පොල් පලදාව වැඩිකර ගන්න පොහොර නිසි අයුරින් යොදන්න

අප්‍රේල් 21, 2025

 

අප ජීවත් වන්නේ වටිනා රත්තරන් පොළවකය. මේ මහ පොළොවේ කප්රුක ලෙස හඳුන්වන පොල් ගස කියන්නේ ගසේ මුලේ සිට කොළේ දක්වාම ප්‍රයෝජනවත් ශාකයකි. එහෙත් පොල් ගසක වටිනාකම නොදත් බොහෝ දෙනෙක් පොල් ගස් කපා දමා ඉඩම් කට්ටිකරමින් විකිණීමේ ප්‍රතිඵල වර්තමානයේ අත්විඳිමින් සිටි. තිබූ පොල් ගස් රැක ගනිමින් නඩත්තු කරමින් පොහොර යොදා හොඳ පලදාවක් ලබා ගත්තානම් පොල් මිල මේ තරම් ඉහළ යන්නේ නැති බව අවබෝධ වී තිබේ.

 

ඒ නිසා වර්තමානයේ පොල් මිල ඉහළ යාමට විසඳුමක් වන්නේ දැනට අපට ඉතිරිව ඇති පොල් ගස් නිසි ලෙස පොහොර යොදා නඩත්තු කිරීමය. ඒ සඳහා පොහොර යෙදීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයක් පොල් සංවර්ධන අධිකාරියත් වගා කරුවන්ට සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

 

එසේම මේ සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ පාංශු හා ශාක පෝෂණ අංශයේ අංශ ප්‍රධානී ෆාතිමා නදීෂා මහත්මිය දැක්වූ අදහස හා උපදෙස් ඉතාම ප්‍රයෝජනවත්ය. ඇය පොල් ගසකට පොහොර යෙදීම ගැන දැක්වූයේ මෙලෙසිනි. “ඇත්තටම මිනිස් ශරීරයට වගේම පොල් ගසටත් පෝෂණය අත්‍යවශ්‍ය සාධකයක්. අප පොල්ගසට කියන්නේ කල්ප වෘක්ෂය කියලා. ඒ කියන්නේ මේ ගස දීර්ඝ කාලයක් පැවතිය යුතුයි මේ සඳහා හොඳ පෝෂණයක් ලැබිය යුතුමයි. පොල් නිසි පලදාව ලබන්න නම් පෝෂක පදාර්ථ එක්විය යුතුයි. මේ සඳහා පොල් ගස විවිධ ප්‍රභව යොදා ගන්නවා. පොල් ගසකට පෝෂක පදාර්ථ කාර්යක්ෂමව ලැබෙන ප්‍රභවයක් තමයි පොහොර. මේ පොහොර අප යොදන්නේ බාහිරව. අප යෙදීම නිසි අයුරින් කළොත් තමයි සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වන්නේ.

 

පොල් වගාව සඳහා පොල් පර්යේෂණ ආයතනයෙන් පොහොර වර්ග ගණනාවක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ නිර්දේශිත පොහොරවල ප්‍රධාන පදාර්ථ හතරක් පිළිබඳ සඳහන් වෙනවා. නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් යන පෝෂක අඩංගු පොහොර තමයි මේ පොල් වගාවට යොදන්නේ. මැග්නීසියම් අඩංගු පොහොර තමයි ඩොලමයිට්. මෙය පොල් ගසට විශාල වශයෙන් අවශ්‍ය පොහොරක්. MOP කියන පොස්පෙට් පොහොර කිලෝ එකයි ග්‍රෑම් 600ක් ගසකට යෙදිය යුතුයි. ඒ වගේම තමයි පොස්පරස් අඩංගු ERP කියන පොහොර ගසකට ග්‍රෑම් 900ක් යෙදිය යුතුයි. ඒ වගේම නයිට්‍රජන් අඩංගු යූරියා පොහොරත් පොල් ගසට යොදනවා. ඊට අමතරව කාබනික පොහොර යෙදීම ඉතාම වැදගත්. මේ කාබනික පොහොර සෑම පෝෂක පදාර්ථයක්ම අඩංගුයි. ඊට අමතරව, අංශුමාත්‍ර වශයෙන් අඩංගු පොහොරත් තියෙනවා. මේ පොහොර ප්‍රධාන පොහොරවලට අමතරව කාබනික පොහොර වල අඩංගුයි.

පොල් ගසකට පොහොර යෙදීමේ ක්‍රමවේදයක්ද පවතී. පොහොර යෙදීමේදී එම පොහොර මිශ්‍ර කිරීම කළ යුත්තේ ගසට යොදන අවස්ථාවට පෙරයි. එය ඔබට සමඟ තබා ගත නොහැකි වෙයි. ඩොලමයිට් පොහොර යූරියා කල් තබා ගැනීම නොකරයි. එම පොහොර යොදන්නේ පොහොර යොදන මොහොතට සුළු මොහොතකට පෙර එය ගබඩා කර තබාගත නොහැකි වෙයි. මෙසේ මිශ්‍ර කළ පොහොර ගසේ මුල සිට අරය අඩි හයක් දක්වා සීමාව තුළ රවුමට පොහොර යෙදිය යුතුයි. ඉන්පසු එම පොහොර පසත් සමඟ මිශ්‍රවන ලෙසින් හොඳින් කෙටිය යුතු වෙයි. පොහොර යෙදීමේදී පසේ තෙතමනය තිබීමද වඩාත් වැදගත්ය. මේ සඳහා අධික වර්ෂා කාලයක් නිමවන කාලයේදී වඩාත් සුදුසු වෙයි.

අඩි 6ක සීමාව තුළ මෙසේ පොහොර යෙදූ පසු පැරණි පොල් කොළ හා තණකොළ වැස්මක් ලෙස යෙදීම පොහොර ගසට උරාගැනීමට වඩාත් යෝග්‍ය වෙයි. මෙලෙස මතුපිට පොහොර යෙදීමට අමතර පාත්ති කපා පොහොර යෙදෙන ක්‍රමයක් ද සාර්ථක පොහොර යෙදීමේ ක්‍රමයකි. විශාල වශයෙන් පොහොර යෙදීමේදී මෙම පාත්ති ක්‍රමයට පොහොර යෙදීම සුදුසු වෙයි. පොහොර යෙදීමේ ක්‍රියාවලිය වඩාත් සාර්ථක වන්නේ ව්‍යුනක් යොදා වසා දැමීමෙනි. මේ සඳහා පොල්ලෙලි පොල් අතු යොදා ගත හැකි වෙයි. මෙය සාමාන්‍යයෙන් පොල් අතු දහයක් තරම් ප්‍රමාණයක් ස්ථර 3ක් ලෙසින් යෙදීම ප්‍රමාණවත්ය. මෙසේ වැස්මක් යෙදීමෙන් දැමූ පොහොර වර්ෂාවෙන් ආරක්ෂා වෙන අතර උෂ්ණත්වය පාලනය කරයි. තවත් හේතුවක් වන්නේ වල්පැළෑටි පාලනයයි. මෙලෙස පොල් ගසකට පොහොර යෙදීමෙන් පොල් පලදාව වැඩිකර ගනිමින් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

 

විශේෂ ස්තූතිය

පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් වගා කිරීමේ මණ්ඩලයට