වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
කන්තෝරු නෝනා
08 වැනි දින සටහන
ඇත්තටම අපිට වැරදුණේ කොතැන ද…?
2016 මාර්තු 12 වැනි සිකුරාදා
උදේ අඳින්ඩ සාරිය අතට ගන්නකොට මහ කට කාරවන ගඳක් ආවා. තව ටිකක් මූණට ළං කරලා බලද්දි තමයි තේරුණේ ඒක චූ ගඳක් කියලා. බල්ලෙක්, පූසෙක්වත් ගෙදර නැතුව මොකා චූ කළා ද කියලයි මට හිතාගන්ඩ බැරි වුණේ.
“ කොහෙන්ද තිස්ස මේ සාරියට චූ ගඳක් ආවේ ? "
" මගෙන් අහන්නෙ ? මොකද මං සාරි අඳිනව යෑ. අනික දවස ගානෙ රෙදි ටික හෝදන්නැතුව කුණු කර කර අඳිනකොට ඔහොම ගඳ ගහන එකේ පුදුමෙකුත් නෑ. ආහ්…එකත් එකටම ඔයා අන්තිමට ඕක ඇඳන් ගිය දවසෙ ලොක්කා ඔයාට රෙද්දෙ චූ යන්ඩ දෙසන්ඩ ඇති. නැද්ද මං අහන්නෙ ? “
තිස්සට නම් විහිළු. දවස ගානෙ සාරි හෝදන්ඩ ගියොත් හොඳට හිටී. හෝදන්ඩ හෝදන්ඩ සාරි පරණ වෙනවා මදිවට කාටද ඕවට වෙලාවක් තියෙන්නෙ. ඊටත් සාරියක් කියන්නෙ තිස්සගෙ කමිස කෑල්ලක් වගේයෑ. යාරම හයක්නෙ. යාර හයක් හෝදන්ඩ සබනුත් සුළුපටු කන්දරාවක් ද ?
අලුතෙන් හැට්ට මැද මැද ඉන්ඩ වෙලාවක් නැති හින්දා අන්තිමට අල්මාරිය අවුස්සල වැඩිය පොඩිවෙන්නැති පරණ සාරියක් ඇන්දා. පරණ සාරියක් ඇඳන් ගියා වාගෙ නෙමේ දවසම ඔෆීස් එකේ විචිකිච්ඡාවෙනුයි ඉන්ඩ වුණේ. ඇයි ඉතින් මොකියක් හරි,
" අයියෝ සාම ඩියර් ඇයි මේ පරණ සාරියක් ඇඳලා. තිස්සට කියන්ඩකො අලුත් එකක් ගෙනත් දෙන්ඩ කියලා ", කිව්වනම් හේම හිත රිදෙන්නැති උත්තරයක් දෙන්ඩ කොයි තරම් නම් ඉවසිල්ලක් ඉවසන්ඩ ඕනෙ ද ?
වැඩට ගිහින් ආව ගමන්ම කළේ රැක් එකේ තිබුණ ඉතුරු සාරි ටික ඉඹලා බලපු එක. බැලුවම ගොඩක් ඒවා චූ ගඳයි. පුදුමෙ කියන්නෙ තෙතමනේකුත් නෑ ගඳ විතරයි. මං සාරි ඉඹ ඉඹ ඉද්දි පුතා දෙතුන් පාරක්ම කාමරේට ඇවිත් හොරගල් අහුලපු විදිහ මට ඇල්ලුවෙ නෑ. කොහොමත් ඉතින් කැරපොත්තෙකුට හරි හූනෙකුට හරි සාරියක් ගඳ ගස්සන්ඩ තරම් චූ කරන්ඩ බෑනෙ.
" ඈ පුතේ, ඔයා අම්මගෙ සාරිවලට චූ කළා ද ? ඇත්ත කියන්ඩ චූ කළා ද ? "
මෙච්චර ලොකු ළමයෙක් ගේ ඇතුළෙ චූ දානවා කියලා හිතන්ඩ අමාරු වුණත් කොල්ලෙකුට මිසක කෙල්ලෙකුට පුළුවනෑ අච්චර උස රැක් එහෙකට චූ කරන්ඩ.
" නෑ.. නෑ… මම නම් නෙමේ. "
" එහෙනම් ? "
" නංගි…"
" ඈං. "
" නංගි හැමදාම චූ දාලා ඇවිත් චූ පැත්ත පිහින්නෙ අම්මගෙ සාරිවලින්නේ "
" මොකක්…?"
" අනේ අම්මෙ නංගිට ගහන්ඩ නම් එපා. මං නංගිට එපා කියල කිව්වම නංගි කිව්ව චූ හෝදන්ඩ අම්ම නැති හන්දා අම්මගෙ සාරිවලින් පිහිනවා කියලා. අම්මගෙ සාරිවලින් පිහිනකොට අම්ම පිහිනවා වගේ දැනෙන්නෙ කිව්වා. අනේ අම්මෙ නංගිට ගහන්ඩනම් එපා "
" නෑ පුතේ මං ගහන්නෙ නෑ."
මට එහෙම කියන්ඩ ඕනෙ වුණත් පපුව හිරවෙච්චි පාරට මගෙ කටින් පිට වුණේ හුස්ම විතරයි. ඉවසගන්ඩ බැරි දුක හිතේ හිර කරගෙන මං පුතාවත් තුරුලු කරන් දුව ළඟින් ඇලවුණා. චුල්බූලිව තුරුලු කරන් හීනෙන් හිනාවේවී නිදියන කෙල්ල දැක්කම දරුවො දෙන්න ගැන මගෙ හිතේ ඇති වුණේ කියාගන්ඩ බැරි දුකක්. ඒ දුකට රෑට කාපු ටිකත් දාලා පිච්චිලා ගියා. ඔක්කෝම කරන්නෙ මේ පැටවු දෙන්න වෙනුවෙන් වුණාට කොහේ හරි තැනක මටයි තිස්සටයි වැරදුණා කියලමයි රෑ තිස්සෙම මට කල්පනා වුණේ.