වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

දාසයවැනි දින සටහන
2016 මැයි 26 බදාදා
" ඊයෙ ඔයාගෙ කෑම ටික නම් හරිම රසයි සාමා. අපේ අම්මගෙ අතින් කෑවට පස්සෙ මෙච්චර රහට පොල් සම්බෝලයක් කෑවමයි මං මේ. වයිෆ් ගමේ ගිය එකමයි හොඳ. එයා ඉතින් මොනවා ඉවුවත් වතුරයි බතුයි වගේනෙ. කොහොමත් දැන් ඉතින් මගේ ජීවිතේම වතුරයි බතුයි වගේ තමයි කෑමක් වුණත් රස වෙන්නෙ උයන කෙනාගෙ හැටියට කියනවනෙ. රසට කන්ඩ නැති කෙනෙකුට මෙහෙම රස කෑමක් දෙන එක මහා ලොකු පුණ්‍යකර්මයක් සාමා. ඇත්තමයි මේ රස මට ජීවිතේටම අමතක වෙන එකක් නෑ. කොහෙද ඉතින් මේ වගේ අතකින් හැමදාම කන්ඩ මං පින් කරලා නෑනෙ. නේද සාමා … ? "
අද උදේ ෆයිල් වගයක් අත්සන් කරවාගන්ඩ ගියාම ලොක්ක තොලකට ලෙවකකා කතා කරපු හැටි මට ඇල්ලුවෙ නෑ. ෆයිල් එක ආපහු දෙද්දි ලොක්කගෙ අත මගෙ අතේ වැදුණද වැද්දුවද කියල නම් ආයි ඉතින් තර්ක විතර්ක කරන්ඩ දෙයක් නෑ. මෙව්වයෙ ඔළුව ගහන් ඉන්ඩ හොඳම විදිහ ඔව්ව තේරෙන්නැති මෝඩ ගෑනිගෙ චරිතෙට අඳිනෙක තමා. ඔහොම පොඩ්ඩක් පස්සෙන් එන්ඩ ඇරලා රතු ඉර පනින්ඩ හැදුවොත් විතරක් මෝඩ තාලෙන්ම පොඩි මට්ටුවක් කරනවා. ඒ මිසක ලොක්කොත් එක්ක හැප්පිලා දිනන්ඩ බෑ. ඇයි ඉතින් නඩුයි බඩුයි දෙකම ඒ දෙයි හාමුදුරුවන්ගෙම නෙ.
2016 මැයි 31 සඳුදා
දවස් හතරෙ නිවාඩුවෙන් පස්සෙ හන්දා වෙනදටත් කලිනුයි බස් එකට ආවෙ. ඒත් වැඩක් උන්නෑ. අයින් සීට් ඔක්කෝම කට්ටිය අල්ලගෙන. කොහොම හරි මැදක හරි ඉඳගන්ඩ ලැබුණෙකත් ලොකු දෙයක්. බස්සෙක අද්දල පැය කාලක් යන්ඩැති. යාන්තම් නින්ද යාගෙන ආව විතරයි.
"මේකෙ ඉන්නෙ ළමයි හම්බුන්නැති ගෑනුද මන්දා. බඩ දරු අම්ම කෙනෙක් නැග්ගම බොරුවට නිදි කිරනවා. ඔය කවුරු හරි සීට් එකක් දෙන්ඩලකො මේ අම්මට."
තව ඕනෙ තරම් කට්ටිය ඉඳගෙන ඉද්දි හිටන් ඉන්න මිනිහෙක් මං දිහා බලාගෙනම බෙරිහන් දෙනවා..
" මිස් මේ ළමයට සීට්ටෙක දෙන්ඩ."
හවුලට තව ගෑනියෙකුත් එකතු වුණා. පාන්දර නැඟිටලා සුමේ කරල හති දමන් දුවන් ඇවිල්ලයි සීට් එකක් අල්ලගෙන ඉඳගත්තෙ. අන්තිමට ඉතින් ඒකත් පූජ කරන්ඩ වුණා. වෙන කරන්ඩම දෙයක් නැති තැන බෑග්ගෙ උඩ රැක් එකට රිංගෝල අමාරුවෙන් උඩ පොල්ලෙ එල්ලුණා..
මට තිස්තුන් කෝටියක් යක්කු ටික ආවේස වුණේ ඒකට නෙමේ. අර කිවුව බඩ දරු අම්ම බහිද්දි මං අමාරුවෙන් හිටන් යනවා දැක දැකම හතර රියන් පිරිමියෙකුට සීට්ටෙක දීලා බැහැල ගියානෙ. කොච්චරක් යක්කු ආවේස වුණත් පොදු තැන්වල උන්ට නටන්ඩ දෙන්ඩ බැරි හින්ද හිතේම හිර කරගෙන ඉවසන් හිටියා. හැබැයි ඉතින් ඔෆීස් එකේදි උන් ටික එළියට පැන්න. යක්කුන්ට වුණත් සීමාවක් නැතුව එකතැන හිරවෙලා ඉන්ඩ බෑනෙ.
"සාමා මිස් අද ඇඳේ වැරදි පැත්තෙන්ද කොහෙද බැහැල තියෙන්නෙ. මූණට අබ දැම්මත් පුපුරන ගාණයි"
සිරිතුංගයට කට පියාගෙන ඉන්ඩ බැරුවට මං මක්කරන්ඩද ? ඒත් ගෙදර ඇවිල්ලත් මට දුකයි සිරිතුංගයට බැනපු එකට. පව්.. අහිංසකයා. මගේ හිත මටම දොස් කිව්ව මිටි තැනින් වතුර බැස්සෙව්ව කියල.