කවි හිත් හමුවන තැන

මාර්තා ග්‍රැහම් හා සාදයක කෙළවර
පෙබරවාරි 17, 2025

 

සාදයේ ඇරඹුමේ
නොයෙක් ගී පද අතර
ඒ රැඟුම් හති වැටෙයි
මගේ නෙත ගැටෙයි

එසමයේ මා අතින්
පරෙවියන්, සාවියන්,
මුවදෙනුන්ගේ නමට
නෙක කතා කියවෙයි
කවි ගීත ලියවෙයි

................................

අහම්බයකින්දෝ සතරැස ම හැපෙයි

................................

නොයෙක් රසමසවුලෙන්
සරාගික රතු වයින් ඔඩමකින්
ප්‍රේමයේ භෝජනය ඉතිරෙයි
අසම්මත සිගරැට්ටු
ඇවිළෙමින් දුම් රොටු ද පැතිරෙයි

................................

හෙළි නොවන රාත්‍රී සාදයට එළි වෙයි!

................................

ළඟ ළඟම වෙරි නොවන
ඔබ, හදට මී පෙවූ විතයි!
වියෝවේ ඇවෑමෙන්,
පාළුවෙන් - ශෝකයෙන්,
තැපෑලේ වදින්නට නියමිතයි!

 

කවිඳු බිම්සර පාඬිකෝරාල

කොළඹ විශ්වවිද්‍යාලය

 

කවිඳු බිම්සරගෙ මේ කාව්‍ය නිර්මාණය රාත්‍රි සාදයකදී තරුණයකුගෙ විචිත්‍ර කල්පනා තුළ මැවෙන මනස්ඍෂ්ටියක් හෙවත් ෆැන්ටසියක් පිළිබඳවයි. මේ මනස්සෘෂ්ටිය තුළ ඔහුට හමුවන්නේ කවුද? මාර්තා ග්‍රැහැම් නම් මේ සියවසේ වඩාත් කතාබහට ලක්වූ නර්තන ශිල්පිනියක්. ඇයගේ නම මාතෘකාවේදී හැර නැවත පාඨකයාට මුණගැහෙන්නෙ නෑ. ඇය මඟින් කවියා හැඟවුම් කරන්නෙ ඔහුට සාදයේදී තාවකාලිකව හමුවුණු නර්තනයේ යෙදුණු කාන්තාවක් විය හැකියි.

 

ඒ ඇස් හමුවීමෙන්ය ඔහුගේ මනස් සාදය ඇරඹෙන්නේ.

 

එය ඔහුගේ කවි සිතුවිලි මතුකරන, සරාගික, ප්‍රේමනීය සාදයකි. ඇය විසින් ඔහුට පෙවූ මීවිත ප්‍රේමයේ අධිමාත්‍රාවකි. එහි කෙළවර මේ රාත්‍රි සාදය වියෝගයෙන් මතුවන පාළුව, ශෝකය පමණක් ඉතිරි කර හමාර වෙයි. ඔහු කවියේ අවසාන පේළියෙන් මතු කරන්නෙ ඒ වියෝ දුක මතකයෙහි ගබඩා වී විටෙන්විට වේදනා ඇති කරන බව ඔහු දැනටමත් පසක් කර ඇති බවයි.

 

පොහොසත් භාෂාවක් භාවිත කිරීම මෙන්ම හොඳ ව්‍යුත්පත්ති ඥානයකින් කාව්‍යකරණයේ යෙදෙන කවිඳුට ඉදිරියේදී වඩාත් සාර්ථක ලෙස සාහිත්‍යකරණයේ යෙදීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

 

-----------------------------

අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය

දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.

දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව.මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතා මේ දිනවල යොවුන් නවකතාවක් එළිදැක්වීමට ලකලැහැස්ති වේ. “සීගිරි කාශ්‍යපට බර්ත් ඩේ එකක්“ නම් වූ මේ යොවුන් නවකතාව සීගිරි කාශ්‍යප යුගය පදනම් කර ගත් විද්‍යා ප්‍රබන්ධයකි.