වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රී ලංකාවේ කාන්තා ලකුණ මිනට් ද සිල්වා

ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු නූතන ගෘහ නිර්මාණ ශිල්පිනිය මෙන්ම බ්‍රිතාන්‍යය රාජකීය ගෘහනිර්මාණ ශිල්පි ආයතනයේ(RIBA) සාමාජිකත්වය ලද පළමු ආසියාතික කාන්තාව ද වන ඇය, මිනට් ද සිල්වාය. සමකාලීන අවධියේ දී වෘත්තීය මට්ටමින් ගෘහ නිර්මාණ ශිල්පයේ නියැළි කාන්තාවන් ලොවටම සිටියේ දෙදෙනෙක් පමණක් වන අතර ඉන් එක් අයෙකි ඈ.
1940 ගණන්වලදී , ඒ වන විට කාන්තාවන් අවතීර්ණව නොසිටි ක්ෂේත්‍රයක නියැළෙමින් ඉදිරියට යාම කොපමණ අභියෝගාත්මක වී ද යන්න ඇය පසුකලෙක සිහිපත් කර තිබුණේ , " මම නොතකා හැර තිබුණේ ගැහැනියක වීම නිසා..." යනුවෙන් පවසමින්. කවර පසුබෑම් හමුවේ වුවද තමන් අතිශය ප්‍රිය කළ වෘත්තීය ක්ෂේත්‍රයේ ඇය ඉහළටම ගියේ, දිරිය දියව යන්නට නොදෙමින්.එය එසේ නොවන්නට ඇය ක්ෂේත්‍රයට ඉතිරිකොට ගිය ඉහළ කලාත්මක හා නිර්මාණාත්මක බවින් යුතු නිර්මාණ අපට දැකගැනීමට නොලැබෙනු ඇති. ජාත්‍යන්තර අවධානයට ලක්වූ ගෘහ නිර්මාණ ශිල්පිනියක වුවද, ඇය බොහෝ දුරට මෑත ඉතිහාසයේ යටපත්ව ගිය චරිතයක් .
මිනට්, නූතන ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම දේශීය කලා සම්ප්‍රදායත් සිය වෘත්තීය භාවිතයේ දී මනාව ගැළපීමට සමත් වූවා.ඇය නිමැවූ නිර්මාණ අතරින් මහනුවර කලා සංගම් ගොඩනැඟිල්ල වඩාත් ප්‍රකටයි.කොළඹ සේරම් නිවෙස, සේනානායක මහල් නිවාස සංකීර්ණය, ප්‍රනාන්දු නිවෙස, පෙරේරා නිවෙස, පීරිස් නිවෙස, අමරසිංහ නිවෙස, බොල්ගොඩ මොලමුරේ නිවෙස, මහනුවර රාජ්‍ය සේවක නිවාස යෝජනා ක්‍රමය හා මහනුවර අල්ගනන් කරුණාරත්න නිවෙස ඉන් කිහිපයක්. කරුණාරත්න නිවෙස ඇය මෙරට කළ පළමු නිර්මාණය ලෙස සැලකෙනවා.
මේ නිර්මාණවල ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ විමසන විට මිනට් ද සිල්වා නම් ගෘහ නිර්මාණ ශිල්පිනිය සතුවූ අනාගතවාදී දැක්ම පැහැදිලියි.
1918 පෙබරවාරි 1 වැනිදා ඇය උපත ලැබුවේ මහනුවර දී. ඇය ප්‍රකට දේශපාලනඥයෙක් වූ ජෝර්ජ් ඊ ද සිල්වා සහ ඇග්නස් ද සිල්වාගේ දියණියයි. මව, බර්ගර් ජාතික කාන්තාවක්. ඔවුන් යටත්විජිත විරෝධින් ද වූවා.
මිනට්ගේ ළමා විය ගත වන්නේ පළමු ලෝක යුද සමයේ. එය විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමට ද හරස් වූවා. පියා, තම දියණිය මෙවැනි ක්ෂේත්‍රයක් තෝරා ගැනීම ගැන අකමැත්ත පළකළද, ඉන්දියාවට යන ඇය ගෘහ නිර්මාණ ශිල්පි වෘත්තිය අරමුණු කර බොම්බායේ දී ඉගෙනීමේ කටයුතුවල යෙදුණා. ඉන්දියාවේ පළමු ගෘහ නිර්මාණ ශිල්පිනිය ලෙස සැලකෙන පෙරින් මිස්ට්‍රි හා ඇය සමකාලීනයන්. මේ ව විට ඉන්දියාව පුරා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව " ඉන්දියාවෙන් පිටවෙනු" ව්‍යාපාරය ඇවිළ යද්දි ඇයටද එරටින් පිටවීමට සිදුවුණා. සිය තරුණ විය දෙවැනි ලෝක යුද්ධයේ බිහිසුණු බව මැද ගෙවී යද්දී අරමුණ අත්නොහැරි ඇය යුද්ධය නිමාවූ පසුව ලන්ඩනයට ගොස් ගෘහ නිර්මාණ ශිල්පි ආයතනයෙන් සිය වෘත්තීය අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට සමත් වූවා. මේ අවධියේ දී ල' කොබෂියර්, හෙන්රි බ්‍රෙසන්, පැබ්ලෝ පිකාසෝ, ලෝරන්ස් ඔලිවියර් වැනි ප්‍රකට චරිත ඇයට හඳුනාගැනීමට ලැබුණා.
යුද්ධයේ බලපෑම් හේතුවෙන් ඇතිවූ ආර්ථික පීඩනය හමුවේ සහ තම ආර්ථිකයද සකසුරුවම්ව හසුරුවා ගනිමින් ඇය නිරන්තරයෙන් සැරසුණේ ලාභදායි බොම්බායි සාරියෙන්. මිල අධික ආභරණ නොපැලඳි ඇයගේ වරලස මලින් සැරසුණා.මේ සරල බවම ඇයට විශේෂත්වයක් ගෙන එද්දී ඇය බොහෝ අවධානයට ද ලක්වූවා.
මිනට් ද සිල්වාගේ සේයාරූ අතරින් එක් ප්‍රකට සේයාරුවක් වන්නේ 1948 වසරේ දී , සාමය උදෙසා බුද්ධිමතුන්ගේ ලෝක සමුළුවේදී පැබ්ලෝ පිකාසෝ, මුල්ක් රාජ් ආනන්ද් සහ ජෝ ඩේව්ඩ්සන් සමඟ ඇය පෙනීසිටින සේයාරුවයි. ඇය, සාරියෙන් සහ වරලස මලින් සරසා සිටින අයුරු දැකිය හැකියි. සාරියක් ඇඳ ඉදි කරමින් ඇති නිවෙසක ඉණිමඟක සිටින තරුණ ගෘහ නිර්මාණ ශිල්පිනියගේ සේයාරුව ද ඇයගේ එකතුවට අයත් තවත් විශේෂ සේයාරුවක්.මේවා ඇය පිළිබඳ නිහඬව බොහෝ දෑ පවසනවා.
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමත් සමඟ මවුබිමට පැමිණෙන ඇය එතැන් සිට මහනුවර සිය නිවෙස පදිංචියට තෝරා ගනිමින් ඊට යාබදව Minet de Silva Studio of Modern Architecture නමින් සිය වෘත්තීය පරිශ්‍රය ද නිර්මාණය කළා.
බොහෝ විට ඈ සිහිපත් කළේ තමන්ට විශාල ආභාසයක් වූයේ උපන්දා පටන් හැදී වැඩුණු මහනුවරට ආවේණික කලා ශිල්ප හා කලා ශිල්පීන් බවයි. "මං පදිංචියට තෝරාගත්තේ රට මැද වගේම ජාතික සම්ප්‍රදායේ හදවත" යනුවෙන් ඇය පවසා ඇත්තේ මහනුවර සමඟ ඇයට ඇති බැඳීම පළ කරමින්.
විවාහ ජීවිතයට ඇතුළත් නොවූ ඇය ජීවිතයේ සැඳෑ සමයේ බෙහෙවින් හුදෙකලාව මහනුවර සිය නිෙවසේ ගතකළා. විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාට මෙන්ම පසු පරම්පරාවන්ට ද මිනට් ද සිල්වා ආභාසයක් වූ බව පැහැදිලියි. අද පවා කොළඹ, නුවර හෝ අන්තැනෙක ඇතැම් ඉදිකිරීම් නිර්මාණ ඇය පිළිබඳ මතක අවදි කරනවා. අද වනවිට ගෘහ නිර්මාණ ශිල්පිනියන් ක්ෂේත්‍රයේ බොහෝ ඉදිරියට ඇවිත්. ඔවුන්ගේ පුරෝගාමිනිය ඈ. මිනට් වෙත වරලත් ගෘහ නිර්මාණශිල්පී ආයතනයේ රන් පදක්කම පිරිනැමුණේ 1996 වසරේ දී. ඉන් දෙවසරකට පසු ,1998 නොවැම්බර් 24 වැනිදා මේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පිනිය කිසිවෙකුත් නොදැනම නිහඬව සිය දිවිගමන නිමාකර තිබුණා.
"The Life & Work of an Asian Woman Architect " නම් සේයාරූමය ස්වයං චරිතාපදානය මෙන්ම අනුරාධා අයියර් සිද්දික් විසින් රචිත "Intersections" කෘතිය ද ශිරෝමි පින්ටෝගේ "Plastic Emotions" නවකතාව ද ඇයගේ ජීවිතය පිළිබඳ ලියැවී ඇති කෘතීන්.