මවුරටට ගෙනා මේ ජයග්‍රහණය මට ආඩම්බරයක්

පෙබරවාරි 10, 2025

 

සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන නින්නදි චමත්සරා ගොඩක් අය දන්නෙ 54 වැනි ජපන් ලෝක චිත්‍ර තරගාවලියෙන් රටවල් 56ක් සමඟ තරග කොට ලංකාව රනින් බැබළ වූ සිත්තරාවියක් විදිහටයි. පින්සලට විතරක්ම සීමා නොවුණු වර්ණ රටා මවන, වෙනස් විදිහට චිත්‍ර අඳින මේ පුංචි හුරුබුහුටි සිත්තරාවිය ඉගෙන ගන්නේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ 11 ශ්‍රේණියේ. ඈ දිනූ ජයග්‍රහණය ගැන ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. මේ ඈම පාට කළ ඇගේ කතාවයි. ඒ ජයග්‍රාහී සතුට සමඟින් ඈ තරුණියට හඬ අවදි කළේ මේ විදිහට.

 

"ඇත්තටම මේක මම විතරක් නෙවෙයි මුළු ලංකාවම ලැබූ විශාල ජයග්‍රහණයක් කියල මට හිතෙනවා. ජපානයෙන් සංවිධානය කරපු මේ චිත්‍ර තරගාවලියට රටවල් 56කින් තරගකරුවන් සම්බන්ධ වුණා. මම තරග කළේ අවුරුදු 13 - 14 වයස් කාණ්ඩය යටතේ. රන් පදක්කමක් හිමි වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කළ තවත් කාණ්ඩ කිහිපයකටම මට රන් පදක්කම් 14ක් ද හිමි වුණා.

 

මේ චිත්‍රයේ තියෙන විශේෂත්වය ගැන කතා කරමු?

මේ නිර්මාණය දිහා ටික වෙලාවක් බලාගෙන ඉද්දී කාන්තා රූප තුනක් සහ මිනිස් හිස් කබලක් චිත්‍රය තුළින් මතු වෙන අාකාරයට තමයි මේ නිර්මාණය කළේ. ඒ විශේෂත්වයත් මේ චිත්‍රය ජයග්‍රහණය කරන්න හේතුවක් වුණා. පළමු වැනි වටයේදී ඔවුන් කියලා තිබුණේ කැමැති චිත්‍රයක් අඳින්න කියලයි. ඒත් දෙවැනි වටයේදි එයාලා අපට මාතෘකා දුන්නා. “පරිසරයේ මායාව” කියන මාතෘකාවට තමයි අපිට අඳින්න ලැබුණේ. පැස්ටල් සහ දියසායම් මාධ්‍ය තමයි බොහෝ වෙලාවට මගෙ සිතුවම් සඳහා යොදා ගන්නේ. ඉතින් තරගාවලියේ චිත්‍ර සඳහා මම දියසායම් මාධ්‍ය යොදා ගත්තා.

 

මේ ජයග්‍රහණයත් එක්ක ලොකු ප්‍රතිචාර ලැබෙනවා අැති.

 

වැඩියෙන්ම සතුටු වුණේ මගේ ගෙදර අය. එතකොට මම අධ්‍යාපනය ලබන මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය මාව අගය කළා. ඒ වගේම පුවත්පත් කිහිපයකම මගේ ජයග්‍රහණය ගැන ලිපි පළ වුණා. ඉතින් ඒ දේවල් එක්ක මට ලොකු සතුටක් දැනෙනවා.

 

චිත්‍ර අඳින්න පටන් ගන්නේ කොහොමද?

 

තේරෙන කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න පුළුවන් කම තිබුණා. නමුත් තුන වසරේ ඉඳන් තමයි මම හරියටම චිත්‍ර අඳින්න පටන් ගත්තා කියලා මට හිතෙන්නේ. මොකද මම චිත්‍ර කියන විෂයට වැඩි අවධානයක් යොමු කළේ ඒ කාලෙදී. ඊට පස්සේ මම පාසලේදී විෂයක් විදිහට චිත්‍ර කලාව හැදෑරුවා. මම සාමාන්‍ය පෙළ සඳහාත් චිත්‍ර කලාව විෂයයක් විදිහට හදාරනවා. පාසලේදී කලනි පූර්ණිමා මිස්ගෙන් තමයි ඉගෙන ගන්නේ. ප්‍රධාන චිත්‍ර කලා ආචාර්ය කමල් පුෂ්පකුමාර සර්ත් ගොඩක් උදවු කළා. විදුහල්පති රන්දුන් ජයලත් සර්වත් මතක් කරන්න ඕනේ.

 

මින් පෙර ජයග්‍රහණය කළ චිත්‍ර තරග ගැන කතා කළොත්?

 

2017 සොබා සිත් රූ තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2017 බස්නාහිර පළාත් සාහිත්‍ය හා චිත්‍ර තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2017-2018 මතුගම ආනන්ද ශාස්ත්‍රාලයීය වර්ණ රේඛා නන්දය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේ දෙවැනි ස්ථානය, මතුගම ප්‍රාදේශීය සභාවේ 2018 සාහිත්‍ය තරගාවලියේ චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, 2018 ගුවන් සිත්තරා තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2019 විද්‍යාලයීය වර්ණ රේඛා නන්දය චිත්‍ර තරගාවලියේ තෙවැනි ස්ථානය, 2022 වර්ෂයේ එම තරගයේ විශිෂ්ට කුසලතා සම්මානය සමඟ ප්‍රථම ස්ථානය, 2023 බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය, 2024 වර්ණ රේඛා නන්දය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය, 2024 මතුගම අධ්‍යාපන කලාපයේ සිත් රූ ප්‍රථම ස්ථානය ඇතුළු තව බොහෝ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. නමුත් ජාත්‍යන්තර තරගයකින් ජයග්‍රහණයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

 

නින්නදිට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොම ද?

 

ගෙදර හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. පාඩම් වැඩත් මම හරියටම කරන නිසා චිත්‍ර අඳින එකට කාගෙන්වත් විරෝධයක් නැහැ. හැබැයි පාඩම් වැඩවලට අමතරව මම කරන එකම දේත් චිත්‍ර අඳින එක තමයි. මොකද චිත්‍රයක් අඳිිනවා කියන්නේ හරියට භාවනාවක් වගේ වැඩක්. මනස සුවපත්ව තියාගන්න හොඳ ක්‍රමයක් විදිහටයි මම එය දකින්නේ. මේ ගමන එන්න ගෙදර ලොකු ශක්තියක් වුණා. අම්මා තනූජා හර්ශනි, අප්පච්චි චරිත් ප්‍රසන්න. අප්පච්චි හොරණ ඩිපෝවේ ගිණුම් කළමනාකරුවෙක් විදිහට සේවය කරනවා. මට නංගි කෙනෙක් ඉන්නවා. එයා සස්මිතා ලක්දිනි. එයාටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්.

 

හීන දකින්නේ අනාගතයේදී කවුරු වෙන්න ද?

 

අද කාලේ මොන දේ කළත් අධ්‍යාපනය නැතුව ලොකු අනාගතයක් නැහැ. ඉතින් අධ්‍යාපන කටයුතුවලට තමයි මම මුල් තැන දෙන්නේ. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වගේම කලාකාරිනියක් වෙන එක තමයි මගේ එකම හීනය. ඉතින් දවසක මම ඒ හීනය සැබෑවක් කරගන්නවා.

[email protected]