පෘථිවියෙන් එහාට යන කාන්තා පියාපත්

අප්‍රේල් 28, 2025

අභ්‍යවකාශය ජයගත් පළමු කත ලෙස ඉතිහාසයට එක්වෙමින් රුසියානු අභ්‍යවකාශගාමිනී වැලන්ටිනා තෙරෙස්කොවා 1963 දී අභ්‍යවකාශයේ චාරිකා කර දශක හයක් ඉක්මවූ කාලසීමාව තුළ කාන්තාවන් කිහිප දෙනෙක්ම අභ්‍යවකාශ තරණයේ යෙදුණා. ඒ අතරින් මීට සති කිහිපයකට පෙර අභ්‍යවකාශගාමිනියන් දෙසට යළිත් ලෝකයේ වැඩි අවධානයක් යොමු වූයේ සුනීතා විලියම්ස් (සුමී) නිසා. ඉන් සති කිහිපයක් ගෙවී යද්දී , කාන්තාවන් සයදෙනෙක්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් ජෙෆ් බෙෂොස් ගේ Blue Origin චාරිකාවට එක්වීම යළිත් ලෝකයේම අවධානයට ලක් වූ සිදුවීමක් වී තිබෙනවා. මේ අතරම පුංචිම සන්දියේ පටන් දුටු සිහිනයක් සැබෑ කරගනිමින් ,වසර 2030 දී අඟහරු තරණයට සැරසෙන මුල්ම අභ්‍යවකාශගාමී පිරිස අතරට එක්ව සිටින ඇලිසා කාර්සන් ගැනත් විශාල අවධානයක් ඇතිවෙලා.

 

මිනිසුන් අභ්‍යවකාශයට රැගෙන යන Blue Origin අභ්‍යවකාශ චාරිකා මාලාවේ 11 වැනි සංචාරය යෙදුණේ ඉකුත් 14 වැනිදාට.

NS - 31 යනුවෙන් නම් වූ මේ සංචාරය අන් සියල්ලෙන් වෙනස් වූයේ, ඊට එක්වූ සියල්ලෝම කාන්තාවන්වීම නිසා. ඒ සියලු දෙනා විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන ජනප්‍රිය චරිත වීම මේ විශේෂත්වය වඩාත් තීව්‍ර කළා. සයදෙනාගේ කණ්ඩායමට අයත්වූයේ, අභ්‍යවකාශ ඉංජිනේරු අයිෂා බව්, පොප් ගායිකා කැතී පෙරි, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක මෙන්ම ලේඛිකාවක වන ඇමන්ඩා න්ගුයෙන්, CBS නාළිකාවේ රූපවාහිනී නිවේදිකා ගයේල් කින්ග් , චිත්‍රපට නිෂ්පාදිකා කෙරියැන් ෆ්ලින් , රූපවාහිවිනී නිවේදිකා ලේඛිකා මෙන්ම දානපතිනියක ද වන ලොරෙන් සැන්චෙස්. මේ අතරින් සැන්චෙස්, බෙෂොස්ගේ පෙම්වතිය වීම ද විශේෂත්වයක්. .

 

මේ චාරිකාව විනාඩි 10 වැනි කෙටි කාලයකට සීමා වූවක්.චාරිකාව නිමවා යානය මිහිමතට ළඟාවූ පසුව එහි දොර විවර කර පිටතට පැමිණි සිය පෙම්වතිය බෙෂොස් පිළිගත්තේ උණුසුම්ව ආදරයෙන් වැලඳ ගනිමින්.

සංගීත ලෝකයේ ජනප්‍රිය තාරකාවක් වන

පොප් ගායිකා කැතී පෙරී මේ චාරිකාවත් සමඟ අභ්‍යවකාශ ලෝලීන් අතරත් තාරකාවක් වෙලා. කැතී සහ කින්ග් දෙදෙනාම යානයෙන් පිටතට පැමිණි විගස මිහිකත සිපගැනීම මඟින් සංකේතවත් වූයේ, අප ජීවත්වන මිහිතලය කෙරෙහි ඇති ගෞරවය මෙන්ම ආදරය වුවද අභ්‍යවකාශ ගවේෂණ හා චාරිකා සම්බන්ධයෙන් සලකන විට ඒ පිළිබඳ විවේචනාත්මක අදහස් ද පළවුණා.

චාරිකාව ඇරඹීමට පෙර කැතී ඩේසි මලක් පෙන්වමින් කීවේ තම සිවු හැවිරිදි දියණිය "ඩේසි "වෙනුවෙන් එය ද අභ්‍යවකාශයට රැගෙන යන බවයි. ඒ සමඟ What a wonderful world ගීතය ද ඇය ගායනා කළා. " මේ ගීය මා ගයන්නේ මා වෙනුවෙන් හෝ මගේ ගීත වෙනුවෙන් නොව අපගේ සාමූහික ශක්තිය වෙනුවෙන්" යැයි එහිදී ඇය පැවසුවේ, සාමූහික හැඟීමෙන්.

අප ජීවත්වන පෘථිවිය කොපමණ විස්මිත සුන්දර තැනක්දැයි අභ්‍යවකාශයේ දී ඇයට වඩාත් දැනෙන්නට ඇති. ඇය සිය චාරිකා අත්දැකීම විස්තර කළේ , " එය දෙවැනි වන්නේ මවක් වීමට පමණයි" යනුවෙන්.

"ලෝකය තනි යායක් " යැයි පැවසුවද එය විවිධාකාර බෙදීම් හේතුවෙන් යුද වදින, අසමගියෙන් , අසහනයෙන් පිරි තැනක් කර ඇත්තේ මිනිසුන් විසින්මයි. එවැනි ලෝකය සැබැවින්ම තනියායක් ලෙස දකින්නේ අභ්‍යවකාශගාමීන්.

චාරිකාව නිමවා පැමිණි අයිෂා පැවසූ වදන් ඊට සාක්ෂි සපයනවා.

" මෙතැනින් එහාට ඉන්නේ මෙතෙක් සිටි මම නෙවෙයි, වෙනස් කෙනෙක්. දේශ සීමා කිසිවක් දකින්න ලැබුණේ නෑ. එකම මහපොළවක් තිබුණේ."

චාරිකාව පිළිබඳ කිංග්ගේ ප්‍රතිචාර ද ඊට සමානයි.

" ඇත්තටම එය නිකම්ම නිකම් චාරිකාවක් නෙවෙයි. විස්මයජනක ගමනක්. මේ ගමන මාව වෙනස් කළ බවයි මට දැනෙන්නෙ. අපි මොනතරම් නම් යහපත් මිනිසුන් විය යුතුදැයි එය අපට සිහිපත් කළා. හොඳක්ම කරන්න. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් කෙනෙක් වෙන්න කියන පණිවිඩය එය අපට ලබා දුන්නා කියා මා සිතනවා."

අභ්‍යවකාශයේ ගතකළ මිනිත්තු කිහිපයක් මේ කාගේත් වාගේ ජීවිත වෙනස් කර හෝ වෙනස් කරනු ඇතිබවක් මේ ප්‍රතිචාරවලින් පැහැදිලියි.

චාරිකාව ආරම්භයේ සිට එම පරිශ්‍රයේ සිටි ඔප්‍රා වින්ෆ්‍රි මේ අත්දැකීම ගැන පැවසුවේ," මෙහි සිටින අප කාටත් අද දවස අමතක නොවේවි" යනුවෙන්.

මෙවැනි චාරිකාවක යෙදීම වෙනුවෙන් ගෙවිය යුතු මිල ද අධිකයි. එසේ වුවද ඊට ඇති ඉල්ලුම 2021 වසරේ පටන් මේ දක්වා Blue Origin මඟින් මෙම අවසන් චාරිකාව තෙක් මෙහෙයවා ඇති මෙවැනි සංචාර 10 සඳහා එක් වූ සංඛ්‍යාව 52 වීමෙන් පෙනෙනවා. එම පළමු චාරිකාවට ජෙෆ් බෙෂොස් ද එක්වුණා.

මේ අතර ලෝකයේම අවධානය ආලීයා වෙත යොමුවන්නේ ඇගේ අඟහරු ගමනට සුදානම සමගය.

පස් හැවිරිදි වියේ පටන් අඟහරු තරණය ගැන සිහින දුටු ඇලිසා කාර්සන් මේ වන විට 24 හැවිරිදි යුවතියක්. එතෙක් මෙතෙක් සිය අරමුණ වෙනුවෙන් ඈ කළ කැපකිරීම් හා දැරූ උත්සාහය කෙළවර වසර 2030 දී අඟහරු බලා යන පළමු අභ්‍යවකාශගාමීන් පිරිසට ඇයත් තෝරාගෙන අවසන්. අඟහරු සිහිනය ඔස්සේ යමින් වසර ගණනාවකට පෙර විද්‍යාව, ගණිතය ඉංජිනේරු තාක්ෂණවේදය වැනි විෂයයන් හදාරන විට පන්ති කාමරයේ සිටි එකම සිසුවිය තමන් බව සිහිකරන ඇය මේ වන විට එම තත්ත්වය වෙනස් වෙමින් තිබීම ගැන සතුටු වනවා. ඇතැම් විට ගැහැනු - පිරිමි සම සමව මෙන් සිටි කණ්ඩායම්වල පවා අවසානයේ පිරිමි ළමුන් පමණක් ඉතිරි වූයේ, ගැහැනු ළමුන් අතරමඟ දී එය හැරයාම හේතුවෙන් බව ඇයගේ අත්දැකීමයි. ඒ නිසාම මේ ක්ෂේත්‍රය බොහෝදුරට පුරුෂ පාර්ශ්වයේ නියෝජනයෙන් යුතු වෙනවා.

ඇලිසා 9 හැවිරිදි වියේ සිටියදී අභ්‍යවකාශගාමිනී ඇලිසා මැග්නස් හමුවීම ඇයගේ අරමුණ කරා යන්නට ඇයට විශාල පිටුබලයක් මෙන්ම මඟපෙන්වීමක් ද වූවා. මේ ගමනේ දී ඇයගේ වීරවරිය ද ඇයයි.

විද්‍යාවේදී උපාධිධාරිණියක වන ඇලිසා ජීව විද්‍යා, ක්ෂුද්‍ර ජීව විද්‍යා විෂයයන් ද හදාරා ඇති අතර ස්පාඤ්ඤ ,ප්‍රංශ, චීන හා ඉංග්‍රීසි භාෂා ද මනාව හැසිරවීමෙහි සමත්. මේ සියල්ලෙන් ඇය අපේක්ෂා කළේ සිය සිහිනය කරා යාමයි. අමෙරිකාවේ ප්‍රාන්ත 9 ක පිහිටා ඇති නාසා ආයතනයේ මධ්‍යස්ථාන 14 ටම ගොස් ඇති ලොව පළමුවැන්නා ඇය බව නාසා ආයතනය 2013 වසරේ දී ප්‍රකාශයට පත් කළා. ළමා වියේ දී නාසා පළමු කඳවුරට ඇය රැගෙන ගොස් ඇත්තේ පියා විසින්.

දශක දෙකක් පමණ වන මේ උත්සාහවත් ගමන කෙළවර වසර 2030 දී සිය සිහින ලෝකය වන අඟහරු තරණයට ඈ සූදානම්.

එය කොපමණ කැපකිරීම්සහගත එකක් වනු ඇතිද යන්න එසේ යන මෙම පළමු කණ්ඩායමට ආපසු පෘථිවියට ළඟාවීමට හැකිවනු ඇත්දැයි තවමත් නිශ්චිතවම කිවනොහැකි වීමෙන්ම පැහැදිලියි. ඇලිසා නම් ඒ ගැන කරදර වන බවක් පෙනෙන්නේ නෑ. ඇයගේ දුරකතන කේත නාමය "බ්ලූ බෙරි" . ඇය තමන් හඳුන්වා දෙන්නේ " මම අඟහරු පරම්පරාවේ කෙනෙක් " යනුවෙන්.