතට, පරිවර්තන සාහිත්‍යයට ඇලුම් කරන්නේ නම් " ජේන් ඔස්ටින් " නම ඔබට ආගන්තුක නොවනු ඇති. ඇයගේ ජීවිත කාලය අවුරුදු 41කට සීමා වුණත් ජේන් ඔස්ටින් යන නම සටහන්ව ඇත්තේ ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ටයන් අතර.සිය කෙටි ජීවිත කාලය තුළ ඇය අතින් ලියැවුණු මුල්පෙළේ නවකතා ගණන 6 ක්. ඒ සියල්ල වාගේ වසර දෙසීයයකට වැඩි කාලයකට පසුව අදටත් ජනප්‍රියයි.
ලොව පුරා සිටින ජේන්ගේ රසිකයන්ට උදා වූ මෙම 2025 වසර වඩාත් සුවිශේෂී. ඒ, ඇයගේ 250 වැනි ජන්ම දින සැමරුම මේ වසරේ යෙදී ඇති නිසා. ඇය ලියූ නවකතා සියල්ල පාහේ මේ වනවිට සිංහලට පරිවර්තනය වී තිබෙනවා.
ඒ " එමා" (Emma) , "ආදරයක අබිමන්", " අභිමානය සහ අගතිය "(Pride and Prejudice), "මැන්ස්ෆීල්ඩ් උද්‍යානය "(Mansfield Park) , " එලිනෝර් සහ මැරියන් " ( Sens and Sensibility) යනුවෙනි.
ජේන් ඔස්ටින් එංගලන්තයේ , හැම්ප්ෂයර් හිදී , ජෝර්ජ් ඔස්ටින් හා කැසැන්ඩ්‍රා යුවළට දාව 1975 දෙසැම්බර් 16 වැනිදා උපත ලැබුවේ , ඔස්ටින් පවුලේ සත්වැනි දරුවා මෙන්ම බාලම දියණිය ලෙසයි. එම මුල් නිවෙස අද දක්නට නොවෙතත් ඇය ජීවත් වූ නිවෙස " ඔස්ටින් හවුස්" එංගලන්තයට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණයට ද ලක්වූවක්. එහි ඇය පිළිබඳ මතක සැමරුම් දැකගත හැකියි.පසුකාලීනව (වසර 1801-1806) ඔවුන් ජීවත් වූ "බාත් "නගරයට ද සෑම වසරකම ජේන් වෙනුවෙන් ඇයගේ රසිකයන් එක් රොක් වන්නේ ඇය පිළිබඳ මතක ජීවමාන කිරීම වෙනුවෙන්. ජේන් ගැන ඔවුන් තුළ ඇති නොවෙනස් ආදරය ගැන හොඳම නිදසුන රාජකීය අධිකාරී නිල ඇඳුමෙන් සැරසී ඇය සැමරීමට එක්වෙමින් එවැනි වැඩිම පිරිසක් එකම ස්ථානයක රැස්වූ අවස්ථාව වශයෙන් එය ලෝක වාර්තාවක් ලෙස සනිටුහන් කිරීමයි.
කවි ලියමින් ජේන් සාහිත්‍යකරණයට යොමුවන්නේ පාසල් වියේ පටන්මයි. 20 හැවිරිදි වියේ දී ඇය ටොම් ලෙෆ්‍රොයි නම් තරුණයෙක් හා පෙමින් වෙළී සිටි අතර විවාහය පිළිබඳ අපේක්ෂා ඔවුන් තුළ පැවැතියා. එසේ වුවද ලෙෆ්‍රොයි බැරිස්ටර්වරයෙක් වීමට ලන්ඩන් නගරයට යාමත් සමඟ යළි කිසිදිනෙක ඔවුන් හමුවූයේ නෑ. ජේන් සිය කුළුඳුල් නවකතාව Pride and Prejudice ලිවීම අරඹන්නේ මේ විරහ කම්පනය දරාගනිමින්.ඇය අතින් බිහිවූ විශිෂ්ටම නිර්මාණය ලෙස ද සැලකෙන්නේ මේ නවකතාවයි.
පසුකාලීනව ඇයට ලැබුණු එකම විවාහ යෝජනාව වූයේ ළමාවියේ පටන්ම ඇගේ මිතුරෙක් වූ හැරිස් බිග් වෙදර්ගෙන්. මේ යෝජනාවට ඇය කැමැත්ත පළ කළ ද ඊට පසු දිනම ඇය හැරිස්ට දන්වා යවන්නේ එය තමන් අතින් සිදුවූ වරදක් බවයි. Mansfield Park මෙන්ම The Elliot කෘති ඇය ලියා අවසන් කළේ රෝගී තත්ත්වය යටපත් කරගනිමින්. සයමසක් තුළ Mansfield Park සියලු පිටපත් අලෙවි වී අවසන්.
මේ වනවිට 40 හැවිරිදි විය ඉක්මවා සිටි ඇයගේ රෝගී තත්ත්වය අයහපත් අතට හැරුණු අතර සිය සොහොයුරිය ජීවත් කරවීමට සොහොයුරා දැරූ ප්‍රයත්නය පරාජය කරමින් 1817 ජූලි 18 වැනිදා ඇය දිවිගමන නිමාකර තිබුණා.ඇයගේ දේහය මිහිදන් කෙරුණේ වින්චෙස්ටර් දෙව්මැදුරේ.
මෙවර, ජේන්ගේ 250 වැනි ජන්ම දින සැමරුම් ඇරඹෙන්නේ Grand Promenade හිදී. බාත් නගරය ද එම කේන්ද්‍රස්ථානයක්. පියාගේ අභාවයත් සමඟ ඔස්ටින් පවුල බාත් නගරයෙන් නික්මෙන්නේ එම දුක්බර මතකයත් රැගෙන.එසේ වුවද, පසුකලෙක ජේන්, සිය සොහොයුරා ද සමඟ එහි පැමිණෙන්නේ සිය තුරුණු විය මතක අතර සරන්නට විය හැකියි.
වරාය නගරයක් වන "සදම්ප්ටන්" ද ජේන් ගේ ජීවිතය සමඟ අවස්ථා 3 කදී ම සම්බන්ධයි. කෙටි කාලයක් එහි නේවාසික පාසලක ඇය ගතකර තිබීම මෙන්ම සිය 18 වැනි උපන් දිනය සැමරූ, ඉතිහාසයක් ඇති "ඩොල්පින් හෝටලය" එම නගරයේ පිහිටා තිබීමත් ඊට අයත්. මේ වර්ෂයේ ජේන් ඔස්ටින් සැමරුම්වල තවත් විශේෂයක් වන්නේ, සදම්ප්ටන්හි දී, ජේන් ලිවීමේ යෙදුණු මේසය ප්‍රදර්ශනය කිරීමයි. තැනින් තැන පහසුවෙන් රැගෙන යා හැකි එය මැහෝගනී ලීයෙන් කරන ලද්දක්.
ඇය, Pride and Prejudice නවකතාවේ මුල්පිටපත ලියා ඇත්තේ ද සිය පියාගෙන් ලද තිළිණයක් වූ එම මේසයේ සිටිමින්.
ජේන්ගේ සමකාලීනයෙක් මෙන්ම රසිකයෙක් ද වූ හතරවැනි ජෝර්ජ් රජු ඉදිකළ "බ්‍රයිටන් රාජකීය මහා මණ්ඩපය" ද මෙවර සැමරුම් සිදුවන තවත් පරිශ්‍රයක්. එහි බාල් සංදර්ශන පැවැත්වෙනවා.
මෙවර වඩාත් විශේෂිතව වසර පුරා පැවැත්වෙන සිනමා සංදර්ශන, නාට්‍ය දර්ශන, නැටුම් සංදර්ශන, සංගීත උළෙල, ප්‍රදර්ශන ආදී නන්විධ සෞන්දර්යාත්මක අංග ජේන් ඔස්ටින් කෙරෙහි ලොවපුරා ඇයගේ රසිකයන් තුළ ඇති ආදරය සංකේතවත් කරනු ඇති අතරම සංචාරක ආකර්ෂණීය ඉසව් ද වනු ඇති.