ලොකු ඉස්කෝලේ මහත්තයා

කෙටි නවකතාව- (අවසන් කොටස)
අප්‍රේල් 21, 2025

 

“ඉස්කෝලෙ ගුරුවරුන්ට එන්ට යන්ට දැන් වෙලාවක් නෑ. හිතු හිතු වෙලාවටයි ඒ අය එන්නෙ යන්නෙ.” පියදාස කීවේය.

“වෙලාවට සීනුවක් ගහනවා දැන් ඇහෙන්නෙ නෑ. ලොකු මහත්තයෝ. පුළු පුළුවන් එවුන් දැන් ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා ටවුමෙ ඉස්කෝලවලට යනවා ලොකු මහත්තයෝ ගිය සුමානෙත් දෙතුන් ගොල්ලක් මං දැක්කා ලොකු මහත්තය හොයන්න යනවා. ටවුමට යන්ට හයිය හත්තියක් නැති උන් ඕං ගෙවල්වල නැවතිලා හේනෙ, කුඹුරෙ වැඩට යනවා.

 

ලොකු මහත්තය ඉස්කෝලෙ එන්නෙත් දැන් යලට මහට ලු. ඒ ආවත් කාමරෙන් එළියට එන්නෙ නැති ලු. ගුරුවරුයි, ළමයිනුයි තම තමන්ගෙ මතේට වැඩ.” සිරිසේන කීවේය.

 

සිරිදාස මහත්තයා හිස බිමට බර කරගත්වනම ඇඳිරියේ ගෙට ආවේය.

කුසුමලතා නෝනා විස්සෝපයෙන් එන ඔහු දැක මිදුලට බැස්සාය.

 

“ඇයි අපෙ මහත්තයා ?”

 

“අනේ! මට නම් ඉවසන්න අමාරුයි හාමිනේ. ඉස්කෝලෙ දැන් ගන්න දෙයක් නෑ වගේ.

 

“අපි මොනව කරන්නද මහත්තයා? අපේ කාලෙ අපේ දරුවෙක් වගේ අපි බලාගත්තනෙ.” කියු කුසුමලතා හාමිනේ පුරුදු පරිදි ඉස්කෝලෙ මහත්තයා හවසට බොන කොත්තමල්ලි කෝප්පය ගෙන ඒමට කුස්සියට ගියාය. සිරිදාස මහතා විශ්‍රාම ගත් පසු පාසලේ මුල්ගුරු වශයෙන් පත් වී ආවේ නාගරික පාසලක සේවය කළ කෙනෙකි.

 

පාසලට ඒමටත්, පාසලින් පිටවීමටත් නියමිත වෙලාවක් නොතිබූ ඔහුට විදුහල්පතිකම තවත් රැකියාවක් වූවා පමණි.

 

පාසල දිනෙන් දිනම පිරිහීම සිරිදාස මහත්තයාට දැරිය නොහැකිව තිබුණි. පාසලේ දරුවන්ගේ විනය අන්තයටම පිරිහී ඇති බව දවසින් දවසම ගම්මුන්ගේ කතාවලින් පැහැදිලි විය.

 

සිරිදාස මහතාගේ කාලයේදී මල් උයනක් සේ සුන්දරව තිබූ පාසල් වත්ත දැන් කැළේ වැහිලාය. බිත්තිවල, වහලේ බැඳුණු මකුළුදැල් පාරේ යන එන අයටත් දැකිය හැකිය.

 

දොර ජනෙල් උළුවහුවල සොයිබ, යතුරු තහඩු සේම පාසල් වත්තේ සවිකර තිබූ වතුර පයිප්ප කොටස් ගලවාගෙන ගොසිනි.

 

ලොකු ළමයි පාසල් වේලාවේ දුම් බොන බවටත් ආරංචි ගම පුරාම පැතිරේ. අට නවය වසරේ ළමුන් කීප දෙනෙකුගේ ආදර හසුන් ගුරුවරුන්ට හසු වූ බවටත් ගමේ කඩමණ්ඩියේ, ළිං තොටේ දී කියැවෙනු ඇසිණි.

 

සිරිදාස මහත්තයාට කඩපළේ දී මේ සියලු දෑ අසන්නට ලැබීම නිසා දවසින් දවසම ඔහුගේ සන්තාපය වැඩිවිය. ගෙදර ඇවිත් මේ සියලු දේවල් ඉස්කෝලේ හාමිනේ සමඟ ඔහු පවසන්නේ හිතේ පැහැවන දුක තුනී කරගන්නටයි.

 

ඒ හැමවිටම කුසුමලතා ඉස්කෝලෙ හාමිනේ පැවසුවේ පාසල ගැන ඇති ඇල්ම අමතක කරදමන ලෙසයි.

 

"අපි ආදරෙන් ඇති දැඩි කරපු දරුවෙක් අමතක කරන්නෙ කොහොමද හාමිනේ?” එවිට ඔහු ඈත බලාගෙන පවසයි.

 

දවසක උදයේ පොලිස් ජීප් රථයක් පාසල්වත්තට එනු දුටු ගම් වැසියෝ වැල නොකැඩී ජීප්රිය පිටුපසින් පාසල් වත්තට පැමිණියෝය.

 

එවෙලේ එකදු ගුරුවරයෙක් වත් පන්ති කාමරවල නොසිටි අතර ළමෝ රිසි පරිදි දඟලමින්,කෑ කෝ ගසමින් සිටියහ.

 

රියේ හඬ ඇසුණු ගුරුවරු ගුරු කාමරයේ සිට එක එකා එළියට ඇදුණහ.

 

කෙළින්ම විදුහල්පතිගේ කාර්යාලයට ගිය පොලිස් නිලධාරීහු එහි අස්සක් මුල්ලක් නෑර අහුමුළු පිරික්සා, අවසන මාංචු සහිතව විදුහල්පති ජීප්රියට නංවා ගෙන වේගයෙන් පිටත් වී ගියෝය.

 

ගම්මු කාර්යාලය තුළට කඩා වැදුණහ...ඒ සමඟ පැමිණි අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් ලොග් පොත්, අල්මාරි යතුරු සියල්ල ඔවුන්ගේ භාරයට ගත්හ. ගමිමුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඔවුන් කීවේ මත්ද්‍රව්‍ය වර්ගයක් කාර්යාලයේ තිබී හමුවූ බවයි. අධ්‍යාපන කාර්යාලයේ නියමය පරිදි පාසල දින නියමයක් නැතිව වසා දමන ලදී.

 

කැලඹුණු ගම්වැසියන්ගෙන් එකෙක් පිටතට දුව ගොස් සැණෙකින් ආපසු ආවේය.

 

සැවොම එක් වී කාර්යාලය ඉදිරිපසට පාසල් වත්ත පුරාම තිබුණු ලී දඬු එකතු කර ගොඩක් ගසා භූමිතෙල් දමා ගිනි තැබූහ. හමා ආ සුළඟත් සමඟ ගින්න වේගයෙන් පැතිරී මුළු පාසල් ගොඩනැඟිල්ලම ගිනි ජාලාවක් විය.

 

ගම්මු ගින්න වටා කෑ ගසමින් නටන්නට පටන් ගත්තේ වියරු වූවන් මෙනි. වත්ත පුරා තිබූ ඇවිලෙන දෑ තව තවත් ගින්නට දමා ඒවා ගිනි ගන්නා විට සතුටින් උඩ පනිමින් ඔව්හු කෑ ගැසූහ.

 

එදත්, උදේ වරුවේ වෙනදා මෙන්ම පාසල දෙස වරින්වර බලමින් සක්මනේ යෙදුණු සිරිදාස ඉස්කෝලෙ මහතාට හදිසියේ පාසල් වත්ත දෙසින් කෑ කෝ ගැසීමක් ඇසී බලන විට ඔහු දැක්කේ තද දුමාරයකින් පාසල වැසී ඇති බවත්,

විශාල ගිනි ජාලාවක් තවමත් ඇවිලෙන බවත්ය.

 

සිරිදාස මහතාගේ පපුව පුරා දැවිල්ලක් පැතිරෙනු එසැණින් ඔහුට දැනිණි.

 

“හාමිනේ... හාමිනේ...” කටහඬ පැටලෙද්දී ඔහු අමාරුවෙන් කෑ ගැසීය.

 

 

 

සිරිදාස මහතා කෑගසන හඬින් මිදුලට දිව ආ කුසුමලතා හාමිනේ දැක්කේ, තම අතින් පපුව අල්ලාගෙන බිම හිඳ ගෙන පාසල දෙසම බලාගෙන සිටි සිරිදාස මහත්තයාය.

 

“අයියෝ! මහත්තයෝ මොකද වුණේ?”

 

ඇයගේ කෑ ගැසීම ඇසූ පාරේ ගිය අයෙක් දුව විත් ඉස්කෝලෙ මහත්තයා ඔසවාගෙන ඔහුව ඉස්තෝප්පුවේ හාන්සි කරවා මුහුණට, වතුර ඉස ඔහුව සිහි ගැන්වීමට වෑයම් කළේය..

 

“මහත්තයා... මහත්තයා...”

 

කුසුමලතා නෝනා කෑ ගසන හඬ ඇසී, ඉස්කෝලෙ වත්තේ සිටි ගැමියෝ වහා දුව ආහ.

 

“අනේ! අපෙ දෙයියෝ! ඇස් අරින්නකෝ.” කෑ ගැසූ ඔව්හු වැටී සිටි සිරිදාස මහත්තයාව බදාගෙන වැලපෙන්නට පටන්ගත්හ.

 

සිරිදාස ලොකු මහත්තයා නැවත ඇස් ඇරියේ නැත.

 

නිමි.