වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මල් පොකුරක් හැර දරුවාට දෙන්න මට කිසිම දෙයක් තිබුණේ නැහැ

තරුෂිගේ අභිසේකාගේ තරග වාර්තා
* මීටර් 800 කනිෂ්ඨ ජාතික ශූරතාවය (2023) (16න් පහළ)
* මීටර් 800 ජෝන් කබට් කනිෂ්ඨ ශුරතාවය (16 පහළ)
* මීටර් 800 සමස්ට ලංකා තරගය (16න් පහළ)
* මීටර් 800ට 1500 ජාතික කනිෂ්ඨ ශුරතාව සහ ජෝන් කබට් තරගය
* 18න් පහළ සමස්ත ලංකා පාසල් තරගාවලිය
වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 8ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියකදී හිමිකරගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙයයි.
6 වැනි වරට සංවිධාන කළ මේ තරගාවලිය පැවැත්වුණේ සවුදි අරාබියේ දී. සිව්වැනි දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකර ගත්තේ, මීටර 800 කාන්තා ධාවන ඉසව්ව නියෝජන කළ තරුෂි අභිෂේකා විසිනි. ඇය, මිනිත්තු දෙකයි තත්පර 14 දශම 8 යි 6 කින් තරගය අවසන් කළා.
මීටර 800 පිරිමි ධාවන ඉසව්ව නියෝජනය කළ ශවිදු අවිශ්ක එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. ඒ, මිනිත්තු එකයි, තත්පර 53 යි දශම 4යි එකක කාලයක් වාර්තා කරමින්. කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ දිල්කි නෙහාරා එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඇය දැක්වූ දක්ෂතාව මීටර 12.35 කි.
උස පැනීමේ පිරිමි ඉසව්ව නියෝජනය කළ පවන් සම්පත් ලෝකඩ පදක්ම හිමිකර ගැනීමට සමත් වුණා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර 2.03 ක්. එම ඉසව්ව නියෝජනය කළ දිනුක දිල්ශාන් මීටර 2.01ක උසක් වාර්තා කරමින් පස්වැනි ස්ථානයට පත් වුණා.
කාන්තා මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ දී ශ්‍රී ලංකාව නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම හිමිකර ගත්තා. ඔවුන් ඒ සඳහා ගත කළ කාලය මිනිත්තු 2 යි තත්පර 14.25 ක්. ආසියානු වයස අවුරුදු 18න් පහළ යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකාවට පදක්කම් සටහන අනුව 9 වැනි ස්ථානය හිමිව තිබුණා. එහි පළමු ස්ථානය චීනයටත්, දෙවැනි ස්ථානය ජපානයටත් හිමි වුණා.
මේ සියලු ජයග්‍රහණ අතරින් තරුෂි අභිෂේකා ලැබූ ජයග්‍රහණය සුවිශේෂිතයි. ඇය ලැබූ එම ජයග්‍රහණය හමුවේ ශ්‍රී ලංකේය මලල ක්‍රීඩා අනාගතය ගැති සුබ පෙරනිමිති පෙන්නුම් කරන අතර තවත් නවක ක්‍රීඩා තරුවක් ගැන අපට අපේක්ෂා තැබිය හැකි වී තිබෙනවා.
ඇය ලැබූ මේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව ඇයෙග් මව නිලානි ප්‍රිතිකා ජයසූරිය තම දියණියගේ උත්සාහය ගැන අපට සඳහන් කළේ මහත් අභිමානයෙන්.
“අපේ ලොකු දුව තමයි තරුෂි. එයා පුංචි කාලේ පටන්ම ක්‍රීඩාවට දක්ෂයි. එයා මුලින්ම පාසල් ගියේ ගලේවල නිලගම කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ තමයි ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණේ. එයා පුංචි කාලේ පටන්ම සෑම ක්‍රීඩාවකටම දක්ෂතාවක් තිබුණා. එයා මේ ජයග්‍රහණය ලබනවා කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. මගේ දුව ගිය අවුරුද්දේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගයට ඉදිරිපත් වෙලා මීටර් 1500 තරගයෙන් ධම්මිකා මැණිකේ ක්‍රීඩිකාව තියපු වාර්තාවක් බින්දා“ එයා මේ තරගයට යනකොට මම දුවට කිවුවේ ‘ඔයා දුවේ මගේ උපන්දිනේට වටිනාම ලොකුම තෑග්ගක් දෙන්න ඕනේ කියලා‘ ඔයා මගේ උපන්දිනය දවසේ මට ගෝල්ඩ් මෙඩල් එක අරගෙන එන්න කියලා තමයි මම කිවුවේ. මගේ දුව ඒ මගේ ඉල්ලීම ඉටු කළා. එයා මීටර් 800 තරගය දිනලා ඉවර වුණ ගමන් මට කතා කළා. අම්මේ Happy Brithday ඔයාට මම අම්මා ඉල්ලපු තෑග්ග ගත්තා. අම්මා එයාපෝට් එකට එන්න කියලා මට සුබ පැතුවා. ඒ වෙලාවේ දුව කියපු ඒ වචන ටික ඇහෙනකොට මට මුළු ලෝකයක් දිනුවා කියලා හිතුණා.
ඇත්තටම අපි සෑහෙන අමාරුවෙන් තමයි දරුවා මේ ක්‍රීඩා කටයුතුවලට යවන්නේ. දරුවා ලංකාවට එන වෙලාවේ අපිත් එයාපෝට් එකට ගියා. මල් පොකුරු දෙකකුත් අරගෙන. දරුවා වෙනුවෙන් මල් පොකුරු දෙකක් දෙනවා හැර මට දරුවා වෙනුවෙන් දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.
මේ ගමන යන්නවත් මට සල්ලි තිබුණේ නැහැ. මම අපේ අම්මගෙන් රුපියල් පහළොස් දාහක් ඉල්ලගෙන තමයි මේ ගමනත් ගියේ. අම්මේ රුපියල් පහළොස් දාහක් තියනවා නම් දෙන්න කියලා. අම්මාගෙන් සල්ලි ඉල්ලනකොට මගේ අැස් දෙකට කඳුළු ආවා. ඇත්තටම අපි දරුවා මේ තත්ත්වයට ගෙන්න පුදුම කැපවීමක් කළා. එයා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මුලින්ම ගියේ දඹුල්ල ජාතික පාසලට. ඒ පාසලේ මුදිතා ගුණරත්න මැඩම් දරුවාගේ දක්ෂතාව දැකලා තමයි ‘දුවේ ඔයාට දුවන්න පුළුවන් ඔයා ක්‍රීඩා කරන්න කියලා තෝරා ගත්තේ. ඊට පස්සේ එයා 15 පහළ සමස්ත ලංකා පළමු තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයේදීම එයා ගෝල්ඩ් මෙඩල් එක දිනා ගත්තා.
නවය වසරේදී මුදිතා මැඩම් එයාගේ පෞද්ගලික අවශ්‍යතාවක් නිසා නිවාඩු ගිය නිසා බුද්ධික නුවන් සර්ට දරුවා යොමු කළා. සර් පුහුණු කළේ ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ.
බුද්ධික සර් දරුවා දක්ෂ දරුවෙක් බව දැනගෙන එයාගේ සම්පූර්ණ වගකීම භාර ගත්තා. දරුවාගේ වියදම් පවා SCOT ආයතනය භාර ගත්තු එක අපට විශාල ශක්තියක් වුණා. අපට තවත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා තරුෂිගේම වයසේ නිවුන් දරුවෙක්. එයාගේ මොළයේ ලොකු සැත්කමක් කරන්න වුණා. ඒ නිසා අපට තිබුණු රත්රන් බඩු පවා විකුණලා තමයි දරුවන්්ගේ වැඩ කළේ.
දැන් අපේ දෝණි ලොකු ගමනක් යනවා. එයා තරුෂි කරුණාරත්න දුව පාසල් කාලේ තියපු හුඟාක් වාර්තා බිඳලා තියෙන්නේ. මගේ සැමියා සමන් කුමාර ප්‍රේමසිරි එයා හෝටලයක සහායකයෙක් ලෙස සේවය කරනවා. එයාගේ පඩියෙන් තමයි අපේ පවුලේම මේ වැඩ ටික කරගෙන දරුවාගේ ක්‍රීඩා කටයුතුවලටත් වියදම් කරන්නෙ.
අපිට මොන ගැටලු තිබුණත් දරුවාගේ ක්‍රීඩා නවත්වන්නේ නැහැ. අපි මේ දරුවාගේ දක්ෂතාව වෙනුවෙන් අපේ තියන සියලු දේ වියදම් කරලා හරි දරුවා ඉහළට ගෙන්න කැප වෙනවා. අපේ දුව මේ වෙනකොටත් ජාත්‍යන්තර මට්ටමේ ඉන්නවා. මොන ගැටලු තිබුණත් දරුවාගේ හැකියාව දකිනකොට අපට ඒ සෑම දෙයක්ම අමතක වෙලා යනවා.