පැය 24ත් මදි ද?

පෙබරවාරි 17, 2025

දවසකට පැය විසි හතරත් මදි කියලා කියන කට්ටිය අපිට කොයි තරම් මුණගැහිලා තියෙනවද? හැබැයි දාර කම්මැළියෝ නෙවෙයි නම්, අපිට ඒ කියන දේ තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය විභාගයක්, එසයිමන්ට් එකක් එහෙම ළං වෙනකොට තමයි කාලයේ අගය දැනෙන්න පටන් ගන්නේ. කොහොම වුණත් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට නම් කොහොම කළත් කාලයේ අගය හොඳටම දැනෙනවා. ඒක තමයි ඇත්ත.

දැන් කාලයේ අගය දැනගෙන ඉඳීම එක දෙයක්. හැබැයි කොච්චරවාත් තමන් වෙනුවෙන් වෙලාවක් ඉතුරු කරගන්නවත් බැරි තරමට, කරන්න තියෙන වැඩ ඉවර කරගන්නවත් බැරි තරමට කාලය නැති නම්, ආන්න ඒක ප්‍රශ්නයක්. ඒකට හේතුව එක්කෝ, මනුස්සයෙක්ට කරලා ඉවර කරන්න බැරි තරම් වැඩ ගොඩගසා ගැනීම. එක්කෝ දුර්වල කාල කළමනාකරණය. ඉතින් ඔය දෙකෙන් කෝක වුණත් විසඳාගන්න අවශ්‍ය ප්‍රශ්න තමයි. හැබැයි හරියට කාලය කළමනාකරණය කරගත්තොත් ඕනෙ වැඩක් හරි වෙලාවට ගොඩදාගෙන නිදහසේ ඉන්න වෙලාවකුත් වෙන් කරගන්න පුළුවන්.

වැඩ කරනකොට වෙලාව ඉතුරු කර ගන්න ඕ‍ෙන නම් ලිස්ට් එකට වැඩ කරන එක බොහොම හොඳ පුරුද්දක්. ඒ තමයි කලින් දවසේ රෑම අද දවසේ කරන්න ඕ‍ෙන, කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික ලැයිස්තුවක් හදලා තියන එක. හැබැයි මෙතනදී කල්පනාකාරි වෙන්න ඕනෙ, දවසකට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් ලිස්ට් එකට ඇතුළත් කරන්න.

 

බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් ලෝකේ හිටපු සෑහෙන්න වැඩ කරපු මිනිස්සුන්ගේ ජීවන චර්යාවන් අධ්‍යයනය කළොත් පේන දෙයක් තමයි, ඒ හැම කෙනෙක්ම උදැහැනැක්කෙන්ම නැඟිටලා වැඩ කරපු උදවිය කියන එක. ඇත්තටම පාන්දරම නැඟිටිනවා කියන්නේ ඇඟටත් ෆිට්. වැඩ සෑහෙන්න දුරට ඉවර කරලා කලින් නිදාගන්නත් පුළුවන් වෙනවා.

 

දැන් කාලේ ඔෆිස් එකකදී වුණත්, ගෙදර දොරේදී වුණත් අපිට සෑහෙන්න මල්ටිටාස්කින් කරන්න වෙනවා. ඒ කියන්නේ වැඩ කීපයක් එක පාර කරන්න වෙනවා. හැබැයි මල්ටිටාස්කින් කියන්නේ අර අත් දෙකකින් පොත් දෙකක එක පාර ලියනවා වගේ වැඩක් නම් නෙවෙයි. අපි මොකක් හරි වැඩක් කරන්න ගියහම, ඒක අපිට ගිනි කසේට එහෙන් මෙහෙන් දමලා ගහන්නත් පුළුවන්. හෙමීට හෙමීට නාකි බල්ලෝ කොළඹ යනව වගේ කරන්නත් පුළුවන්. ඒ වගේම කඩිසරව කොලිටියත් රැකගෙන ඉවර කරන්නත් පුළුවන්. මෙතනින් වැඩියෙන්ම හරි යන්නේ තුන්වෙනි එක. ඉතින් මොන වැඩේ කළත් අවධානය වෙන පැත්තකට යොමු නොකර හොඳ කොලිටියට, හරිම වෙලාවෙදි ඉවර කරන්න.

 

සාමාන්‍යයෙන් අපේ වැඩ ලැයිස්තුව බැලුවොත්, විනාඩි පහෙන් දහයෙන් ඉවර කරන්න පුළුවන් වැඩත් කීපයක් හරි තියෙනවා. හැබැයි අපි ඒවා අල්ල අල්ල තියාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට අර වෙලාව ගතවෙන ලොකු වැඩ තමයි අපි මුලින් කරන්න ට්‍රයි කරන්නේ. අන්න ඒ ක්‍රමය අයින් කරන්න. මුලින්ම අර විනාඩි පහේ දහයේ වැඩ ටික කරලා ඉවර කරන්න. ඊට පස්සේ ප්‍රමුඛතා පිළිවෙළට අනික් වැඩ කරන්න උත්සාහ කරන්න. හැබැයි ජීවිතය කියන්නේ වැඩ විතරක්ම නෙවෙයි කියන එකත් මතක තියාගන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ හැපනින් ලයිෆ් එකක් ලබා ගන්නයි. ඉතින් වැඩ කරලා වැඩ කරලා ඉතුරු වෙලාවෙත් වැඩම කරන්න ගියොත් ජීවිතය එපා වෙලා යයි. ඒ නිසා ඉක්මනින් වැඩ කරලා හැපී එකේ ඉන්න හදාගන්න වෙලාවට ඒ ෆන් එක ගන්න අමතක කරන්න එපා. එතකොටයි ඊළඟ දවසේ ඊටත් වඩා උනන්දුවෙන් වැඩ කරන්න හිතෙන්නේ.

 

 

[email protected]