උද්භිද විද්‍යාවේ භාරතීය කුසුම ජානකී අම්මාල්

මාර්තු 17, 2025

එංගලන්තයේ සරේ නගරයේ වීදියක අද්දර ඇති මැග්නෝලියා තුරු පෙළ මාර්තු මාසයේ දී රෝස පැහැ මලින් සැරසෙනවා. ඒ සුන්දරත්වය විඳිමින් මල්පෙති පාගා නොපාගා ඇවිද යන ඇතැමෙක් මඳකට එහි නතර වන්නේ, මලෙක සුවඳ විඳිනු රිසියෙන්. එසේ වුවද, ඒ බොහොමයක් දෙනා මෙම තුරු පෙළ එහි රෝපණය කළේ, ඉන්දියාවේ බිහිවූ පළමු උද්භිද විද්‍යාඥවරිය බව නම් නොදැනුවත්.

ඇය, ජානකී අම්මාල්. සිය ජීවිත කාලයෙන් දශක 6 ක්ම ඈ කැප කළේ උද්භිද විද්‍යා විෂයය ක්ෂේත්‍රය වෙනුවෙන්. සපුෂ්පීය ශාක පිළිබඳ ඇයගේ පර්යේෂණ පුළුල් වපසරියක විහිදී තිබුණා.

ඇතැම් ශාක විශේෂවල විද්‍යාත්මක නාමකරණය පවා ඇය අතින් සංශෝධනය වූවා. ඇය වඩාත් ප්‍රකට වූයේ, සෛල විද්‍යාත්මක පර්යේෂණ හා ශාක භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් වුවත් ක්ෂේත්‍ර ජීව විද්‍යාඥවරියක ලෙස ද ඇය විශාල මෙහෙවරක යෙදුණා. ආචාර්ය ජානකී අම්මාල්, "ජෛව විවිධත්වය" ගැන කතා කළේ 1930 ගණන්වලදී බව පෙන්වා දෙන්නේ ආචාර්ය සාවිත්‍රි ප්‍රීතා නායර්.

අමෙරිකාවෙන් ආචාර්ය උපාධිය ලැබූ පළමු උද්භිද විද්‍යාඥවරිය ද වන ජානකී අම්මාල් එම විෂයය සඳහා ආචාර්ය උපාධියක් ලද පළමු ඉන්දීය කාන්තාවයි. භාරතයේ පළමු උද්භිද විද්‍යාඥවරිය ද ඇයයි. ඇය සිය ආචාර්ය උපාධිය ලැබුවේ අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයෙන්. ඒ වන විටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබූ මෙන්ම කුල, වාර්ගික භේද මුල්බැස තිබූ ඉන්දියාවේ, කාන්තා සාක්ෂරතාව 1% පමණක් බව සලකන විට ජානකීගේ වික්‍රමය තේරුම් ගැනීමට පුළුවන්.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තෙලිචෙරි (වත්මන් තලාසෙරි) ප්‍රදේශයේ දී 1897 වසරේ ඇය උපත ලැබුවා. ඇගේ පියා මහාධිකරණ විනිසුරුවරයෙක් වූ බැවින් උපතේ සිටම වරප්‍රසාද ලත් පවුලකට අයත් වුවද ඉදිරි ගමන නම් සුවපහසු එකක් වූයේ නෑ. ඊට බලපෑ හේතූන් අතර ඒ වන විටත් ස්ත්‍රිය පහත් කොට සැලකීම මෙන්ම ඇය, හින්දු කුල ක්‍රමය අනුව පහත් යැයි සම්මත කුලයක උපන් අයෙක් වීමත් තිබෙනවා. එසේ වුවද, කුලයට තමා යටපත් කිරීමට ඈ කිසිවිටෙකත් ඉඩ තැබුවේ නෑ.

ලෝක යුද්ධයේ බිහිසුණු බව හේතුවෙන් විටෙක මේසය යටට වීද තවත් විටෙක ඇඳක් යටට වීද ආරක්ෂා වෙමින් කටුක අත්දැකීම් ලැබුව ද විසල් නිවෙසේ තිබූ විසල් පොත් එකතුවත් විනෝද ගමන්වල යෙදෙමින් රටතොට සුන්දරත්වය දකින්නට ලැබීමත් ඇයට මහත් අස්වැසිල්ලක් වූවා. නිවෙස තුළ සිටියදී පවා දැවැන්ත ජනෙල් කවුළුවලින් පෙනෙන අලංකාර ගෘහ උද්‍යානයේ සුන්දරත්වය විඳින්නට ඈ ප්‍රිය කළා. පසු කලෙක උද්‍යාන අලංකරණ ක්ෂේත්‍රයට බොහෝ දෑ තිළිණ කරන්නට මේ පුරුදු ඇයට බලපාන්නට ඇති බව නිසැකයි.

උද්භිද විද්‍යා හා සෛල විද්‍යා ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ලන්ඩනයට යන ඇය වසර ගණනාවක් එහි ගත කළා.

උද්භිද විද්‍යාඥවරියක හා ප්‍රවේණි විද්‍යාඥවරියක ලෙස ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ, සිරිල් ඩීන් ආලිංග්ටන් සමඟ ලන්ඩනයේ ජෝන් ඉන්ස් උද්භිද විද්‍යා ආයතනයේ(1940-1945)කටයුතු කරමින්. ඔවුන් දෙපළගේ සෛල හා ප්‍රවේණි විද්‍යා පරීක්ෂණ ආර්ථික වටිනාකමක් සහිත ශාක ගණනාවක් උද්‍යාන විද්‍යා ක්ෂේත්‍රයට හඳුන්වාදීමට හේතු වූවා.

ලන්ඩනයේ ලීනියන් සංගමය, රාජකීය ආසියාතික සංගමය ,රාජකීය භූගෝල විද්‍යා සංගමය මෙන්ම ඉන්දියානු විද්‍යා ඇකඩමිය ඇයට ගෞරව සාමාජිකත්ව පිරිනමා ඇත්තේ එම මෙහෙවර අගයමින්. බ්‍රිතාන්‍යයේ රාජකීය උද්‍යාන විද්‍යා සංගමයේ වැටුප් ලැබූ පළමු කාන්තා සාමාජිකාව ද ඇයයි. ආචාර්ය ජානකී ගේ සමකාලීනයෙක් වූ සී.එස්.සුබ්‍රමනියම් පවසන පරිදි, වැවිලි භෝග, උද්‍යාන අලංකරණ ශාක, ඖෂධීය ශාක වැනි විවිධ වටිනා ශාක වර්ග පිළිබඳ ඇයගේ පර්යේෂණ සිදුවුණා. මේ සියල්ල අතරින් ආචාර්ය ජානකී අම්මාල් වඩාත් ලෝ පතළ වූයේ, උක් ප්‍රභේද අභිජනනය සඳහා වූ ඇයගේ පර්යේෂණ හේතුවෙන්. උක් සහ බඩඉරිඟු ශාක මුහුම් කර නව උක් ප්‍රභේද හඳුන්වා දීම ඇයගේ මෙම පර්යේෂණ මඟින් සිදු වුණා. එම පර්යේෂණ ඉන්දීය ආර්ථිකය සශ්‍රීකවත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූයේ ප්‍රණීත උක් සීනි නිෂ්පාදනයට හැකිවීම නිසා.

අභිජනනය මඟින් නව වම්බටු ප්‍රභේද හඳුන්වා දීමට ද ඇයට හැකි වුණා. මෙවැනි වටිනා පර්යේෂණාත්මක සොයාගැනීම් වාණිජමය වශයෙන් භාවිත වුව ද ඇය ඒවායේ අයිතිය තමන් වෙතම රඳවා ගැනීමෙන් වැළකී සිටියා. ඉන්දියාව යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු,

වර්ෂ 1951 දී, ඇය යළි මව්බිමට පැමිණියේ අගමැති ජවහර්ලාල් නේරුගේ ආරාධනයෙන්. මව්බිමට සේවය කරන්නැයි නේරු කළ ඉල්ලීම පිළිගත්තද පශ්චාත් යටත් විජිත ඉන්දියාවේ, ස්ත්‍රියක ලෙස ඇයට එය පහසු කාර්යයක් වූයේ නෑ. විද්‍යාත්මක ක්ෂේත්‍රයේ පවා ඒ වන විටත් පැවැතියේ පුරුෂ මූලික ආධිපත්‍යයක්. එසේ වුවද ,පසුනොබා සිටි ඇය ඔවුන් හා එක පෙළට සිටිමින් කටයුතු කළා පමණක් නොව, දශක පහක ( 1930-1980 )කාලයක් දෙස්-විදෙස් විද්‍යාඥයන් සමඟ දැනුම හා අත්දැකීම් බෙදාගනිමින් සහයෝගයෙන් කටයුතු කළා. ගාන්ධියානු දර්ශනයෙන් ද ආභාෂය ලැබූ ආචාර්ය ජානකී, ප්‍රගතිශීලි මෙන්ම ජාතිකවාදී විද්‍යාඥවරියක ලෙස ඉදිරියෙන් සිටියා. ඉන්දියාවේ පුරෝගාමී විද්‍යාඥවරිය වෙමින් ජාන විද්‍යාව වෙනුවෙන් ජාතික මධ්‍යස්ථානයක් ගොඩනැඟීමට ද ඇය මුල් වූ අතර ලක්නව්හි මධ්‍යම උද්භිද විද්‍යා පර්යේෂණාගාරයේ පළමු අධ්‍යක්ෂවරිය වශයෙන් ඇයට එම කාර්යය ද සපුරාගැනීමට හැකිවූවා.

ළමා වියේ පටන්ම ඇය උනන්දු වූයේ, ප්‍රශ්න නැඟුවේ ගහකොළ සහ මිනිස්සු ගැනයි. ඒ උනන්දුව හා කුතුහලය ඔස්සේ විද්‍යාඥවරියක ලෙස ඉහළටම ගිය ද දශක ගණනාවක් පුරා ඇයගේ වෙහෙස, කැපවීම හා මෙහෙවර යටපත්ව තිබූ අතර, එය පිළිගැනීමට ලක්වුණේ අල්ප වශයෙන්. ආචාර්ය ජානකී අම්මාල්ගේ 125 වැනි ජන්ම දිනය යෙදුණු 2022 වසරේ දී , CHROMOSOME WOMAN,NOMAD SCIENTIST ,E.K.Janaki Ammal (1897-1984) යනුවෙන් ආචාර්ය සාවිත්‍රි ප්‍රීතා නායර්ගේ සංස්කරණයෙන් ඇයගේ සම්පූර්ණ ජීවිත කතාව නිකුත් වීම මේ පුරෝගාමී විද්‍යාඥවරියට නිසි ගරුත්වය ලබා දීමක් ලෙස සැලකිය හැකියි. මැග්නෝලියා විශේෂයක් ද , අභිජනන රෝස කුසුමක් ද ඉකුත් වසරේ දී හිමාලය අඩවියෙන් සොයාගත් නව ශාකයක් ද ඇය වෙනුවෙන් නම්කෙරී ඇත්තේ එම මෙහෙවරට ගෞරව කිරීමක් වශයෙන්.

ඉන්දීය රජය එරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන "පද්ම ශ්‍රී" සම්මානයෙන් ආචාර්ය ජානකී පුදන විට ඇය 80 හැවිරිදි වියේ පසු වූවා. ඉන් සිව් වසරකට පසු, 1984 දී ඇය සිය ජීවිත ගමන නිමා කළා.

පිළිගැනීමට ලක්වීම කෙසේ වෙතත් තමන් කළ මෙහෙවර ගැන තෘප්තිමත් වෙමින් ඇය නොයෙක් වර සඳහන් කළේ, "මං යම් දෙයක් කළා, ඒ දේවල් පවතීවි" යනුවෙන්.