වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ෆැන් හෝ ගේ කළු-සුදු පින්තූර සෙල්ලම

කළු-සුදු පින්තූර ගැනීමේ රුසියෙක් ඉන්නවා නම් ඒ ෆැන් හෝ තමයි. මාව දැඩිව කලඹපු ඔහුගේ එක පින්තූරයක් නම් කරලා තිබුණේ 'සෙවණැල්ලට ළඟා වෙමින්' කියලා. මේක ජ්‍යාමිතික හැඩයක් තියෙන ඡායාරූපයක්. ලාලිත්‍යවත් පෙනුමකින් බිත්තියකට හේත්තු වෙලා ඉන්න කාන්තාවක් වෙතට හෙවණැල්ලක් වැටිලා තියෙනවා. මේ හෙවණැල්ල ඇයත් බිත්තියත් අතරේ කෝණයක් හදලා තියෙන්නේ.
ඊළඟ පින්තූරෙට නම දීලා තියෙන්නෙ ‘මෝස්තරය’ කියලා. මේ පින්තූරෙ ආලෝකය, අඳුර එක්ක කරපු සෙල්ලමක් නෙවෙයි. හරිම වෙලාවට අදාළ රූපය ස්ථානගත කරලයි 'මෝස්තරය' අරන් තියෙන්නෙ. විශාල බිත්තියක පළුඳු සුදුවෙන් පිරියම් කරලා තියෙනවා. පසුබිම වෙනත් තද පාටක්. කළු-සුදු නිසා ඒ මොන වගේ පාටක්ද කියලා නිශ්චය කරන්න අපහසුයි. නමුත් දිගින් දිගටම මේ පින්තූරෙ දිහා බලාගෙන ඉන්න හිත බල කරනවා. හොංකොං වීදියක 1956දී ගත්ත මෝස්තරය ඔන්න දැන් මගේ ඇහෙන් පැනලා යනවා. ඒ පැනලා යන්න ෆැන් හෝ කියන්නෙ කවුද කියලා කියන්න බල කරමින්. ෆැන් හෝ උපන්නෙ 1937 ඔක්තෝබර් 08 ෂැංහයිවල. තමන්ගෙ පවුලෙ ඈයොත් එක්ක කුඩා කාලෙම හොංකොංවලට සංක්‍රමණය වෙන්න සිද්ධ වුණා. කුඩා කාලෙ පටන්ම පින්තූර ගැනිල්ල ගැන ලොකු උනන්දුවක් තිබ්බ ෆැන් හෝගෙ ඒ උනන්දුව ක්‍රියාවක් බවට පත්වෙන්නෙ තාත්තා තෑගි දුන්න කැමරාව නිසයි. තනියෙම පින්තූර ගැනීමේ මැජික් එක ඉගෙනගත්ත ෆැන් හෝට තමන් ජීවත් වුණ හොංකොං නගරය විශාල ෙලස උදව් වෙනවා. ඒ නියම ඡායාරූප පසුතලයක්, නිරූපණ ශිල්පීන් ආදිය නොනවත්වාම සපයමින්. එයා පින්තූර ගත්තෙ 1950-1960ත් අතරේ ජන ජීවිතය. ලස්සන සිදුවීම තමයි ෆැන් හෝ තමන්ගෙ පින්තූරවල නෙගටිව් හදන්න පාවිච්චි කරලා තියෙන්නෙ ගෙදර ඈයෝ නාන්න පාවිච්චි කරන නාන බාල්දිය වීම. 2006 අවුරුද්දෙදි ෆැන් හෝ තමන්ගේ පළවෙනි ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වුවා.
ඊළඟ පින්තූරෙ අපේ ඉස්සරහට එන්නේ ‘හැන්දෑ සංවාද’ කියන නමෙනුයි. හොංකොංවලදි අරගෙන තියෙන මේ පින්තූරෙත් ඉන්න හතර දෙනාගෙන් දෙන්නෙක්ම ගමනේ යෙදෙන්නෙ කැමරාවට පිටුපාලයි. එක කාන්තාවක් අඩක් හැරිලා සම්පූර්ණ හිනාවකින් සැරසිලා අනෙක් කාන්තාව දිහාව බලාගෙන. පොඩිත්තෙක් මුළුමනින්ම කැමරාවට මුහුණ දෙමින් යම් අවිනිශ්චිත හැඟීමකින් නතර වෙලා ඉන්නවා. පඩිපෙළින් උඩින් වැටෙන ඉර එළිය ඉදිරිපස ඉන්න මිනිස් රූප අර්ධ සෙවණැලි බවට පත් කරලා. ඒ මොහොතෙම ඒ ආලෝක කදම්බ පිටුපා යන ශරීර හරහා ගමන් කරලා. ඒ අයගේ සෙවණැලි පොළොවේ දිගාවෙලා තුනී වෙලා ගිහින්.
තවත් පින්තූරෙක සිරස්ව හැමෝම යන මාර්ගයක රික්ෂෝකරුවෙක් තිරස්ව පාර මාරු වෙනවා. ඔහුගේ සහ රික්ෂෝවේ හෙවණැල්ල ඊට සමාන්තරව පොළොවෙ චිත්‍රයක් ඇඳලා. ආලෝකය, අඳුර එක්ක ෆැන් හෝ ඇස්බැන්දුමක් කරනවා කියලා මම කියන්න කැමතියි.
"මං චිත්‍රපට පිස්සෙක්. කතා කීමට තිබ්බ වුවමනාව තමයි මාව ඡායාරූප ශිල්පියෙක් කළේ."
ෆැන් හෝ කියන්නෙ එහෙම.