ගගන වන් නැඟණීට ආදරෙන්...

පෙබරවාරි 3, 2025

 

ඔයාට මතකද ඔයා ලොකු ළමයෙක් වුණු දවස. එදා අපි ගේ පිටි පස්සෙ කරාඹු ගස් යට මොකක් හරි සෙල්ලමක් කර කර හිටියෙ. උඩහ ගෙදර රේණුකක්කත් අපිත් එක්ක හිටියා. මට මතක අපි හිටියේ බට්ට පැන පැන.

 

බට්ටෙ උඩම කොටුවට වීසි කරලා කොටු ටික පැනගෙන පැනගෙන ඇවිත් ඔයාට තිබ්බෙ කිරි මුහුදට ගිහින් දිය ද ගොඩ ද අහන්න විතරයි. එකපාරටම මැදට පැනලා රේණුකක්කා ඔයාව තුරුලු කරන් ගේ ඇතුළට ගිහින් ටික වෙලාවක් ගියහම තමා කාරණාව වැටහුණේ. ඔයා කාමරේට වෙලා හිටපු දවස් ටිකේ නම් මට මහ පාළුවක් දැනුණා. ඔයාව වතුර නාවලා එළියට ආපු දවසෙ ඔයාගේ මූණ දිහා බලන්නත් මට පොඩි ලජ්ජාවක් තිබුණා. ඒත් ඔයා හරිම පණ්ඩිත විදිහට මා ගාවට ඇවිත් මාව ඉම්බා.

 

ගෑනු ළමයෙකුගෙ යෞවනෝදය කියන්නෙ ඉමිහිරිම කාලයක්. ඒක මල් දාස් ගාණක සුවඳ එකට මුසු වෙලා හමන උද්‍යානයක් වගේ මිහිරි ආගන්තුක හැඟුමාවලියක්. හෝමෝන විපර්යාසත් එක්ක ඇඟ ඇතුළෙ සිදුවන වෙනස් වීම හිතට දැනෙන්න ගන්නවා. හිතට දැනෙන ඒ ඉමිහිරි හැඟුමාවලිය එයාගේ හැසිරීම් ඉරියව්වලින් පවා ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. කණ්ණාඩිය ඉස්සරහ හැඩ බලන කාලය වැඩි වෙනවා.. තනියම හිනා වෙනවා. පිරිමි අය දිහාට කාන්දමක් වගේ ඇදිලා යන්න පටන් ගන්නවා. ඇත්තටම මේක සංක්‍රාන්ති කාලයක්. ඒ කියන්නෙ අවුරුද්දකට වතාවක් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙන කොට එන නොනගතේ වගේ කාලයක්. මෙතැනදි වෙන්නෙ ගෑනු ළමයා කෙළිලොල් ළමා වියෙන් වැඩිවියට පිවිසෙනවා.. නොනගතේ අවුරුද්දකට වතාවක් ආවත්, ගෑනු ළමයෙකුගේ ජීවිතේ මේ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නෙ එක වතාවයි. ඉතින් ඒක තේරුම් අරගෙන ඒ කාලය පරිස්සමින් ගෙවන්න ඕ‍ෙන. මේ ඉමිහිරි හැඟුම්වලින් කුල්මත් වෙලා වල්මත් වෙනවද කියල හොඳ සිහියෙන් තීරණේ කරන්න ඕ‍ෙන කාලයක් මේක.

 

නංගී, බෞද්ධ සාහිත්‍යයයේ හමුවන ගෑනු ළමයි ගොඩ දෙනෙක් සොළොස් හැවිරිදි වයසෙදිම, ඒ කියන්නෙ අවුරුදු දාසයෙදිම තමන්ගෙ පළමු ආදර හැඟීමෙන් මත් වෙලා ඒ හැඟීමෙම ගොදුරක් බවට පත් වුණු හැටි දක්වලා තියෙනවා. සද්ධර්මරත්නාවලිය ලියන ධර්මසේන හාමුදුරුවො පටාචාරා වහන්දෑගේ කතා පුවතෙදි සිටු පවුලක තරුණ දුවක් රැක ගන්න මවුපියන් ගත්ත අසාර්ථක වෑයම සෝපහාසෙන් ලියල තියෙනවා. ඒත් වැඩක් වෙන්නෙ නෑ. අම්මයි, තාත්තයි සුදුසු සිටු පුත්‍රයෙකුට දුව ව විවාහ කරල දෙන්න ඔක්කොම කටයුතු ලෑස්ති කරලා නැකැත් එහෙමත් බලලා නෑදෑයන්ටත් කියල තියෙද්දි මේ ගෑනු ළමයා සිටු මැදුරෙම හිටපු දාසයෙක් එක්ක පැනලා යනවා. කුණ්ඩලකේසී කතාවෙත් හරිම ලස්සන යෞවනියක් වුණු කුණ්ඩලකේසී රැක ගන්න සිටුවර මවුපියන් සත් මහල් මාළිගාවේ උඩු මහලෙ නිදන කාමරේක ඇයව සිරකාරියක් කරලා තිබ්බා. ඒත් වැඩක් වුණේ නෑ. කරට වද මල් මාලයක් දාලා, කසෙන් තළ තළා පාරේ මරන්න ගෙනියන හොරෙක් දැකලා කාමයෙන් මත් වෙලා ඒ හොරාවම ඕ‍ෙන කියලා, කුණ්ඩලකේසී සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬන පොඩි දරුවෙක් වගේ හිතුවක්කාරකම් කළෙත් අවුරුදු දාසයෙදි.