වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පිරිමි ළමයි කියන්නේ විශේෂ කට්ටියක් ද?

මං ගිය සතියේ ඔබට කිව්වා ගැබ් ගත් වයස 13ක දියණියක් ගැන. ඇය අපහාසයට පත් කළ ඇගේ හමේ පාට ගැන. දෙවැනි කරුණ මම ඔබට කියන්නට පොරොන්දු වුණා. මේ කියන්න යන්නේ ඇය පහත් කොට සැලකූ දෙවැනි කරුණ.
ගැහැනු ළමයෙක් පළමුවර ලැබුණු ඇගේ මව, පුතෙක් පළමුව නොලැබීම ගැන සෑහෙන්න දුක් වුණා. මේක අම්මාලාට තියෙන රෝගයක්. පුතාලා විතරද දරුවෝ? දුවෙක් කියන්නේ දෙවැනි ගනයේ මනුෂ්‍යෙයක් ද? දුවරු ඉගෙන ගන්නේ නැද්ද? ලස්සන ජිවිත ගත කරන්නේ නැද්ද? රැකියා කර මිල මුදල් හම්බකර දියුණු වන්නට දුවලාට බැරිද?
ගැහැනු පිිරිමි භේදයක් නැතිව සියලු දෙනාට ලස්සන ජීවිත ගොඩනඟා ගත හැකියි. එහෙත් තවමත් පැරණි හණමිටි ආකල්ප තියෙනවා පුතාලා තමයි වටින්නේ. පුෙතක් ඉස්ඉස්සල්ලාම ලැබුණොත් තමයි ගෙදර වාසානාව වගේ දේවල්. ඉතින් අම්මා තමාට ලැබුණු දුවට සැලකුවේ නැහැ. ආදරෙන් බලාගත්තේ නැහැ. පුතෙක්ම පැතුවා. ආදරය කියන්නේ හරි සුරක්ෂිත හැඟීමක්. ආදරය නොලද මේ දියණියට එවන් සුරක්ෂිත හැඟීමක් දැනුණේ නැහැ. දෙවැනි වරත් ඇයට ලැබුණේ දුවෙක්. ඇය යළිත් දුකෙන් කාලය ගත කළා මිස දියණිවරු දෙදෙනා ගැන බැලුවේ නැහැ. වසර නමයක් විතර ගියාට පසුව ඇය පුතෙක් ලබනවා. ඇය එයින් ඉතා සතුටට පත්ව පුතාට දිය හැකි සියලුම සැප පහසුකම් දෙමින් ආදරයෙන් බලාගන්නවා. ගැහැනු ළමයින්ව මඟහැරීම යනවා. දරුවෙකු ආදරෙන් බලා ගැනීම ඉතා හොඳයි. ඒත් දරුවන් අතර ආදරයේ සැලකීමේ වෙනස්කම් ඇති කිරීම ඉතාම භයානක දෙයක්. එයින් කුඩා කාලයේදී දරුවන්ගේ අාධ්‍යාත්මය තුවාල වෙනවා. තුවාල වූ ළදරුභාවයක් සහිතව නීරෝගි වැඩිහිටියෙක් බිහි වන්නේ නැහැ.
මේ දැරිය වෙනස්කම්වලට ලක් වන්නේ නිෙවසේදීමයි. සිය මවගෙන්මයි. ඇය දකිනවා මව මල්ලීට සලකන ආකාරය. ඇය උදේ හවස රිදවන්නේ මේ වෙනස් කොට සැලකීම, ඇය ආදරය සොයා පිටතට යොමු වන්නේ නිෙවසක ඇති මෙම පුරුෂ මූලික ආකල්ප නිසා.
මගේ අම්මාට හිිටියේ අයියලා දෙන්නෙක් සහ මල්ලිලා දෙදෙනෙක්. අම්මා මට කියනවා පුංචි කාලේ ආච්චි ගෙදර කොල්ලන්ට මාළු කෑලි දෙක බැගින් බත් පිඟානට බෙදපු හැටිත් අම්මාට එකම මාළු කෑල්ලක්වත් නොදුන් හැටිත්.
පුතාලා උසස් කොට සලකන මේ පසුගාමී චින්තනය අම්මලාට එන්නේ කොහෙන්ද? ඒ එන්නෙත් අපේ සමාජයෙන්. සමාජ නිර්මිතයක් ලෙසට. හුඟාක් ඉගෙන ගත්ත අම්මලා පවා ඉන්නවා දුවලාට වඩා පුතාලා ලොකු කරගත්තා. ඒක උගත්කම පිළිබඳ සාධකයක් නෙමෙයි පසුගාමී සමාජ ක්‍රමවලින් ලද දෑවැද්දක්.
දුවටත් පුතාටත් එක ලෙස ආදරය කරන්න. එක ලෙස සලකන්න. එක සමාන වැදගත්කමක් දෙන්න. කවදා හරි දිනෙක සමානව දේපළ පවරන්න. දුව වුවත් පුතා වුවත් තමාගේ දරුවන්ය.
සංජීවනී රූපසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය