අම්මා

අප්‍රේල් 7, 2025

 

පුතා;

 

මේ පිංතූරය ගැන කතා කරන්න සුදුසුම කෙනා ඔයා. මොකද දන්නවද ඒ අම්මා කෙනෙකුගේ සෙනෙහස ආදරය කරුණාව ප්‍රේමය කැපවීම පරිත්‍යාගය මන්දා මොන වචනයෙන් කියන්නද කියලා. ඒ දේ මේ ෆොටෝ එකේ වචන නම් දස දහස් ගාණකින් ලියලා තියෙනවා. ඉතින් පුතාටත් මේ ගැන කතා කරන්න වචන තියෙන්න ඕනේ.

 

මට මතකයි පුතා; පුතාගෙ අම්මාත් ඔය වගේ කැපවීමක් කළා. එතකොට ඔයා පාපන්දුවට පෙම්බැඳි සමය. පාසලේ හතේ අටේ පංතිවලදි. ඔයාටත් ඕනෙ වුණා පාපන්දු ක්‍රීඩාවට යොමුවෙලා සෙල්ලම් කරන්න. පාසල් වෙලාවෙන් පස්සේ පුහුණුවීම් තියෙන නිසා සවසට ඉන්න වෙනවා. අම්මා කෑම ටික වතුර එක අරන් පිට්ටනිය ගාවට වෙලා බලා ඉන්නවා. සමහර වෙලාවට අව්වෙ රශ්මිය විඳ දරාගනිමින් ඔයා සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්නවා. අවසන් වුණාම අම්මා එක්ක එන්නේ බස් එකේ. ඔයා අම්මාගේ උරහිසට හිස තියාගෙන නිදාගෙන එන්නේ. අම්මා සද්ද නැතුව ඔයා එක්ක එනවා. දන්නවා ඔයාට හොඳටම මහන්සියි කියලා. ඔබ කණ්ඩායමේ උපනායක වෙච්ච දවස අම්මාට දැනුණු සතුට ගැන කියන්න වචන නෑ කිව්වා අම්මා. මොකද ඇයගේ කැපවීමේ එක ප්‍රතිඵලයක් ඒ හින්දා.

 

කාලය ගෙවිලා ගියා ඔයා නාලන්දාවට අවාට පස්සේ ගියේ රගර්වලට. ඔය කාලෙම වගේ ඩී.එස්. එකේද කොහේද තරුණ දරුවෙක් රගර් ක්‍රීඩා කරද්දි වෙච්ච පහරකින් මියගියා. ඔයා හිතනවද අම්මා ඉන් පස්සේ ඒ ක්‍රීඩාවට කැමැති වෙයි කියලා.

 

අම්මා එපා කිව්වත් දවසක් ඔයාව කොළඹ විශ්වවිද්‍යාලයේ පිටිටනියෙදි අහම්බෙන් දැක්කා. ඔයා රගර් කණ්ඩායමත් එක්ක පුහුණු වෙනවා. අම්මා කොහේ හෝ බස් එකේ යද්දි අහම්බෙන් දැක්කෙ ඔයාව. මම දන්නෙ නෑ ඔයා දිගටම ක්‍රීඩා කළා නම් මොන විදිහට තැනකට එයිද කියලා. නමුත් අම්මාගේ කඳුළුත් එක්ක ඒක නැවතුණා. අම්මා එහෙම කළේ ඔයාට තියෙන ආදරේට. අනතුරක් වෙයි කියලා අම්මා බය වුණා. ඒක සාධාරණයිනේ.

 

පුතේ මේ ඡායාරූපයේ ඉන්නා අම්මා මේ පුතාගේ පිටුපසින් සෙවනැල්ල වගේම හිටියා. දිමුත් කරුණාරත්නගේ අම්මා තමා මේ. පුතාගේ සියවෙනි මැච් එක දවසෙ පුතාගේ ජයග්‍රහණය දවසේ ඇය හිටියේ පුතාගෙ ළඟම. පේනවා නේද ඒ අම්මා අම්මටත් වැඩිය ලොකු පුතාගේ අතේ එල්ලිලා ඉන්න ආදරණීය බව. ඇත්තෙන්ම ඒ අම්මාට ඇරෙන්න ඒ වෙලාවෙ වෙන කාටවත් පුතාට ළංවෙන්න බැහැ. මොකද දන්නවද දිමුත්ගේ ඒ ජයග්‍රහණ සියල්ලේම පැසසුම්, සියල්ලේම අයිතිය මේ පුතා අම්මාගේ පය පාමුල තබලා වන්දනා කරලා තමයි ක්‍රීඩාවෙන් සමුගන්නේ. ලෝකයේ හැම පුතාටම එහෙම කරන්න බැහැ තමා පුතේ. ඒත් කලාතුරකින් හෝ කෙනෙක්ට එහෙම අවස්ථාවන් උදාවෙනවා.

මම මේ කියන්නේ ඔබ එහෙම ගෞරවයක් අම්මාට දුන්නේ නෑ කියලා නෙවේ. අම්මාට ඕනෙ වුණ ගමනයි ඔයා අද ඔය ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබ අද ලබන ජය, පැරදුම, උපහාස, අපහාස, නින්දා, ප්‍රශංසා සියල්ලම අම්මා අම්මාගේ ඒවා ලෙසයි විඳින්නෙ.

 

ලෝකයේ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ගේ ජයම විතරයි පතන්නේ. එයින්ම විතරයි සතුටු වෙන්නේ. ඒක තරම් ලොව්තුරු සුවයක් අම්මලාට නෑ. ඒ කියන්නේ හැම අම්මා කෙනෙක්ටම අපි ගරු කරන්න ඕනේ. ඔබේ අම්මා හා මගේ අම්මා වගේම හැම අම්මාම උතුම් කාන්තාවන්. ඉතින් අපි කාන්තාවන්ට ගරු කරන්න ඕනේ අන්න ඒ හැඟීමෙන්.

 

මේ ඡායාරූපය ගත්තේ කවුද කියලා නම් මම දන්නේ නෑ. නමුත් ඒ වටිනා ඡායාරූපවල අයිති කාරයන්ට මම ප්‍රණාමය පුදකරනවා මෙවන් පුවතක් හෙළි කරන්නට මේ කැමරා ඇස්වලට හැකි වුණාට.