පොල් නාස්තිය අවම කරමු

අලුත් අවුරුද්දම සුබ වෙන්න අලුත්ම අලුත් සංකල්පයක්
මාර්තු 31, 2025

 

පොල් හිඟයට දවසින් විසඳුම් සෙවීම අසීරුය. මේ බව බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන තිබෙයි. තමුන්ගේ ඉඩමේ ඉඩක් ඇති නම් එහි පොල් පැළයක් සිටුවීමට දැන් බොහෝ දෙනෙක් උනන්දුය. මෙයට හොඳම අවස්ථාවක් තව සති කිහිපයකින් උදාවෙයි. එ් අලුත් අවුරුද්දය. මේ අලුත් අවුරුද්දේ සුබ නැකැකට පොල් පැළයක් සිටෙව්වොත් එය වටිනා කටයුත්තකි.

 

මෙලෙසින් ඔබ පොල් ගැටලුවට පොල් පැළයක් සිටෙව්වොත් තව වසර කිහිපයකින් එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. මේ සඳහා පොල් සංවර්ධන අධිකාරිය ද සාර්ථක විසඳුම් ගණනාවක්ම ක්‍රියාත්මක කරයි. පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ එක්ව පොල් පැළයක් සිටුවීම සඳහා ජනතාව දිරිගැන්වීමේ වැඩසටහනක් මේ දිනවල සැලසුම් කරමින් තිබේ.

 

ඉදිරි වසර පහ තුළ මෙරට පොල් හිඟය නැති කිරීමටත් අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ජනයා අතර ප්‍රචලිත කිරීමටත් ඒ අනුව කටයුතු කෙරෙනු ඇත. එබැවින් මේ දිනවල පවතින පොල් හිඟය සහ මිල ඉහළයාම සදාකාලික ගැටලුවක් නොවනු ඇතැයි අපට විශ්වාස කළ හැකියි.

 

එහෙත් මේ මොහොතේ කළ යුතු හොඳම දේ වන්නේ ගෙඩි පොල් කාර්යක්ෂමව භාවිත කිරීම සහ අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට හුරුවීම බව පොල් සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලෙවි සංවර්ධන සහ පර්යේෂණ) එම්.එම්. පුෂ්පකාන්ත මහතා පෙන්වා දෙයි.

 

“ගෙඩි පොල් පරිභෝජනයේදී වඩාත් කාර්යක්ෂම ක්‍රම අනුගමනය කිරීමෙන් නිවෙසට අවශ්‍ය ගෙඩි පොල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය. පොල් මදයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ කිරිවලට නිස්සාරණය වන ප්‍රමාණය පොල් මිරිකීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය මත රඳා පවතී. අතින් මිරිකා පොල්කිරි ලබා ගැනීමේදී නිස්සාරණය වන කිරි ප්‍රමාණය 20%ක් පමණ වන අතර පොල් ඉතාම සිහින්ව ගා ගත් විට එම කිරි ප්‍රමාණය 40% ක් දක්වා ඉහළ නැංවිය හැකිය. බ්ලෙන්ඩරය, ග්‍රයින්ඩරය, ඇඹරුම් ගල, වංගෙඩිය වැනි යාන්ත්‍රික ක්‍රම භාවිතය මඟින් මෙම නිස්සාරණය 50% - 60% දක්වා වර්ධනය කරගත හැකිය. එනම් පොල් ගෙඩියකින් ගන්නා පොල්කිරි ප්‍රමාණය පොල් බෑයකින් ලබාගත හැකිය. එය කෙතරම් වාසිසහගතද?

මේ අනුව යාන්ත්‍රික ක්‍රම සමාජය තුළ විශේෂයෙන්ම ගෘහිණියන් අතර ප්‍රචලිත කිරීම සහ ඔවුන් ඒ සඳහා යොමු කරවීම මඟින් ගෘහස්ථ පොල් පරිභෝජනය 50%කින් අඩුකර ගැනීමට හැකියාවක් පවතී. එයින් පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා ගෙඩි පොල් යොදා ගැනීම ඉහළ නැංවීමේ වැඩි අවස්ථාවක් ද ලැබේ.

 

මෙහි දැක්වෙන වගුවට අනුව දිනකට භාවිත කළ යුතු ගෙඩි පොල් සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන ප්‍රමාණය අඩුවීමෙන් දිනපතා ඒ සඳහා වැයවන මුදල ද අඩු කර ගත හැකියි. එහි තවත් වාසියක් තිබේ. එනම් එසේ ඉතිරි වන මුදලින් වසරකට අඩු කාලයකදී බ්ලෙන්ඩරය සහ විදුලිය සඳහා වැය වන මුදලද පියවා ගත හැකිවීමයි.

අපතේ යාම වළක්වා ගැනීමට පියවර රැසක්ම තිබේ. ඉහත ක්‍රමවලට අමතරව නියම ප්‍රමිතියෙන් සැකසූ පොල් කිරි සහ අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමෙන් එම ද්‍රව්‍යවල සුලබතාව ඉහළ නැංවිය හැකි අතර ග්‍රාමීය ආර්ථිකයද දියුණු කළ හැකිය. මේ මඟින් අපතේ යන පොල් වතුර අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයන වෙළෙඳපොළට එකතු කළ හැකිය. එහිදී ඉතිරි වන පොල් කුඩු බේකරි කර්මාන්තය සඳහා යොදා ගැනීමෙන් තිරිඟු පිටි ආනයනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව ලැබේ. එයින් සෞඛ්‍යාරක්ෂිතභාවයද ඉහළ නංවා ගැනීමට අපට හැකියාව ලැබෙයි. එමෙන්ම නාස්තිය අවම කිරීමෙන් එකතු වෙන පොල් කටු සහ පොල් ලෙලි අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉතා පහසුවෙන් යොදා ගැනීමටද හැකියාව ලැබේ.

මේ වනවිට පොල් ලෙලි මිලියන 1500ක් සහ පොල් කටු මිලියන 2000ක් පමණ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා යොමු කරන අතර ඊට අමතරව තවත් පොල් ලෙලි මිලියන750ක් සහ පොල් කටු මිලියන 500ක් පමණ එකතු කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර තිබේ. ඒ ආකාරයෙන් ගෘහස්ථ මට්ටමෙන් සිදුවන අපතේ යාම අවම කොට ඒ සඳහා මූල්‍යමය වටිනාකමක් ග්‍රාමීය මට්ටමට ලැබෙන ලෙස එක්රැස් කිරීමේ යන්ත්‍රණය තව තවත් ශක්තිමත් කිරීමටද පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් දියත් කර තිබේ.

 

එම්.එම්. පුෂ්පකාන්ත

නියෝජ්‍ය අධ්‍යක්ෂ

(අලෙවි සංවර්ධන සහ පර්යේෂණ)

පොල් සංවර්ධන අධිකාරිය