උපත ලියාපදිංචි කිරීම හා උප්පැන්න සහතිකයක් ලබාගන්නේ කෙසේද?

අප්‍රේල් 7, 2025

 

බොහෝදෙනකු  නිවැරැදිව උපතක්  ලියාපදිංචි කිරීම හා නිවැරැදිව උප්පැන්න සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබඳ නොදැනුවත් බව නිසා විවිධ අසීරුතාවලට මුහුණපායි. මේ ලිපිය කියවන ඔබට නිවැරැදිව ඔබේ දරුවාගේ උපත ලියාපදිංචි කිරීම හා උප්පැන්න සහතිකයක්  ලබා ගන්නේ කෙසේද දැනගැනීමට හැකියාව ඇත.

 

01. නිවැරැදිව උපතක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

 

උපතක් සිදුවූ විට මවගේ, පියාගේ නම රෝහලට දෙන්න ඕනේ. එතැනින් තමා උපතක් ලියාපදිංචිය සිදුවන්නේ. රෝහල්  වාර්තාවේ මවගේ, පියාගේ නම සියලු විස්තර සඳහන් වෙනවා. මෙතැනින් දෙන වාර්තාවත් සමඟ මාස  03ක් ඇතුළත මව්පියෝ රෙජිස්ට්‍රාර්  කෙනෙක් ගාවට යාම සිදුකළ යුතුය. නැතහොත් ඔවුන්ගේ මාපියන් හෝ භාරකාරයෙකුට පුළුවන් උපත දැනුම් දෙන්න. දරුවකු ඉපදී රෙජිස්ට්‍රාර් ගාවට මාස 03ක් ඇතුළත යන විට අනිවාර්යෙන්ම රෝහලෙන් නිකුත් කරන වාර්තාව රැගෙන යෑම අවශ්‍යයි. ඊට අමතරව සහතිකභාව හා නිවැරැදිභාවය තහවුරු වීමට මවගේ හා පියාගේ උප්පැන්න සහතික, විවාහ සහතික, ජාතික හැඳුනුම්පත් පිටපත් වැනි දේවල් වැදගත් වෙනවා නිවැරැදිව උපතක් ලියාපදිංචි කිරීමට. රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කරනවා අයදුම්පතක් එය  CR1 ලෙස හඳුන්වයි.

 

එහි  තොරතුරු  නිවැරැදිව මාපියන් හෝ භාරකරු පුරවා දුන් විට නිවැරැදිව උපතක් ලියාපදිංචි කිරීමට හැකියාව ලැබේ.

ගෙදරක උපතක් සිදු වෙනවා නම් ග්‍රාම නිලධාරීව දැනුම්වත් කළ යුතුයි. ඊට අදාළව ග්‍රාම නිලධාරී විසින් ලබා දෙනු  ලබන උපතක් සිදු වූ බව  සඳහන් ග්‍රාම නිලධාරී වාර්තාව රැගෙන මාස 03ක් ඇතුළත රෙජිස්ට්‍රාර්වරයකු ළඟට යා යුතුයි. රෝහල් ගත කරන අතරමඟ උපතක් සිදුවුවහොත් උපත ලියාපදිංචි වන්නේ ළඟම රෝහලට අනුවයි.

 

02. කල්ගත වූ උපතක් ලියාපදිංචිය සිදු කරන්නේ කෙසේද?

 

මාස 03ක් ඇතුළත උපතක් ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් ඔවුන්  ළඟම හෝ රෝහල අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  යා යුතුවේ. ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  ඕනෑම කාලයක් ඇතුළත  කල්ගත වූ උපතක් ලෙස එම උපත ලියාපදිංචි කිරීමට හැකියාව ලැබේ.  එතැනදි මාපියන් දෙන තොරතුරුවලටත් වඩා සොයා බැලීම සිදු කරන්නේ මව්පියන්ගේ උප්පැන්න සහතික හා  විවාහ සහතික මත නිවැරැදිව උපතක් ලියාපදිංචි කිරීමට සිදුවෙයි. මෙම  අවස්ථාවේදී මව පියා යන දෙදෙනාම රෙජිස්ට්‍රාර්වරයා ළඟට පැමිණීම අනිවාර්ය වේ.

 

03. උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගන්නා ආකාරය.

 

උපතක් ලියාපදිංචි කරන මොහොතේ උප්පැන්න ලේඛන පිටපත් 03ක්  රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි කරයි. එහි පළමු පිටපත රෙජිස්ටර්වරයා අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත්, දෙවැනි පිටපත රෙජිස්ට්‍රාර්  දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයෙත්, තුන්වැනි පිටපත දැනුම් දෙන්නාටත් ලබාදීම සිදුවේ. තුන්වැනි පිටපත නොමිලේ ලබාදෙන පිටපතකි. ඕනෑම අවස්ථාවක ජාතික හැඳුනුම්පතක්, විදේශ ගමන්  බලපත්‍රයක් ලබා ගැනීම සඳහා  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයෙන් එය ලබා ගත හැකිය.

 

04. උප්පැන්න පිටපතක් ලබා ගැනීම සඳහා අය කරන ගාස්තුව

 

සහතික පිටපතක් ලබා ගැනීම කරන විට සහතිකය ලියාපදිංචි කළ අංකය, දිනය දන්නවා නම් එක් පිටපතකට රු.120කි.

ලියාපදිංචි කළ අංකය, දිනය නොදන්නවා නම් එකක පිටපතකට රු.250ක මුදලක් අය කරනු ලැබේ.

 

පිටපතක් ලබා ගැනීමට උපත ලියාපදිංචි කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම නොගොස් වර්තමානය වන විට ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් උප්පැන්න පිටපතක් ලබා ගත හැකිය. එය පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා පිටපත් ලබා ගැනීම සිදුකළ හැකිය.

 

05.  උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම යෑමට අවශ්‍යද?  නැතහොත් මාර්ගගත ක්‍රමයට උප්පැන්න සහතිකය ලබා ගැනීම සිදුකළ හැකිද?

 

උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණීමට අත්‍යවශ්‍ය නොවේ. එයට රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පිටපත් ලබා ගැනීම සිදුකළ හැකිය. පිටපත සහතික කර තැපැල් මාර්ගයෙන් නිෙවසටම පිටපත එවනු ලැබේ.  මධ්‍යම ලේඛනාගාරයේ  පවතින 1960 පසු ඉපදුණ ඕනෑම උප්පැන්න සහතිකයක් මාර්ගගත ක්‍රමයට  දත්ත පද්ධති ඔස්සේ  ගැනීමට හැකියාව පවතී. ලේඛන සුරක්ෂිතව තිබෙන සමහර ප්‍රදේශවල  1930 ගණන්වලත් දත්ත පද්ධති ගැනීමට හැකියාව පවතී.

 

06. උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට කෙතරම් වෙලාවක් රැඳී සිටිය යුතුද?

 

ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට පැමිණ නිවැරැදිව තොරතුරු ලබාදීම සිදු කරනවා නම් එම පැමිණෙන පුද්ගලයා පමණක් සිටී නම් විනාඩි 02ක  පමණ කාලයකින් ලබා ගැනීමට හැකියාව ඇත.  නමුත් පැමිණ සිටින පුද්ගලයන් ගණන සහ ඒ ආයතනවල සිදුවන තාක්ෂණික ගැටලු සමඟ එම කාලය වෙනස් වේ.

 

07. අස්ථානගත වූ උප්පැන්න සහතිකයක් ලබාගැනීම සිදුකරන්නේ කෙසේද?

 

පිටපතක් අස්ථානගත වී තිබේ නම් මුලින්ම දත්ත පද්ධතිය හරහා උප්පැන්න සහතිකයක් ගතහොත් අදාළ පුද්ගලයාගේ නම, උපන්දිනය හා මවගේ නම සමඟ දත්ත පද්ධති හරහා සොයා බැලීමත් සිදු කිරීමට හැකියාව ඇත.

 

08. උප්පැන්න සහතිකයක නමේ සංශෝධනයක් සිදු කරනවා නම් එය සිදු කරන්නේ කෙසේද?

 

නමක් වෙනස් කිරීමේදී ක්‍රම කිහිපයකට සිද්ධ වෙනවා. දැනට අනුගමනය කරන්නේ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 2007/22 යන චක්‍ර ලේඛයයි. ඒ අනුව නමක් වෙනස් කිරීම සිදුවන්නේ එක් එක් වයස් කාණ්ඩවලට අනුවයි. අවු. 07ට අඩු දරුවෙක්ගේ නමක් වෙනස් කරනවා නම් අවශ්‍ය වන්නේ මාපියන්ගේ කැමැත්ත පමණයි. ඒ සමඟම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රකාශපත්‍ර හා දිවුරුම්පත්‍ර පිරවීම අවශ්‍යයි. එසේම මව්පියන් වෙන්වී සිටිනවා නම් හෝ භාරකාරයෙකුට පවරා ඇත්නම් නෛතික  සාධක මත මාපියන් යන සංසිද්ධිය තුළින් එම ක්‍රියාවලිය වෙනස්වීම සිදු වෙයි. එම අවස්ථාවේදී මාපියන්ගේ කැමැත්තටම නෙවෙයි  අදාළ ක්‍රියාමාර්ග ඔස්සේ එම ක්‍රියාවලිය වෙනස්වීම සිදුවේ.

 

අවු.07ත් අවු 16ත් අතර දරුවෙක්ගේ නමක් වෙනස් කිරීම සිදු කරන්නේ නම් පාසලේ විදුහල්පතිගේ ලියුමක් අවශ්‍ය වේ. එතැනදි විදුහල්පති ප්‍රකාශ කිරීම  අවශ්‍යයි මේ දරුවාගේ නම වෙනස් කිරීම ගැටලුවක් නොවන බව, එවිට මාපියන්ගේ ඉල්ලීමත් සමඟ නම සංශෝධනය කිරීමට හැකියාව ඇත. තවද දරුවාගේ නම පාවිච්චි කර තිබෙන සහතිකපත්‍ර වැනි දේවල් ඉදිරිපත් කර මාපියන්ගේ කැමැත්තත් සමඟ නම සංශෝධනය කිරීමට හැකියාව පවතී.

 

අවු.16ට වැඩි අවු.21ට අඩු නම්  දරුවා  යන වයස 21 ලෙසත් රෙජිසට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් අර්ථ දක්වා ඇත. එවිට මව පියා හෝ භාරකරුවෙක්  ඉඳීම අත්‍යවශ්‍ය වේ. මව පියා හෝ භාරකරු විසින් දිවුරුම් ප්‍රකාශයක් දිය යුතුයි. නම සංශෝධනය කිරීම ගැටලුවක් නොවන බවට තවද දරුවාගේ ඉල්ලුම් කරන මුළු නම කොතැනදී හෝ පාවිච්චි කර තිබීම අවශ්‍ය වේ. පිළිගත හැකි ලේඛන ලෙස, පාසලේ සහතික පත්‍ර, වැඩපළක නම් එහි තිබෙන ලේඛන යන දේවල් අවශ්‍ය වේ. වාසගමක් හෝ විශාල ලෙස වෙනසක් සිදු කරන්නේ නම් පත්තර දැන්වීමක්  අවශ්‍යයි. පත්තර දැන්වීමක් දමනවා නම් පොලිස් වාර්තාවක්ද අත්‍යවශ්‍ය වේ. පොලිසිය ඉදිරියේ මව හෝ පියා අත්සන් කර එය රැගෙන ආ යුතුය.

 

අවු. 16ට වැඩි නමක් වෙනස් කිරීමේදී ඕ‍ෙනම කෙනෙකුට අත්‍යවශ්‍ය  වන ලිපි ලේඛන,

* පත්තර දැන්වීම

* පොලිස් වාර්තාව

* ග්‍රාමනිලධාරි සහතිකය

* දිවුරුම් ප්‍රකාශය අනිවාර්ය වේ.

 

අවු.21ට වැඩි නම් ඔවුන්ටත් ඉහත ලිපි ලේඛන අවශ්‍ය වේ. ඒ වගේම තමන්ගේ නම වෙනස් කිරීමට හැකියාව ලැබෙන්නේ තමන්ට පමණි. බලය පවරපු ලේඛනයකින්වත් සංශෝධනයක් සිදු කිරීමට හැකියාව නොමැත.  අදාළ පුද්ගලයාගේ පැමිණීම අනිවාර්ය වේ. අනන්‍යතාව තහවුරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ලබාදීමද සිදු කළ යුතුය.

 

 

 

උපදෙස්,

සුගත් සිසිර කුමාර -

ප්‍රාදේශීය ලේකම් (තිඹිරිගස්යාය)

එම්.ඒ.ජී. ජීවනී කරුණාරත්න -

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්

(තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

ඒ.ඒ.එස්.සංජීව -

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

(තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

 

 

[email protected]