වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අවුරුදු තෑගි

වෘත්තියෙන් ගුරුවරියක වන ෂර්මිලා බංදුනී දංවත්ත නිර්මාණකරණයට යොමු වන්නේ පාසල් කාලයේ පටන්මය. ඇය විසින් අකුරු කළ පුංචි පුංචි කවි, ගීත, රචනා, කෙටි කතා පාසලේ විවිධ තරග සඳහා යොමුකළ අතර පසුකාලීනව ඇය ඒවා පුවත්පත් සඳහා ද යොමු කළාය. තම ගුරු භූමිකාව සේම නිර්මාණකරණය ද සමබරව පවත්වාගෙන යන බංදුනී පුංචි දරුවන් උදෙසා ලියන්නට දැඩි රුචියක් දක්වන්නීය. මේ වන විට ඇය පොත් කිහිපයක් ද ප්‍රකාශයට පත් කොට තිබේ. මේ ෂර්මිලා තරුණීට ලියන පළමු කෙටි කතාවයි.
ඇඳුම් ආයිත්තම්වලින් තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්. වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙලා. ඒ හා සමානම ප්‍රමාණයක් ඇතුළුවීමට බලාපොරෙත්තුවෙන් මාවත දෙපස දෙපේළියකට පෙළගැසී ඉන්නවා.
" එක අතකට උදෙන් ආපු එකත් හොඳයි, නැත්නම් දරුවත් වඩාගෙන පාරේ හිටගෙන ඉන්න වෙනවා" මට හිතුණා.
"ඒක තමයි මම ගිය සතියේ එමුයි කිව්වේ. වැඩට යනවා එනවා ඇර අවුරුද්දක් ළඟටම ඇවිත් කියන එක දැනෙන්නෙම නැතිව ඇති. කොහෙද පුරුද්දක් තියෙන එකක්යැයි."
පුරුදු වෙන්න නම් ඔයත් එක්ක හිටපු කාලේ හොඳටම ඇති. කියන්න හිතට ආවත් කරබාගෙන හිටියේ අනවශ්‍ය කතා ඕනෑ නැති නිසයි. පන්නිපිටිය අවට ලොකු රෙදි සාප්පු ගණනාවක්ම තිබුණත් අමාධිට ඕනෑ වුණේ මෙහාටම එන්නයි. සාප්පු සංකීර්ණය අතුරු සිදුරු නැතිව රෙදිවලින් පුරවලා. ඒ වගේම මිනිස්සුන්ගෙන් පිරිලා. ඒ අය අතර වැඩි දෙනා කාන්තාවෝ. ඒ කාන්තාවන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන දරුවනුත් කරපින්නගෙන යන පිරිමිත් ඉන්නවා. හරියට මං වගේ. අමාධිට මෙලෝ සිහියක් නැහැ. අඳිනවා, බලනවා, අඳිනවා, ගලවනවා. එකම යුද්ධයක්.
අමාධි පස්සෙන් පුංචි චමත්වත් උස්සගෙන චමත්ගේ බඩු බාහිරාදිය තියෙන බෑගයත් ඔසවගෙන ගාටලාම හෙම්බත් වුණු මම අමාධිගේ කනට කරලා " ඔයාට ඕනෙ එකක් අරගෙන මෙතෙන්ට එන්න. මම පුතත් එක්ක වාඩිවෙලා ඉන්නම්. බිල ගෙවන්න මට කතාකරන්න."
මම චමත් එක්ක පඩිපෙළේ කොනක වාඩි වුණා. පඩිපෙළේ යන්තම් යන්න විතරයි ඉඩ තියෙන්නේ. මහන්සියට ඕනෙ කෙනෙක් අහුවුණු තැනක ඉඳගන්නවා.
දවල් වෙන්න වෙන්න රස්නය තවත් වැඩිවුණා. මිනිස්සුන්ගේ දාඩිය ගඳයි, ඇඳුම්වල සුවඳයි එකතු වෙලා ඔළුව කැරකෙනවා වගෙයි. චමත්ටත් ඇතිවෙලා.
අමාධි තවම නැහැ. බැරිම තැනයි එයාට කෝල් එකක් ගත්තේ. දෙතුන්පාරක්ම උත්සාහ කරනකොට එයා උත්තර දුන්නා.
" තවම ඉවර නැද්ද?
පුතාට දැන් ඇතිවෙලා."
" පුතාට නෙවෙයි තාත්තටයි දැන් ඇතිවෙලා ඇත්තේ. ෂොපින් ආවහම ඔහොම තමයි අනේ මම ඉන්නේ ෆිටෝන් පෝලිමේ. ඇඳලා බලලම ගන්න ඕනෙ නැත්නම් ගෙදර ගෙනිහින් ආයෙත් දවසක එන්න වෙනවා මාරු කරන්න. මම ඉක්මනටම එනවා." අමාධි කෝල් එක කට් කළා.
චමත් චුරු චුරු ගානවා. ඒ පාර එතැන තියෙන මහ විශාල සෙල්ලම් බැකෝ එකක් ඉල්ලනවා. කොහොම හරි යාප්පුවෙන් රාක්කෙක තිබුණු පුංචි බැකෝ එකක් අතට දීලා නළවගත්තා. අවුරුදු කටේ සල්ලි ගෝණියක් තිබුණත් මදි. ඊයේ රෑ අමාධි කියපු එක තවම මාව කොනිත්තනවා.
" වැඩ කරන්නේ නම් බැංකුවක. ඒ වුණාට කුණු ලෝබයි. කොහෙන් පුරුදු වෙච්ච දේවල් ද මන්දා."
" වැඩ කරන්නේ බැංකුවක වුණාට බැංකුව මගේ නෙවෙයිනේ" මම කිව්වා. ගස්සගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා මිසක් ආයේ කතාවට ආවේ නැහැ.
යන එන සෙනඟ කන්දරාව දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුණේ ඉස්සර අවුරුද්දට ඇඳුම් ගන්න තාත්තත් එක්ක පොළට යන හැටි.
" ඔය ගමන්ම අපේ අම්මලටත් මොනවාහරි ගන්න."
මම නැවත කෝල් කරලා අමාධිට කිව්වා.
" ඔයාට පිස්සු ද?
මේ සෙනඟ අස්සේ අම්මලට ගැළපෙන ඇඳුම් හොයන්න පුළුවන් ද අවුරුදු ඉවර වුණහම සෙනඟ අඩු වෙනවනේ එතකොට ළඟ කඩේකින් මොනවා හරි ගනිමු. කොහොමත් අපි මේ හදිස්සියේ ඔයාලගේ ගමේ යන්නේ නැහැනේ."
අන්තිමට අමාධි රෙදි පුරවපු බෑග් දෙක තුනක් ඇදගෙන පහළට එනකොට හතරත් පහුවෙලා. වෙහෙසටම චමත්ට මගේ උරහිසේම නින්ද ගිහිල්ලා. මම විතරක් නෙවෙයි නිදි දරුවන් කරපින්නගෙන ඇවිදින තාත්තලා කිහිපදෙනෙක්ම තව හිටියා.
ගෙදර ඇවිත් ඇඳ උඩ ගොඩගහලා තිබුණු ඇඳුම් දැක්කම ඒ ඔක්කොම අමාධිට නෙවෙයි කියලා තේරුණා. අමාධිගේ අම්මට, තාත්තට, නංගිට, නෑනට, ඒගොල්ලන්ගේ දරුවන්ට ඇඳුම් ගෙනත් තිබුණු බව බිල දැක්කමත් තේරුණා. ඒත් මම නොතේරුණා වගේ හිටියා.කොහොමත් අවුරුද්දට නෑදෑයින්ට ඇඳුමක් කැඩුමක් දීම යුතුකමක් බව මමත් දන්නවා. ඒත් ඒක එක පසෙකට සීමා වීමයි කනගාටු.
නැකත් යෙදිලා තිබුණේ පාන්දරමයි. කිරිබත් කෑවහම දැනෙන නිදිමතයි වැඩිය කෑවහම ඇතිවන බුදිමතයි දෙක එකට එකතුවෙලා ඇස් පියවෙනවා. මට ඕනෙ වුණේ ඇඳට වෙලා හොඳ නින්දක් නිදාගන්න. මේ වගේ නිවාඩුවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. ඒත් අමාධි ලෑස්ති වෙන්නේ ඒගොල්ලන්ගේ ගෙදර යන්න.
" අපේ ගෙදර ගිහින් එන්න නම් මාසයක් කන්කෙඳිරි ගාන්න ඕනෙ" මට හිතුණා.
අපි යනකොටත් අමාධිලාගේ මිදුලේ වාහන හතරක් පහක්ම නවත්තලා තිබුණා. අයියලා, නංගිලා කලින්ම ඇවිත් වගේ.
" ඕක තමයි ටිකක් කලින් එමු කිව්වේ. අම්මා අහයි දැන් ද එන්නේ කියලා."
අමාධි බැස්සේ මට රවාගෙන.
අපි ගෙට ගොඩවන කොටත් වැරැන්ඩා එකේ බෝතල් පාටිය පටන්ගෙන. මට ඔය වැඩ අල්ලන්නේ නැති නිසයි මෙහෙ එන්න අකැමැති.
පැත්තකට වෙලා ඉන්න එක හොඳ නැති නිසා වීදුරුවකට කොකා කෝලා ටිකක් දාගෙන මමත් එතැනින්ම ඉඳගත්තා. එතැන මාතෘකාව වුණේ මට අරහංම මාතෘකාවක්. හෙමිහිට එතැනින් නැඟිටපු මම ළඟ තිබුණු පරණ පත්තරයකුත් අරගෙන ජනේලයක් ළඟ වාඩි වුණේ පත්තරය කියවන මුවාවෙන්.
අවුරුදු පාටිය අවසන් වෙලා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා. සෙනසුරාදාට තෙල් ගාන නැකත යෙදිලා තියෙන නිසා මම අමාධිට කතා කළා එදාට අපේ ගෙදර ගිහින් එන්න.
" අයියෝ එදාට අයියලාගේ ගෙදර රෑ කෑම. තව ටිකක් පහුවෙලාම ගමේ යමු "
අමාධි ගත් කටටම කිව්වා.
අප්‍රේල් පහුවෙලා මැයි මාසේ පළමුවැනිදා කුරුණෑගල යන්න යොදාගත්තේ මගේ තනි කැමැත්තට. එහාට මෙහාට ඇද ඇද ඉඳලා අන්තිමට අමාධි වචනේ ස්ථිර කළේ මම තනියමහරි යනවා කියලා පීරිසි කෝප්පයක් එහෙම බිම දාලා සද්දයක් දැම්මට පස්සෙයි. අම්මලාටයි, මල්ලිගේ පොඩි උන් දෙන්නටයි ඇඳුම් මොනවාහරි ගන්න යමු කියලා කතා කළහම අමාධි කිව්වේ
" ඔය යන ගමන් කුරුණෑගලින් ගන්න පුළුවන්නේ "කියලයි. මම තව මොනවත් කතාකරන්න ගියේ නැහැ. කෝප්ප සිද්ධියෙන් පස්සෙ චමත් මං දිහා බලන්නෙත් බයෙන්.
පළමුවැනිදා උදෙන්ම පිටත් වුණේ අමාධි පහුවෙනිදා වැඩට යන්නම ඕනෙයි කියපු නිසයි. නැත්නම් මම එදාටත් නිවාඩුවක් අනුමත කරගෙනයි තිබුණේ. අපි කුරුණෑගලට එනකොට නවයට කිට්ටුයි. ටවුමේ තියෙන අලුත් රෙදි කඩ ගැන මම දන්නේ නැහැ. පරණ පුරුදු කඩයක් ළඟ නවත්තලා රෙදි ගන්න ගියා. ඒකට නම් බොහොම කැමැත්තෙන් අමාධි එකතුවුණා. මම වැඩිය වියදම් කරයි කියලා බයේ ද කොහෙද.
අමාධි පොඩි එවුන්ට තේරුවේ ලාබම ගවුම් පොඩි දෙකක්. මම කිව්වා අම්මට සාරියක් ගමු කියලා.
" සාරි අරගෙන අම්මා කොහේ අඳින්න ද.
ගවුම් රෙද්දක් අරගෙන දෙමු. පන්සලටවත් අඳීනේ "
කියූ අමාධි කණ පාට රෙද්දක් අම්මට තෝරගත්තා. මම මට ඕනෙ විදිහට හොඳම බතික් සරමක් තාත්තට ගත්තා. අමාධිගේ මූණ කළු වුණේ එයාගේ දෑවැද්දෙන් කොටසක් වියදම් වුණා වගේ.
කලින් දන්වලා තිබුණු නිසා අම්මයි, තාත්තයි මඟ බලාගෙන ඉඳලා තියෙන බව පෙනුණා. මොනවා වුණත් මගේ පුංචි ගේ දකිද්දී ඇතිවෙන්නේ ලැජ්ජාවක් නෙවෙයි.මහා ආදරණීය බවක්. මහගෙදර ජීවත් වුණේ අම්මයි, තාත්තයි විතරයි. කුරුණෑගල මහ ඉස්පිරිතාලේ උපස්ථායකයකු විදිහට වැඩ කරන මල්ලී, වෙනම ගෙයක් හදාගෙන පාරට කිට්ටුව පදිංචි වෙලා ඉන්නවා. එයා බැඳපු චමරි නංගී ගෙදර ඉඳගෙන කුලියට ඇඳුම් මහනවා. එයාලට ඉන්නේ චමත්ගෙම වයසේ නිවුන් දූලා දෙන්නෙක්.
තේවලට අම්මා කජු අළුවා හදලා තිබුණා. ඒ වෙනකොට අම්මා හදන කජු අළුවා කෑල්ලක රසත් අමතක වෙලයි තිබුණේ. අමාධි නම් වැඩි කතාබහ නැහැ. අහන දෙයට විතරයි උත්තර. අම්මට එය නොවැටහුණේ අපි ආව එක ගැන හිතේ තිබුණු සතුට හින්දයි.
දවල් කෑම මේසයට මම කන්න ආස දේවල් හදන්න අම්මා මහන්සි වෙලා. චමරි නංගී ඇවිත් උයන්න උදවු කරලා ගිහින් තිබුණා. මල්ලිලා ගේ ගෙදරටත් ගොඩවෙලා යමු කියලා මම රහසින් අමාධිට කිව්වත්, අමාධි කිව්වේ තෑගි අම්මලාටම දීලා යමු. හෙට වැඩට යන්න තියෙන නිසා පරක්කු වෙන්න බැහැ කියලයි.
දවල් කෑමෙන් පස්සේ අම්මටයි, තාත්තටයි වැඳලා පිටත්වෙන්න හදනකොට අම්මා පාර්සලයක් ගෙනත් අමාධිගේ අතට දුන්නා.
" චමරි දුව අවුරුද්දට සාරියකුයි, ගවුමකුයි දෙකක්ම ගෙනත් දුන්නා.
සාරි මම කොහේ අඳින්නද. ගිය අවුරුද්දේ චමරි දුව ගෙනත් දුන්නු සාරියත් තවම අල්මාරියේ. දුවට තමයි ඕක ගැළපෙන්නේ."
කිසිම කතාවක් නැතිව සාරිය එළියට අරගෙන බලපු අමාධිගේ මුහුණ එළිය වැටුණා.
" ඇත්තමයි හරිම ලස්සන සාරියක්"
මෙච්චර වෙලා අඟුල් වැටිලා තිබුණු අමාධිගේ කටත් ඇරිලා.
අමාධි බෑග් එක ඇරලා සාරිය ඒකට ඔබාගෙන මං දිහා බලලා හිනා වුණ.
ඒත් මගේ මුහුණ නම් ලැජ්ජාවෙන් ඇඹුල් වෙනවා අමාධි නොදකින්න ඇති.