වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කාට වුණත් සැඟවිච්ච මොළයක් තියෙන්න බැරි නෑ

පහළොස්වැනි දින සටහන
2016 මැයි 25 අඟහරුවාදා
වවුලෑ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටු කියන්නැහැ මාත් හා හා පුරා කියලා මොළේ ඇති වැඩක් කළා. හිමිජ්ජ වාගේ හිටියට මොකද තිස්ස තමා මගෙත් මොළේ පෑදුවේ. ඊයේ වැඩ ඇරිලා ගෙදර එන ගමන් හන්දියෙ මාළු සුමනෙගෙන් පොඩි බල කූරියෙක් ඇරන් ගිහින් අද කෑමටත් එක්කම හොඳට ගම්මිරිස්, ගොරකා අඹරල දාල මිරිසට හොදි ඉව්ව. ඊයේ උදේ බත් බැඳලා ඉතුරු වුණ පරිප්පු වෑංජනේ ෆ්‍රිජ් එකේ තිබුණා. අද උදේ ඒකට උණු වතුර ඩිංගක් දාලා හොද්දක් කරලා මිරිස් කරලක් කඩලා දාලා අබයි, කරපිංචයි එක්ක තෙම්පරාදුවක් දැම්මා. දැන් ඒක ඊයෙ උදේ උයපු එකක් කියල මටවත් හොයන්ඩ බෑ. පෙරේදා රෑට උයපු මෑකරල් කොස් ඇට වෑංජනේ ඉතුරු පොඩ්ඩකුත් ෆ්‍රිජ් එකේ තිබුණා. ඒකත් දිය කිරි පොඩ්ඩක් දාලා රත් කළා. මොළේ කල්පනාවෙන් පොඩ්ඩක් එහා මෙහා කරලා ගත්තහම ඊයේ පෙරේදා ඉතුරු බිතුරු වෑංජන ටික එක්කෙනෙකුට එක වේලකට ඉහටත් උඩින්. කෑලි හතරෙ කෑම බාස්කට් එකේ අඩියට කෙසෙල් කොළ දාලා වෑංජන ටික වෙන වෙනම දැම්මා. මිරිස් මාළු හොද්ද අඩියෙම එකට දැම්මෙ බස් එකේ ගැස්සිල්ලට හැලුණොත් කියලා බයටයි.
ඔෆිස් එකට හෝල්ට් දෙකක් මෙහා මහ විද්‍යාලෙ ළඟ හෝල්ට් එකෙන් බැහැලා ජනහිත හෝටලෙන් ඉඳිආප්ප විස්සක් ගත්තා. විස්සක් නම් වැඩී තමා. ඒත් ඉඳිආප්පයක් වගේ සිල්ලර දේකට ලෝබ වෙලා මෙව්වයෙ ඔළුව ගහන් ඉන්ඩ බෑ. ජනහිතේ ඉඳිආප්පවලට නිකම් දෙන පොල් සම්බෝලෙ හරි රහයි කියන හින්දයි බස් හෝල්ට් දෙකක් පයින් යන්ඩ බලාගෙන හරි එතෙන්ටම ගියේ. නිකම් දුන්න සම්බෝලෙ උඩම භාජනේට දැම්මා. ගෙදරින් ගෙනාපු කෙසෙල් කොළ කෑල්ල ලන්ච් ෂීට් එකට උඩින් තියලා කඩේ කොල්ල ලවාම ඉඳිආප්ප ටික වෙනම ඔතව ගත්තා.
" සර්ට කට්ටිය හැමදාම උදේ දවල් දෙකටම ගෙනත් දෙන්නෙ බත්ම නෙ. ඉතින් බත්ම කාලා සර්ට එපා වෙලා ඇති කියල හිතලා මං අද පාන්දර ඇහැරලා සර්ට ඉඳිආප්ප තැම්බුවා."
පොත අත්සන් කරන්ඩත් කලින් මං ලොක්කගෙ මේසෙ උඩින් කෑම බාස්කට් එක ගිහින් තිබ්බෙ අත් දෙකෙන්ම අල්ලලා දානයක් පූජා කරන තාලෙටයි. තිස්ස කියන්නැහැ කොච්චර දැන උගත්කම් තිබුණත් වැඩක් නෑ ලොක්කොත් එක්ක ඉන්න කලාව දන්නැත්තම්. ලොක්කො අල්ලන කලාවට අනික් කලාවල් ඔක්කෝම යටයි නෙ ඉතින්.
“ සාම හුඟක් කරදර වෙලානෙ. තෑන්ක්ස් ආ... මං වෙනුවෙන් මෙච්චර මහන්සි වුණාට. ඔයා වැඩට එන්ඩ යන්ඩ කොයිතරම් දුක් විඳිනවද කියලා මං නොදන්නවා නෙමෙයි. හැබැයි ඉතින් කොච්චර දුක් වින්දත් ඔයාගෙ ලස්සන නම් එන්ඩ එන්ඩම වැඩි වෙනවා මිසක අඩුවෙන් නෑ. ළමයි දෙන්නෙක් හිටියට ඔයා තාම චූටි කෙල්ලෙක් වගේනෙ."
මෙච්චරකල් මං කළුයිද සුදුයි කියලාවත් දන්නෑ වගේ හිටපු ලොක්කට අද මාව ලස්සන වෙලා මදිවට තරුණත් වෙලා. තිස්සගෙත් මොළේ තමා මොළේ. බලන් ගියාම ස්වාමිපුරුෂයෙකුට වුණත් සැඟවිච්චි මොළයක් තියෙන්ඩ බැරි නෑ.