එක සෙත් කවියෙන් ජීවිතයම ගොඩ

පෙබරවාරි 10, 2025

නිර්මාංශක, පංචශීලය සුරකින සිල්වත් තැනැත්තෙකු නම් එහි ප්‍රතිඵලය ද ප්‍රබලය. එසේම එම සෙත්කවිය නිවැරැදි ලෙසින් උච්චාරණය කර ගායනා කිරීම ද නියම රිද්මයට අනුව සිදු කිරීම කළ යුතු වෙයි.

 

සෙත්කවිය යනු ශබ්ද තරංග අනුව නිර්මාණය වූ ප්‍රබල අාධ්‍යාත්මික බලවේගයකි. මෙය දෙවියන් හා මිනිසුන් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස ද සලකයි. ඈත අතීතයේ පටන්ම දිගු ඉතිහාසයක් ඇති සෙත්කවියේ බලය පිළිබඳ බෞද්ධ බැතිමතුන් වැඩි වශයෙන්ම විශ්වාස තබයි. භාරතීය හින්දු ආගමික ආභාසය තුළින් ගොඩනැඟුණු සෙත්කවිය විවිධ තාල හා ස්වරයන්ට අනුව නිවැරැදි ලෙස උච්චාරණය කිරීම හා නිවැරැදි ලෙස සිදු කිරීමෙන් නියත ලෙසම තම අපේක්ෂා, බලාපොරොත්තු, ඉලක්ක සාර්ථකව ඉටුවෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. එසේම සෙත්කවියක් නිවැරැදි ලෙස ගණ පිහිටුවා නිර්මාණය නොකිරීම හා ගායනා කිරීමෙන් වස්කවියක් බවට පත් වී වස් වදින බවට ද විශ්වාසයක් බැතිමතුන් තුළ පවතී.

ඒ අනුව ඕනෑම ක්‍රියාවක හෝ කටයුත්තක නිවැරැදි ගුණය හා ප්‍රතිඵලය ලබන්නට එය නිසි ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතු වෙයි. සාමාන්‍යයෙන් රෝගයක් හටගත් විට අපි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වෙමු. එම වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කිරීමෙන් රෝගය සුව වෙයි. ඒ අයුරින්ම සෙත්කවියක ප්‍රතිඵලය ද ලබා ගැනීමට එම කවිය රචනා කර දුන් උපදෙස් අනුව ගායනා කළ යුතු අතර, අපේක්ෂිත ප්‍රතිඵල ලැබීම සඳහා නිවැරැදි පිළිවෙත්. අනුගමනය කළ යුතු වෙයි.

සෙත්කවියක් කීමට යොමු වන්නේ අපට විශාල කරදර බාධක, ගැටලු ඇති වූ අවස්ථාවකය. මෙලෙස සෙත් කවි ගායනයේදී ඒ පිළිබඳ වූ විශ්වාසය හා භක්තිය ද ඉතා වැදගත්ම සිද්ධාන්තයකි. මෙලෙස සෙත්කවියක් කීමට පෙර අප අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් ද වෙයි. එසේම දෙවියන් සමඟ මනා සම්බන්ධතාවකින් කටයුතු කිරීම ද කළ යුතුය. සෙත්කවියක් කීමට දින දෙක තුනකට පෙර මස්, මාළු, බිත්තර අනුභව නොකර සිටීම පමණක්ම ප්‍රමාණවත් නොවෙයි. මෙලෙස සෙත්කවියක් කියනු ලබන පුද්ගලයා නිර්මාංශක, පංචශීලය සුරකින සිල්වත් තැනැත්තෙකු නම් එහි ප්‍රතිඵලය ද ප්‍රබලය. එසේම එම සෙත්කවිය නිවැරැදි ලෙසින් උච්චාරණය කර ගායනා කිරීම ද නියම රිද්මයට අනුව සිදු කිරීම කළ යුතු වෙයි.

සෙත්කවියක් කීමේදී අනුගමනය කරන පිළිවෙළක් තිබේ. සෙත්කවියක් ගායනා කිරීමට පෙර බෝධි පූජාවක් පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කළ යුතුය. එසේම මෙසේ සෙත්කවිය කීමට මුල් වූ පුද්ගලයා මෙකී බෝධි පූජාවටම සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්ය. එසේ පැමිණීමට නොහැකිව රෝගාතුරව සිටියි නම් එම රෝගී පුද්ගලයන්ගේ නම සඳහන් කරමින් පින් අනුමෝදන් කරමින් බෝධි පූජාව පැවැත්විය යුතු වෙයි. මෙසේ බෝධි පූජාව පවත්වා ලැබෙන පිං පළමුව අනුමෝදන් කළ යුතුය.

එය අනුමෝදන් කළ යුත්තේ සෙත් කවිය යොමු කරන දෙවියන්ටය. මෙසේ අනුමෝදන් කිරීමෙන් අනතුරුව දේව මණ්ඩලයේ සිටින අනෙකුත් දෙවිවරුන්ට ද පින් අනුමෝදන් කිරීම සිදුකළ යුතු වෙයි.

මේ ආකාරයෙන් පින් දීමෙන් පසු සෙත්කවිය ගායනා කිරීමට පෙර දෙවියන් උදෙසා පඬුරු හා පූජාවන් සිදු කළ යුතුය. මේ සඳහා පලතුරු වට්ටියක් හෝ පූජා භාණ්ඩ පූජා කිරීමෙන් පසුව සෙත්කවිය ගායනා කිරීම ඉතාම සුබය. ඔබ පූජා වට්ටියකට පලතුරු තබන විට එම පලතුරු හොඳින් සෝදා ඇස්ස කපා දමා එම පලතුරුවල සුවඳ විහිදෙන ලෙසින් අසුරා එය පූජා කරන්න. පලතුරු වට්ටියට තබන කැවිලි වර්ග හා පලතුරු වර්ග දෙවියන්ගෙන් දෙවියන්ට වෙනස් වෙයි.

ඒ අනුව ඔබ පින් අනුමෝදන් කරනු ලබන දෙවියන් ප්‍රිය කරන පලතුරු හා කැවිලි වර්ග ගැන දැනගන්න.

දැන් ඔබ කළ යුත්තේ සෙත් කවිය ගායනය කිරීමයි. එම සෙත් කවිය ඔබට ගායනා කළ නොහැකි නම් පවුලේ සමීපතමයෙකු සහභාගී කරගන්න. සෙත්කවි නිර්මාණයේදී ද එම කවි නිර්මාණය කිරිමේ පදනමක් ඇත. ඔබ සෙත්කවිය කියනු ලබන්නේ විභාගයක් හෝ තරගයක් ජයග්‍රහණය කර ගැනීමට නම් එම විභාගය හෝ තරගය ජයග්‍රහණයට අවශ්‍ය ශක්තිය හා බලය, අාරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා සෙත්කවිය රචනා කළ යුතුය.

ඕනෑම විභාගයක් හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ඇත්තේ දෙවියන්ට නොව ඔබටය. දෙවියන්ට ඒ සඳහා ශක්තිය, බලය හා මඟ පෙන්වීම කළ හැකි වෙයි. නමුත් ඒ සඳහා කිසියම් පදනමක් හෝ සුදුසුකමක් ඔබට තිබිය යුතුය. එසේම අාධ්‍යාත්මික පරිසරයක් ද ඔබ අවට තිබීම අනිවාර්ය වෙයි.

සෙත්කවියකින් නියත ප්‍රතිඵල ලබා ගැනීමට නම් එම කවිය රචනා කළ පුද්ගලයාගේ පරිණතභාවය හා අාධ්‍යාත්මික පසුබිම ද ඉතා ප්‍රබල ලෙස හේතුවෙයි. ඇතැම් සෙත් කවි ගායනා කිරීමෙන් නියත ලෙසම ප්‍රතිඵල හිමි වූ අවස්ථා අනන්තවත් පවතී. විශේෂයෙන් බැතිමතුන් විශාල වශයෙන් වැඳුම් පිදුම් සිදු කරන ස්ථානයක මෙම කවිය කීමට තෝරා ගැනීම වඩාත් උචිතය. අප රටේ එවැනි සුප්‍රසිද්ධ ආගමික ස්ථාන රාශියක් පවතී. එසේම දේවස්ථාන ද වෙයි. ඔබ පින් අනුමෝදන්් කරනු ලබන දෙවියන් අනුව එම දෙවියන්ගේ රුව ඇතුළත් ආගමික ස්ථානයක් මේ කටයුත්ත සඳහා තෝරාගත් විට ඔබගේ සෙත්කවියේ බලය ප්‍රබල වෙයි.

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිෂඥවේදිනී අංක විද්‍යා විශාරද

සුජීවා කරුණාරත්න