වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අපි අවුරුදු කනවා හරිද ?

අප්‍රේල් මාසේ ළං වෙද්දී අපි දන්නවා සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟම එන විත්තිය. මේ ජාතික උත්සව අපිට සමරන්න ලැබෙන්නේ මාස 12කට වරක් පමණයි. මේ මාස 12 ඇතුළත බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපේ දේ අරගෙන අපේකම රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් ජාතික උත්සවයක් කියලත් මේ සිංහල අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. මේ සැරේ අපිට තියෙනවා ලොකු සතුටක්. මොකද අපි රටක් විදිහට නැවුම් බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නවා මේ සැරේ සිංහල අලුත් අවුරුද්දෙදි. ඒ මෙච්චර කල් තිබුණට වඩා අපි ආකල්පවලින් වෙනස් වෙන්න ඕනේ කියලා හිතන හින්දායි.
හැබැයි සිංහල අලුත් අවුරුදු සමයේ මම දකින දෙයක් තමයි හරියට නාස්තිය වැඩියි. ඒ නාස්තිය වැඩි වෙන එකේ පළවෙනිම එක තමයි තෑගි භෝග හුවමාරු කර ගනිද්දී වෙන දේවල්. තෑගි භෝග හුවමාරු කරනකොට අපි අනිත් කෙනාට දෙන්නේ හරිම දේද? ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට හිතේ මිම්මට ගන්න ඇඳුම් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. කිසිම තේරුමක් නැති වෙනවා. අන්තිමට එයාට අඳින්නත් බැහැ. අතේ සල්ලිත් ඉවර වෙලා. කාගෙවත් හිත සතුටුත් නැහැ.
ඉතින් ඊට වැඩිය හොඳයි අපි සප්‍රයිස් වෙන්න තෑගි අරන් දෙන්නේ නැතුව එයාට අවශ්‍ය දෙයක් අහලා දෙන එක. "මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට අම්මට මොකක්ද ඕනේ?" කියලා අම්මගෙන් අහද්දී අම්මා කියන්න පුළුවන් "පුතේ මට පන්සලට ගෙනියන්න උණු වතුර බෝතලයක් අරන් දුන්නොත් හොඳයි කියලා." ඉතින් ගොඩක් දේවල් ගොඩගහනවට වඩා එයාට අවශ්‍ය දේ හොයලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි.
ඒ නිසා නෑදෑයන්ට, යාළුවන්ට තෑගි තෝරනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න එයාලට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න. එතකොට හිතත් සතුටුයි. මුදලත් ඉතුරුයි. සමහර වෙලාවට අපි හිතනවට වඩා ලොකු ප්‍රයෝජනයක් ඒකෙන් ලැබෙන්න පුළුවන්.
ඊළඟට මම දකිනවා සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේ මහා තදබදයක් ඇති කරගෙන, පීඩනයක් ඇති කරගෙන, කඩවල් පීරගෙන නිදි වරාගෙන, දාඩිය දාගෙන පර්ස් නැති කරගෙන. එහෙම වෙන්න ඕනේ නැහැ. කල්තියාම සැලසුම් කරගන්න. මම හිතනවා අවුරුදු නැකතට කලින්ම ඒ අදාළ සුබ වර්ණයෙන් ඇඳුම් එයාලට දුන්නොත් හොඳයි කියලා. මොකද එයාලා අනිවාර්යෙන්ම සිංහල අලුත් අවුරුද්දට ඒ ඇඳුම් අඳීවි. එයාලට ඒ ඇඳුම් ප්‍රයෝජනවත් වෙයි.
හිතමු කෙනෙක් ඉන්නවා ගෙදරට හීටරයක් ගන්න ඕනේ කියලා එහෙම බලාපොරොත්තු තියෙන අය ඉන්නවනේ. ඉතින් ඇඳුම්වලට බර ගාණක් වියදම් කරන්නේ නැතුව ඒ වෙනුවෙන් පුංචි මුදලක් එකතු කරන්න.
සිංහල අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී කෑම බීම ගැනත් කතා කරන්නම වෙනවා. දැන් කාලේ කාට වුණත් ගොඩක් තෙල් සහ පැණි රස කෑම හොඳ නැහැ. ඒ නිසා වීසිකරන තරමට පැණි රස කෑම හදන්න එපා. අවුරුදු සිරිතට මේසෙට තියන්න අවශ්‍ය පමණට කැවිලි තියන්න සහ කැවිලි හදද්දී සීනී අඩුවෙන් දාලා හදන්න. ඒ වගේම ආහාර අනුභවය තියෙන වෙලාව ගැනත් හිතන්න. ඒ වෙලාවේ හැටියට කන්න පුළුවන් දේවල් හදනවනම් වඩා හොඳයි. මොකද අපි ගොඩක් නාස්තිකාරයි. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුද්දේ ඉඳලවත් කෑම නාස්ති නොකර ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් හැමදේම පිරිමහලා කරගන්න ගෘහිණියට පුළුවන් වෙන්න ඕනේ.
සිංහල අලුත් අවුරුද්දේ නෑදෑකම් අලුත් කරගන්න. පවුලේ අය අතර වගේම නෑදෑයන් අතර තියෙන පුංචි පුංචි අමනාපකම් අත්හැරලා ඒ බිඳුණු නෑදෑකම් අලුත් කරගන්න එක ගොඩක් වටිනවා. ඇඳුම් පැලඳුම් සහ ජීවිත අලුත් කරගන්නවා වගේම මේ සිංහල අලුත් අවුරුද්දේදී හිතත් පිරිසුදුකර ගන්න. මේ අවුරුද්දේ මොනවද කරන්න පුළුවන් කියලා හිතලා ඉලක්ක හදාගන්න.
අපේ ඇඳුම් අල්මාරිවල තියෙනවා අවුරුදු ගාණකින් ඇඳපු නැති ඇඳුම්, කුස්සියේ තියෙනවා අපි පාවිච්චි කරන්නේ නැති උපකරණ. ඉතින් බහු භාණ්ඩික වෙන්න හොඳ නැහැ. මියන්මාරයේ වුණ භූමිකම්පාවත් එක්ක ගන්න තියෙන එකම දේ තමයි තත්පර ගාණකින් තමන්ට තියෙන හැමදේම නැති වෙන්න පුළුවන් කියන එක. ඉතින් අසීමිත බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ජීවත් වෙන්න එපා. මොකද එහෙම බලාපොරොත්තු තියාගෙන ඒවා ඉෂ්ට කරගන්න බැරි වුණාම දුක හිතෙයි. ඒ නිසා ජීවිතයට ඉලක්ක තියාගන්න. ඒ ඉලක්කවලට යද්දි දුක, සැප, අයස ඒ ඔක්කොම ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඒවා ගැනත් අමතක කරන්න එපා. ඕනෑම දෙයක් නැති වුණාම හිත හදාගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න.
මේ අවුරුද්දේදී අපි මිනිස්සු හරියට අඳුර ගමු. අපේ ආරක්ෂක වළල්ල එහෙමත් නැත්නම් comfort zone එක ඇතුළට අපි ළං කරගන්න ඕනේ අපිට ගැළපෙන මිනිස්සු විතරයි. මේ අලුත් අවුරුද්දේ ඇඳුම් පැලඳුම් සහ කෑම බීම ගැන හිතනවට වඩා තමන්ගේ හිත සහ සමාජ මට්ටම ගැන හිතන එක හොඳයි කියලා මම හිතනවා. මගෙ ළඟට එන ගොඩක් ගැහැනු ළමයි සහ කාන්තාවන් අඬන්නේ හැපෙන්නේ වැළපෙන්නේ තමන්ගේ මනස සන්සුන් නැති නිසා. මනස සන්සුන් නැත්තේ අපේ comfort zone එක ඇතුළට අපිට ගැළපෙන්නේ නැති මිනිස්සුන්ව ඇතුළු කරගෙන තියෙන නිසා. ඉතින් තේරුම් ගන්න තියෙන එකම දේ අපේ ආශ්‍රයට අපේ මිත්‍රත්වයට සුදුසු නැති අයව ළං කරගන්නේ නැතිව ඉන්න එක. හැබැයි හායි බායි කියන දුරින් එයාලව තියාගෙන හිටියාම ඒ හොඳටම ඇති. මුළු හදවතම නිරාවරණය කරන්න ඕනේ නැහැ, ඒ මිනිස්සුන්ට. මොකද අපේ දුර්වල තැන හඳුනාගත්තාම ඒ අයට පහසුයිනේ අපිට ඊතල විදින්න.
ඒ වගේම තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්න. මුහුණ පිරිසුදුවට තියාගන්න. කොණ්ඩෙ පිරිසුදුවට තියාගන්න. අද මට හමු වුණා අවුරුදු 18ක ගැහැනු ළමයෙක්. එයා නාන්නේ මාසෙකට එක සැරයයි. ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටක මාසෙකට සැරයක් නානකොට එයාගේ ඔළුවෙ උකුණෝ හැදිලා පණුවෝ ගහන්න තරම්. එයා වැදගත් පවුලක ළමයෙක්. මේක එන්නේ මානසික ප්‍රශ්නයක් එක්ක. නාන්න හිතෙන්නේ නැහැ. ඇඟ හෝදන්න හිතෙන්නේ නැහැ. කන්න හිතෙන්නේ නැහැ. නිදියන්න හිතෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් තියෙන්නේ. ඒ වගේ අය සුදුසු මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න.
තමන්ගේ ගෙවල් දොරවල් ශුද්ධ කරන්න අලුත් අවුරුද්ද වෙනකම්ම ඉන්න ඕනේ නැහැ. මම දකිනවා අලුත් අවුරුද්ද ළං වෙද්දී ගේ අස්කරන්න ඕනේ කියලා රැකියාවෙනුත් නිවාඩු දාලා යන අය. හැමදාම ගේ ලස්සනට තියාගන්නව නම් අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ මහන්සියක් වෙන්න ඕනේ නැහැ නේද? ගෘහිණියක් විදිහට ඒ දේවල් හදාගන්න ඕනේ. හැබැයි ගෙදර හැමදේම අම්මා කරන්න ඕනේ කියලා එකක් නැහැ. තමන්ගේ පවුලේ හැමෝම ගෙදර වෙනුවෙන් පවුල වෙනුවෙන් පුංචි දෙයක් හරි කරලා සතුටු වෙන්න.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපිය