වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඉඳලොලු

චතුරිකා ජීවන්ති වැලිකල
ර / ඇඹි / හිරමඩගම මෛත්‍රිය මහා විද්‍යාලයේ විද්‍යා විෂයභාර ගුරුතුමිය විදිහට කටයුතු කරන ඇය ලේඛන කලාවට පෙම් බඳින්නේ පාසල් සිසුවියකව සිටියදීමයි. පුංචි පුංචි කවි, කතා ලියපු චතුරිකාගේ එකම හීනය වුණෙත් ලේඛිකාවක් වීම. ඒත් උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාව තෝරාගත් නිසාම ලේඛිකාවගේ හීනය පසෙක තබා ඇය ගුරු වෘත්තිය තෝරා ගනු ලැබීය. නමුත් ඉඩක් ලද ඇසිල්ලේ තම නිර්මාණ මුහුණුපොත හා බෙදා ගන්නට ඇය අමතක නොකළාය. අද ශේෂ පත්‍ර හැඩ වන්නේ චතුරිකාගේ කෙටි කතාවකිනි.
රාත්‍රිය පුරා ඇද හැලුණේ මහා වර්ෂාවකි. විදුලි එළි අහස පුරා පීනා යන අතර විටින් විට නැගෙන ගිගුම් හඬ දෙසවන් තුළට රිංගා කවටකම් කළහ. මහ වැස්ස නිසා කාමරය තුළ අතරමං වූ කණාමැදිරියකු සක්මනෙහි යෙදෙයි. ඇගේ සිත් අගිස්සෙහි සැඟවුණු බලාපොරොත්තු පුංජය කණාමැදිරි එළිය මෙන් විටින් විට දැල්වේ.
රෑ කෑමෙන් අනතුරුව සෙත් පිරිත් ටිකක් සජ්ඣායනා කිරීම පුරුද්දක් බවට පත් වී ඇතත්, උදුලාවතී මැණිකේ පිරිත් පොත අතට ගෙන දැන් අඩ හෝරාවකටත් වඩා ගෙවී ගොස් ඇත. සිත ඒ මේ අත සැරිසරන මොහොතක පිරිත් සජ්ඣායනාව කෙසේ කළ හැකිද?
පිරිත් පොත මේසය මත තබා ඈ තැබූ පියවර නිමා වූයේ ජනේලය අසලිනි. ජනෙල් පියන් විවර කළ වහා ඇදී ආවේ ඇඟ හී ගඩු නංවන සීතලකි. දැන්නම් වැස්සට විරාමයක් ලැබී ඇත. ඊයේ නම් මේ වෙලාවට සඳරැස් මිදුලට වැඩ ඇතිරිලි එළා තිබුණි. අද නම් සඳ වලාකුළකට මුවා වී කම්මැළිකමේ සිටිනවා ඇත.
'වත්ත පහළට යා ගන්න තිබුණා හඳ එළියවත් තිබ්බ නම් ' ජනේලයෙන් පිටත ඈත ඉසව්වකට දෙනෙත් යොමා සිටි ඇගේ සිත කීවේ ඒ අදහසයි.
ජනෙල් පියන් වසා දැමුවේ සීතල සුළං ධාරා සමඟ මෙලෙස ඔට්ටු වීම වයසට නොහොඹිනා බැවිනි. යහන වෙත ආවද දෑස් පියන් තවමත් නිදන්නට සූදානමක් නොමැතිව සිටිනා අතරතුරේ දී යි ඈට රාලහාමි සිහිපත් වූයේ.
"රාලහාමි හිටිය නම් කෑම ජාති එක එක රහට හදන්න කියාවි. පොල් පුච්චලා උයල, පොල් බැදලා උයලා, තුනපහ අතගාලා තෙලට දාලා….."
"ඒ වුණාට පොල් කෑල්ලක් දර ළිපේ අඟුරු ටිකේ පුච්චලා අඹරල උයන තරම් නම් රහ නෑ ඔය කොයි විදියට ඉව්වත්.."
"හෙට නන්දාවතී ආවම කියන්න ඕනි දර ළිපක් බඳින්ට කියල මඩුව පැත්තෙන්වත්. ගෑස් ළිපේ අඟුරු කොයින්ද?"
"ගෙයි දුමාරෙ බැඳුණ කියලා දුව කෑගෑවට දුම් රහ වදින් නැතිව මාළු පිනිවල රසක් ඒවියෑ."
"ලොකු පුතා නිවාඩුවට කවද ඒවිද දන්නෙ නෑ."
තෙරක් නොපෙනෙන සිතිවිලි සයුරක කිමිදෙමින් සිටි සිත ගිමන් හරින විට මැදියමත් පසු වී තිබිණි.
"සුරේන්, අනේ නැඟිටින්නකො අම්මා නෑනෙ."
"මොකක්"
"ඔව් අනේ මටත් ඇහැරෙන්න පරක්කු වුණානෙ..තේ හදල බැලුව කාමරේ නෑනෙ."
" කොහෙ ගිහින්ද. බෑග් එක තියෙනවද කාමරේ."
"ඔව් බෑග් එක නම් තිබුණා."
" එහෙනම් වත්ත පහළටවත් යන්න ඇති."
"අනේ මන්ද මේ අම්මගෙත් වැඩ . අයියගෙන් මට තමා බැණුම් අහන්න වෙන්නෙ. අම්ම ගැන බලන්නෙ නෑ කියලා. වයසට නෙමේ හිතුවක්කාරකම."
දෙණියෙ ගෙදර ඇත්තන් ගමෙහි ධනවත් පන්තියට අයත් වූවෝ වූහ. වලව් පෙළපතකින් පැවත එන උදුලාවතී මැණිකේ වෙත ගම්මුන් තුළ වූයේ මහත් ගෞරවයකි.
ඉතින් ඈ සිටියේ වත්තේ එහා කෙළවර මායිම අසල මහ පොළොවට සිනහ මල් විසුරුවමින් ය. ඒ සිනහ පිළිගනිමින් හොරෙන් හොරෙන් එබී බැලුවේ කළු පැහැයට හුරු හිසක් දරන සුදු ඇඳුමකින් සැරසී ගත් පිරිසකි. ළපටි ඉඳලොලු කැකුළු දිහා කොතරම් වෙලාවක් බලා උන්නාදැයි නිනව්වක් ඈට නොමැත. සිතින් තමාටම දොස් තබා ගත්තේ මෙතරම් දිනක් මොවුන් පිළිබඳ සොයා බැලීමට අමතක කළ නිසාවෙනි.
අසල තිබූ පොල් අත්තක් ඇද ඒ ළපටීන්ට සැඟවී සිටීමට අණ කළේ තවම උන් පොඩිවුන් බැවිනි. තියුණු දෑස් දසත විසුරුවන විට හසු වූයේ කුමාරිගේ කුඩා නිවෙසයි. ඈ හා දොළොස් වියැති කොලුවා එහි වසන බව සිහිපත් වීමෙන් පුවක් කොළපතක් ද ඒ අසලට ළං කළේ මඳක් කල්පනා කිරීමෙන් අනතුරුවයි.
"පොඩි පුතාටවත් කෝල් කරන්න කියල දූට කියන්න ඕනි."
"මේ සිකුරාදා පන්සලේ වතා දානෙත් තියෙනවා වගෙ මතකයි. පොල් කෑල්ලක් පුච්චලා දාලා ඉව්ව නම් හාමුදුරුවනුත් මනාපෙන් වළඳයි."
එසේ තවත් පියවරක් ඉදිරියට තැබුවේ තවත් අමුත්තන් සිටීදැයි බැලීමටයි.
"බෑනට මතක් කරන්න ඕනි මෙතැන වැට කැඩිල විත්තිය." එසේ සිතමින් ආපසු එන මඟ හමු වූ ළිං කැටයට එබී බැලූ විට දුටුවේ කට ළඟටම වාගේ වතුර පිරී ඇති අයුරුයි. ළිඳට එහායින් දුටු දෙයින් ඇගේ පපුවෙහි ඇති වූයේ සිහින් රිදුමකි.
"හත්වළාමේ…. දෙයියොම බලා ගන්න ඕනි මේවා. මෝරන්නටත් කලින් කඩන් ගිහින් නොවැ කොයිකෙක් හරි."
"හෙට උදේම ආව නම් අල්ල ගත්ත හැකි ඔය හොරා " සිතමින් බිඳුණු සිතින් යුතුව ගෙදරට යන විට මඟදී හමු වූයේ මව සොයා එන දියණියයි.
"අනේ අම්මෙ..නන්දාවතී ආවම කියලා හතු ටික කඩන් එන්නකො. මේ වැහැල ලිස්සනවත් ඇති ඔය ටික."
"එක එකාට කියල ඕව කරන්න බෑ ළමයො. ඇස්වහ කටවහ වැදුණොත් ඔතැන ආයෙ හතු හැදෙනව බොරු."
...............................
දියණිය හා බෑනා අවමංගල්‍යයක් වෙනුවෙන් නිවෙසින් උදෑසනින්ම පිටව ගියේ උපදෙස් රාශියක් නිකුත් කරමිනි. ඉන් පළමුවැන්න නන්දාවතී පැමිණෙන තුරු නිෙවසෙන් පිට නොවීමට වූ අණකි.
දොරවල් වසා දමා පයක් මිදුලට තබද්දී ඇසුණු හඬ හූනෙකුගෙනි.
"කුස්සියෙ දොර වැහුවෙ නෑ මයෙ හිතේ."
ගසකින් වැටුණු පොල් අත්තක් ද පසෙකට විසි කරමින් තැබූ පයට විලාප දුන්නේ තනි පොල්කිච්චෙකි.
"උඹටත් මෙහෙටම එන්න ඕනි වුණා නේද කෑ ගහන්න." පොල්කිච්චාට ද බැණුම් අහුරක් විසි කරමිනුයි ඈ වත්ත පහළට පිවිසුණේ.
දෑසට හසු වූ ඡායාව අනුව නම් ඒ කොලුවෙකි. හේ අදත් උදෙන්ම ඉඳලොලු නෙළන්නේය.
"ඊයෙ කාපු ටික මදි වෙලා අදත් ආව නේද. හිටපිය මම…."
අතට හසු වූයේ ලාඩප්පා රිටකි. එය ඔසවාගෙන තැබූ පය කපා දැමූ කෙසෙල් කඳක් මතය.
"අනේ අම්මේ….."
විලාපය ඇසුණු වහා තිගැස්සී, වැස්සක් සේ බිම්මල් කැකුළු ඇද හැළුණේ කොලුවාගේ අතිනි. මඳක් කල්පනා කළ හෙතෙම උදුලාවතී මැණිකේ වෙත ළඟා වූයේය.
"කිරි අම්මේ… කිරි අම්මේ…"
"අනේ දරුවො මාව නැඟිට්ටවපන්. මගෙ කකුල හිරි වැටිලා වගේ."
කොලුවාගේ වාරුවෙන් නැඟිටගත් උදුලාවතී මැණිකේට පියවර තබා ගමන් කිරීම අපහසු විය. නිවෙසේ ද කිසිවෙකු නොවූ හෙයින් කොලුවාගේ හා ලාඩප්පා රිටේ ආධාරයෙන් යාමට සිදු වුණේ අසල ඇති කොලුවාගේ නිෙවසටයි. කුඩා නිෙවසේ පිල උඩ හිඳ බරැති සුසුමක් හෙළූ ඈ හඬ අවදි කළාය.
"අනේ පුතේ මට වතුර ටිකක් දියන්….."
"කළේ නම් වතුර ඉවරයි කිරි අම්මෙ…. ඩිංගක් ඉන්න මං ඉස්කෝලෙ වත්තෙ ළිඳෙන් වතුර ටිකක් ගේන්නම්."
කේතලයක් අතට ගත් කොලුවා දිව්වේ පටු පාර දිගේය.
"උඹල හැමදාම වතුර ගේන්නෙ එහෙන්ද පුතේ."
"ඔව් කිරි අම්මෙ.. ලොකු සර් අපිට කිව්වා ඕනි වෙලාවක වතුර අරන් එන්නෙයි කියලා.."
"උඹ කාලද පුතේ."
"තාම නෑ. රෑට උයපු ඉඳලොලු තියෙනවා. කිරි අම්මටත් ගේන්නද."
කොලුවාගේ දිදුළන දෑසට එබුණු උදුලාවතී මැණිකේ මුව අග පිපුණු සිනා මලින් යුතුව අසා ගත්තේ "පොල් පුච්චලා දාල ද ඉව්වෙ පුතේ?"